Tuesday, March 4, 2014

සමන් ගිර

මෙරට වැසියන් විසින් සමන්ගිර,සමන්ත කුටය, සමනලකන්ද යන අනේක නම් වලින්ද බටහිර ජනයා විසින්  ආදම්ගේ කඳු මුදුන ලෙසද හඳුන්වන කන්ද තරම් ලොව බොහෝ පිරිසක් තොරතුරු දන්නා සුපතල කන්දක් නොමැති තරම්ය. ආසියායව හෝ ඉන්දියාවේ සංචාරය කරන ලද හෝ ඒ සම්බන්ධව ලියන ලද ලේඛකයන් සියල්ලන්ම පාහේ මෙම කන්ද ගැන අඩු වැඩි වශයෙන් සඳහන් කර විස්තර කර ඇත්තේය. මෙම කඳු මුදුනේ පිහිටුවා  ඇති සිරි පතුල නැරඹීමට විශාල පිරිසක්  වාර්ෂිකව යන අතර බෞද්ධ හින්දු මුස්ලිම් ජනතාව මෙම කඳුමුදුන පුජනියත්වයෙන් සලකනු ලබන බව පැරණි දේශ සංචාරක වාර්තා වල දැක්වේ.
 
සිංහලයන් විසින් මෙම කන්ද  සමන්ත කූට එසේ  නොමැති නම් සමනල කඳු මුදුන ලෙසත් හින්දුන් විසින් සිවන් ඔලි පාදම් ලෙසත් මුස්ලිම් වරුන් විසින් බාබා අදමලෙයි ලෙසත් හඳුන් වනු ලබන අතර බොහෝ ජනප්‍රවාද මේ හා බැඳී පවතී.
 
මෙම කඳු මුදුනේ තබා ඇති පාද සලකුණ පැරණි ඉන්දියානු විශ්වාසය අනුව බෞද්ධයන් ගෝතම බුදුන්වහන්සේගේ පාද සලකුණ හෝ හින්දුන් සිවදෙවියන්ගේ පාදය ලෙස සලකන අතර විෂ්ණු දේවයන් අදහන්නවුන් මෙහි විෂ්ණු දෙවියන්ගේ පාද සලකුණු ඇති යයි සලකයි. මුස්ලිම්වරුන්  එය මුල්ම මිනිසාගේ පාද  සලකුණු ලෙස සලකනු ලැබේ. එහෙත් කුරානයේ කොතනකවත් මෙම ස්තානය මුස්ලිම්වරුන්ගේ පුජනීය ස්ථානයක් බව දක්වා නොමැත. ඇතැම් ක්‍රිස්තියානුවන් ශාන්ත තෝමස් ගේ පාද  සලකුණ බවටද විශ්වාස කරනු ලැබේ.  සිවදෙවියන් අදහන්න විසින් මෙම ස්ථානය සිව දෙවියන් වඩාත්ම ප්‍රිය කරන වාසස්ථානය ලෙස සලකනු ලැබේ. ඔව්හු මෙම මුදුන ආශ්‍රිත බෑවුමේ සදාකල් ජීවත් වීමට උප කාරවන එනම් සන්සේවි නම්  ශාකය වැවෙන බවත් එය ආහාරයට ගැනීමෙන්  අමරණීයත්වය ලබාදෙනු ඇති යයි විශ්වාස කල බවද දැක්වේ. මෙම කඳු මුදුන ඔවුන් ස්වර්ගර්රහනම් ලෙස හැඳින් වීය. එනම් ස්වර්ගයට නැගුම යන්නය. මෙහි ඇති සිව දෙවියන්ගේ පා සලකුණ ට නළල තබා ආශිර්වාද ගත් බවද දැක්වේ. සියලුම ආගම් අදහනන් විසින් මෙම ස්ථානය ඔවුනොවුන් ගේ පුජනීය ස්ථානයක් ලෙස සැලකීම කෙසේ සිදුවීද?
 
මෙම පසුකාලීන අදහස් එකතු වන්නට පෙර සිටම මෙම කඳු මුදුන ආදිකල්පිත  ආගම් විශ්වාස  ඇදහු මනුෂ්‍ය වර්ගයාගේ ස්වභාව දහම වන්දනා කල පුජනීය ස්ථානයක් වන්නට ඇතයි විශ්වාසය වේ. එය කෙසේදයත්, සියල්ලම ආරම්භවන, මුළු විශ්වයම සමස්තයක් ලෙස අන්තර්ග්‍රහණය කර ගන්නා, මනුෂ්‍ය විශ්වාසය අනුව මනුෂ්‍යය ආරම්භක ස්ථානය මෙන්ම   අවසාන ස්ථානය ලෙස මෙම ශිකරයේ ඇති පන්සල පිහිටි ස්ථානය සලකා තිබේ. ඉතාම ඉහල ස්ථාන දෙවියන් වන්දනාව සඳහා මුල්යුගයේ සිටම සම්ප්‍රධායක්ව පැවතුන බව කිවයුතුව ඇත. ජීවමාන බුදුන්දවසේ මෙන්ම එම යුගයට බොහෝ කලක පෙර සිටම මෙම කන්ද මේ රටේ ප්‍රධාන පුජනීය ස්ථානයක් වීයයයි පැරණි පොත පත සාක්ෂි දරයි.
 
මෙම සමන් ගිර සහ රජවරුන් අතර ගොඩනැගුනු කතාවස්තුන් ඉතිහාසයෙන් මුණ ගැසේ. වළගම්බාහු රජතුමා රජවී මාස පහ කට පමණ පසු ද්‍රවිඩ ආක්‍රමණිකයන් විසින් රජතුමා පලවා හැරි බවත්  වසර 14 සහ මාස 7 ක කාලයක් රජතුමා කඳුරට ප්‍රදේශයේ සැරි සරමින් ජීවත්වූ බවත් සඳහන්ව තිබේ. රජතුමා සමනල කන්දේ භගවා ලෙනේ ජීවත්ව සිටි කාලයේ ඈතින් සිටි මුවකු දැක  මුවා මැරීම සඳහා උත්සාහ කල අවස්ථාවේ පුදුමයකට මෙන් මුවා ඇල්ලීම සඳහා ලංවීමට නොහැකි විය.   මුවා සෑම අවස්ථාවේම රජට අල්ලා ගැනීම සඳහා නොහැකිවන ලෙස දුරස්ථ විය. මෙලෙස රජ කඳු මුදුනටම කැඳවා ගෙන ගොස් මුවා අතුරුදහන් වියයි දැක්වේ. කඳු මුදුනට ලඟා වීමෙන් පසු රජතුමා සිරි පතුල් සොයා ගනු ලැබු බවත් නැවත රජ කම ලබා ගැනීමෙන් පසු සිරි පතුල සටහන්ව ඇති ගල වටා යකඩ කූරු සහිත වැටක් කරවූ බවත් සඳහන් වේ.
 
12 වන සියවසේ පරාක්‍රමබාහු රජතුමා සමන්ත කූට මුදුනට පාගමනින් පැමිණ වැඳ පුදා ගත් බවත්  අනතුරුව මුදුනේ පන්සලක් ඉදිකර තිබේ .
 
කිර්ති නිස්සංක රජතුමා මෙන්ම 3 වන පරාක්‍රම බාහු රජතුමාද සිරි පාදය වැඳ පුදා ගත් බව ඉතිහාසයේ දැක්වෙන අතර නිස්සංක රජතුමාගේ  යුගයෙන් පසු සමන්ත කුටයේ සිරි පතුල් වන්දනාව අඛණ්ඩ සම්ප්‍රදායක් ලෙස පැවත එන බවද දැක්වේ.
 
රාජ රත්නකාරයට අනුව සත් කෝරලේ සිය රාජධානිය පිහිටුවා ගත් විජයබාහු රජතුමා ගම්පොල හරහා සිරි පතුල් වන්දනාවට යන මාර්ගය පිළිසකර කර වන්දනාවේ ගිය බව දැක්වෙනවා.  ඔහුගෙන් පසු රජවූ පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා සමනල කන්දේ සිට බෙන්තොට දක්වා මාර්ගයක් ඉදි කර තිබේ. මෙම මාර්ගය හරහා වැටී තිබුණු ගංගා දියපාරවල් යාකරමින්  නිමවූ අතර කළු  ගඟ හරහා සාදවන ලද ලී පාලමේ දිග අඩි 193’ 6’’ කි.
 
ඉන්පසු කන්ද උඩ සිය රාජධානිය කරගත් වික්‍රමබාහු රජතුමා මෙම පාලම් මංමාවත් පිළිසකර කරවා කඳුමුදුනට පහසුවෙන් නැගීම සඳහා පඩි 780ක් පර්වතයේ කප්පවා තිබේ. එමෙන්ම විශාල වියදමක් කොට තෙල් සැලි 100ක ධාරිතාවකින්  දැල්වෙන  ගිනි සුළක් කඳුමුදුනේ අවට පරිසරයට පෙනෙන පරිදි දැල් වූ බව දැක්වේ. සිරිපතුල් වන්දනා කරන සමයේ අඳුර වැටෙන විට කඳු මුදුන ආලෝකවත් කිරීම එතැන් පටන් අද දක්වා චාරිත්‍රයක්ව පවතී.  රත්නපුරය ඔස්සේ සිරිපතුල් වන්දනාවට අදටත් භාවිතා කරන මාර්ගය මෙම රජතුමා විසින් කරන ලද්දක් බව විශ්වාස කෙරේ. 
 
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් රචිත යයි සලකන  පැරකුම්සිරිත (6 වන පරාක්‍රමබාහු) මෙසේ දැක්වේ.
කියග මගිය එනු කොයි සිට, දද, සමනල ගොසිනා
එපුර අමුතු කිමෙක බමුන, සුමන සුරිඳු විසිනා
ගිය කල දෙදහස් පන්සිය රජෙක් එතෙයි දියනා
කියලිය තන්වැසි ඒනම පැරකුම් රජ මෙදිනා.
 
මහාවංශයට අනුව 6 වන පරාක්‍රමබාහු රජතුමා කි.ව 1410 -1462 දක්වා කාලයේ රජ කම් කල බව සම්මත පිලි ගැනීමයි.  එම යුගයේ 6 වන පැරකුම් රජ, රජ වන්නට  වසර 2500 කට පෙර රජුගේ පෙර උප්පතිය ගැන කියන ලද  සංසිද්ධිය කුමක්ද?
 
මායාදුන්නේ ගේ පුත් රාජ සිංහ රජ සිව ආගම වැළඳ ගැනීමෙන් රාජසිංහ රජුගේ යුගයේ සමන්ත කුටයේ භාරකාරීත්වය ආඬින්ට ලැබුණි. මොවුන් සිවදෙවියන් වැඳුන් පිදුම් කරන්නන්ය. මොවුන් භික්ෂුන්වහන්සේලා ඝාතනය කරන ලද අතර සමන්ත කුටය සහ බෞද්ධයන් අතර විශ්වාසය ලියා ඇති සියලු පොත පත බෞද්ධ පොත පත  පුලුස්සාදමන ලදී .  ඒ අනුව ආඬිවරුන් සමන්ත කුටයේ භාරකාරත්වය වසර 160ක් මුළුල්ලේ තබා ගන්නා ලදී. ඉන්පසු කිර්ති ශ්‍රී රජතුමා විසින් නැවතත් එය බෞද්ධයන්ගේ භාරකාරත්වයට පත් කර ගන්නා ලදී. ආඬින් නැවතත් එහි භාරකාරත්වය තමන් වෙත ලබාගැනීම සඳහා අගනා ඇත් දළ දෙකක් රජුට ප්‍රධානය කරන ලදී. ත්‍යාගය රජ භාර ගනු ලැබුවත් සමන්ත කූටය අයත්වන්නේ බුදුන්වහන්සේට බවත් එබැවින් තමන්ට විධිවිධාන දිය නොහැකි බව පවසා භාරකාරත්වය ආඬින්ට නොදුන්නේය. ඇත් දළ දෙක ශ්‍රී පාදස්තානයට පුජා කරන ලදී. බ්‍රිතාන්‍ය හමුදාව ලංකාවට ඇතුල්වන කාලය  දක්වා මෙම දළ දෙක එහි ප්‍රධාන සංඝ නායකය ස්වාමින්වහන්සේ යටතේ තිබුණු අතර පසුව නුවරටත් ඉන්පසු උඩුනුවර  ගලදෙනි විහාරයටත් යවන ලදී. 1827 වන විටත් මෙම දළ දෙක දකින්නට තිබුණු බව දක්වා තිබේ.

විමලධර්ම සුරිය රජගේ කාලයේ නුවර සිට සමන්ත කූටයට රාජකාරි මට්ටමේ වන්දනා ගමනක් ගිය බවත් රිදී බන්දේසි ඇතුළු නොයෙක් ත්‍යාගයන් එහි පන්සලට පුජා කල බව දැක්වේ. රජ සමග රජවාසලේ පෙරෙට්ටුවට අයත් දල සහිත ඇතුන් 300ක් පමණ පෙරහරේ ගමන් කල බවත් මෙම ඇතුන්ගෙන් බොහොමයක් රජ නිරන්තරයෙන් යන අසල්වැසි නුවර පන්සල් වලට බෙදා දුන් බවත් දැක්වේ
 
මුල් යුගයේ මෙම ශ්‍රීපාද වන්දනාව ගැන ඉතිහාස පොත්වල ඇත්තේ කඩින් කඩ විස්තරයන්ය. මෙම විස්තර අතර කාලපරාසයන් වැඩිය. මෙසේ සිරි පතුල් වන්දනාව ගැන වරින්වර දිගු නිහඬතාවයක් ඇති වීමට කරුණු දෙකක් බලපාන්නට ඇත. ඉන් පල වැන්න නම් විවිධ අවස්තාවලදී සිදු වුන මලබාර් ආක්‍රමණ නිසා සිංහලයන්ගේ වාර්තාවන් කලින් කලට විනාශ වීමය. දෙවැන්න නම් දිවයිනේ ප්‍රධාන අගනුවර කි. ව 1319 වනතෙක්  පිහිටියේ උතුරු රාජධානිය වූ රජ රටය. කි ව 1050 දක්වා  මායා සහ රුහුණු රට ස්වාධීන රාජ කුමාරයන් හෝ එතරම් ප්‍රසිද්ධියක් නැති රජවරුන් යටතේ පාලනය වූ නිසා යයි දැක්වේ.
 
(මෙම කාල වකවානුවේ මධ්‍යම කඳුකරය එකතු කොටගත්  රුහුණු රට ඉතිහාසය අදටත් අපට අප්‍රකටය.).
 
3 වන ශත වර්ෂයේ සිට ඈත අතීත  කාලයේ සිටම චීන ජාතිකයින් සමන්ත කුටයේ  සිරි පතුල් පිහිටුවා ඇති බවට විශ්වාස කළහ. චීන වාර්තා වලට අනුව ලංකාව කරා පැමිණෙන  වන්දනාකරුවන්ට  ලංකාවේ උස් කඳුමුදුන් නෙතට ගැටෙන බවත්  විශේෂයෙන්ම සමන්ත කුටයේ උස්වූ ශිඛරය සියළු කඳුමුදුන් පරයා පෙනෙන බවත් දක්වා තිබේ. එමෙන්ම ලංකාව දෙසට  ගමන් කරන නැව් මෙම කඳු මුදුන මග සලකුණක් ලෙස භාවිත කොට ඇති බවත් දක්වා ඇත්තේය. දේශ සංචාරක ෆාහියන් හිමි ගේ වාර්තාවල බුදුන් වහන්සේ එක් පාද ලාංචනයක් රටේ උතුරිනුත් තව පාද ලාංචනයත් කඳු මුදුනක තැබු බවත් දැක්වේ.
 
Ibn Btuta නම් ප්‍රසිද්ධ සංචාරකයා සිය 30 වසරක චාරිකා සටහනේ (කි.ව 1324-1354) සමන්ගිර ගැන විස්තර සටහන් සපයා ඇත්තේය.
ඉබන් බතුත සිය වාර්තාවේ රට ගැන සහ සමනල කන්ද ගැන පහත සඳහන් වාර්තා දක්වා තිබේ. ඔවුන් යාත්‍රා කරන විට සුලන් හමන දිශාව වෙනස් වී ඔවුන් අතරමන් වෙන්නට ගොස්  කෙසේ හෝ අවසානයේ සෙරන්ඩිබ් නම් සුප්‍රසිද්ධ කන්ද ඇති සිලොනයට පැමිණි බව දක්වා තිබේ. වෙරළට ලන්වන්නට දින 9කට පෙර මෙම කන්ද දුමාරයෙන් සැදුනු කුළුණක් සෙ දිස්වූ බව දක්වා තිබේ.  ඔවුන් රටට ලංවන විට වරායක් දැක තිබේ එම වරාය අයත් දිස්ත්‍රික්කයකව තිබී ඇත්තේ මුස්ලිම් නාවික කපිතාන්වරුන් සමග යහපත් සම්බන්ධතාවයන් පවත්වන රාජකුමාරයකු භාරයේ නොවේ. මොහුද නැව් අයිතිකරුවකු  වන අතර ඉඳ හිට මුස්ලිම්වරුන්ට එරෙහිව සිය හේවායෝ ප්‍රවාහනය කර තිබේ. එමෙන්ම ඔහුට සැලකිය යුතු මුහුදු බලකායක් විය. කෙසේ වුවද අවසානයේ තමන් සිලොනයේ මාබාර් දිස්ත්‍රික්කයේ රජුගේ නෑදෑයකු බවත් ඔහු මුණ ගැසෙන්නට පැමිණි බවත්  පවසා එම වරාය ඔස්සේ රටට  ඇතුළු වීමට අවස්තාව උදා කරගති.  ඉබන් බතුත මුලින්ම මුණගැසි ඇත්තේ බත්තාල නගරයේ රජ වන අයාරි ශකර්තිය (ආර්ය චක්‍රවර් ති) .  මෙම නගරයේ සිට මාබර් දිස්ත්‍රික්කයට එක දවසක් සහ එක රැයක ගමනය. රජ  අයාරි ශකර්ති ඉබන් බතුත පවසා ඇත්තේ ලජ්ජා නොවී තමන්ට අවශ්‍ය දේ කියන ලෙසය. එවිට බතුත පවසා ඇත්තේ මේ රටට පැමිණීමේ ඔහුගේ  එකම ආශාව ආදී පියාවන ආදම්ගේ පා සලකුණ වන්දනා කිරීමට බවය. ඒ අනුව බතුත සමග යාමට එම ප්‍රාදේශීය රජ විසින් බ්‍රාහ්මනවරුන් 4 දෙනෙකුත් රජ්ජුරුවන්ගේ ආවතේවකාරයින් 10 දෙනෙකුත් සහිත පිරිසක් ලබාදී තිබුණි. ඔවුන් බෝට්ටුවකින් ගඟක් තරණය කොට මනාර් මණ්ඩලී වලට පැමිණ සලාවත් වරායට පැමිණ එතැන් සිට කන්කාර් වලට පැමිණි බව දැක්වේ. මේ නගරය සිලෝනයේ  අධ්රාජයාගේ  වාසභවන වූ අගනුවර බවත් මෙය පිහිටියේ කඳුමුදුන් 2ක් අතර තැනිතලාවක ගංගා මෝයකට ඉහළිනි. මෙය රූබි නදී මුඛය ලෙස හඳුන්වයි. මෙහි රූබි බහුලව වේ. මෙම අධිරාජයාගේ මිත්‍යා දුෂ්ටිකයෙක් වන අතර (මුස්ලිම් නොවන නිසා) කිනාර් නම් නමින් රජ හඳුන්වනු  ලැබේ. මොහුට සුදු පැහැති අලියකු වේ. උත්සව දිනවල රජ මේ අලියා පිට යනු ලැබේ. ඔහුගේ ඔටුන්නේ විශාල රූබි අල්ලා තිබේ. මේ රටේ සියලුම කාන්තාවන් රූබි අල්ලන ලද දම්වැල් අතේ සහ වළලු කරේ පළඳිති. කන්කාර් වල සිට Istu Mahmud ද එතනින් Buzuta වලටද ඉන් Baba Thahir ලෙන, Sibak ලෙන, seven caves, අලෙක්සන්දෙර් කඳු වැටිය ට පැමිනි බවත්  මෙතනින් සේරන්ඩීබ් කන්දේ ආරම්භය පටන් ගන්නා බවත් දක්වා තිබේ. මෙය ලෝකයේ උසම කඳු වලින් එකකි. (මෙම සිලෝනයේ අධිරාජයාගේ අගනුවර පුවත මහා වංශය හා ගැටේ. මහා වංශයේ දැක්වෙන්නේ මෙම යුගයේ අනුරාධපුර රාජධානිය වූ බවය. මහාවංශයේ අපට  නිරන්තරයෙන් සපයාදී ඇත්තේ මල් යුගයේ අනුරාධපුරයේ විස්තර පමණි )
 
Tabari  විසින් ලියන ලද ‘The Livy of The Arabians’ හි අපරට ගැන දෙන ලද විස්තරයේ දක්වා ඇත්තේ සමනල කන්ද තරම් උස කන්දක් ලෝකයේ කොතැනක වත් නැති බවය. Tabari කි.ව 838 උපත ලැබුවෙකි. මෙරට  සම්බන්ද ඉපැරිණි සටහන් බොහෝ  හෝ පර්සියන් සහ අරාබියානු ගත් කතුවරුන් විසින් තබා ඇත්තේය.

The mount of paradise in cloud reposed
That mysterious crime
Whose dire contagion through elapsing time
Diffused to curse of death beyond control
(Tabari ගේ එවන් විස්තරයක සමනල කන්ද ගැන ලියවුනු ඉංග්‍රීසි පරිවර්තනයකි)
 
ශ්‍රීමත් W. Ousley විසින් Berhan Kattea නම් පර්සියානු ශබ්දකෝෂ අත්පිටපතින් උපුටා සිය සංචාරක  වාර්තා වල ලියා ඇත්තේ සේරන්ඩීබ් යනු ඉතා ප්‍රසිද්ධ කන්දක් බවත් ඇඩම් පාරාදීසයෙන් බැස වාසය කලේ මෙහි බවත්ය. 15 වන සියවසේ ජීවත් වූ පිර්සියානු කවියකු වනු Ashrep ‘‘ Zaffer Namah Skendari එනම් සේරන්දීබ් වලට ගිය මුහදු ගමන පොතේ  පවසා ඇත්තේ මහා ඇලෙක්සැන්ඩර් රජ සහ ඔහුගේ පිරිස මෙරටට පැමිණ රට ගවේෂණය කල බවත් Bolinas නම් දාර්ශනිකයා සමග යකඩ දම් වැල් අධාරයෙන් සෙරන්ඩිබ්  නම් කන්ද තරණය කල බවය.  එහෙත් Ashrep විසි සඳහන් කරන ලද ඇලෙක්සැන්ඩර් රජු ගේ මෙම ගමන සනාත කිරීමට විශ්වාස කටයුතු කිසිම ඉතිහාසමය සාක්ෂියක් මුණ නොගැසෙන බව දැක්වේ. Hamdallah Kazwani නම් පිර්සියානු භූගෝල විද්‍යාඥයා පවසා ඇත්තේ අද දවස් 2ක 3ක නැවකින් යන මුහුදු ගමනක් වුවත් ඇඩම් ඉන්දියානු මහාද්වීපයේ සිට ලංකාවට මුහුද තරණය කලේ පයින් බවය.
 
මෙම කන්ද සහ මුස්ලිම් සම්ප්‍රදාය අතර සම්බන්ධතාවය ගැන පැරණිම වාර්තා හමුවන්නේ කි.ව. 9 වන සිය වසේ ආරම්භයේ සිට බව දැක්වේ. අරාබි වෙලෙන්දෙකු ලියන ලද ‘‘ Narative of Soleyman’’ පොතේ සමන්ගිර ගැන විස්තර සඳහන් වන අතර එහි සමන්ගිර හඳුන්වා ඇත්තේ Al- rohoun ලෙසය. එමෙන්ම එම  යුගයේම සංචාරය කරන ලද  තවත් වෙළෙන්දකු වන Ibn Wahab ගේ වාර්තාවේද මෙහි මුතු මැණික් ගැන විස්තර අඩංගු වේ. මෙම වෙළෙඳුන් දෙදෙනා ගේ වාර්තා අඩංගු කර ‘‘ Voyages of the two Mohmadans’’ නම් කෘතියක් කි.ව 851-911 ලියා ඇත්තේය. මෙය කි.ව. 1718 දී ප්‍රථම වරට ප්‍රංශයේ දී මුද්‍රණය කර ඇත්තේය. මෙහි ඉංග්‍රීසි පරිවර්තනය Harris’s සහ Pinkerton’s මුල් යුගයේ චාරිකා එකතුවේ (collections of early travels) සඳහන්ව ඇත්තේය.
 
 එමෙන්ම මෙම වකවානුවේ (කි. ව.9) සංචාරය කරන ලද සින්බෑඩ් විසින්ද සිය චාරිකා සටහන් වන 6 වන මුහුදු ගමනෙ හි කියා ඇත්තේ සේරන්ඩීබ් වල අගනුවර පිහිටියේ රට මැද පිහිටි උස් කඳු වලින් වට වුන කදිම තැනිතලාවක කෙළවරක බවය. මෙම කඳු වෙරළේ  සිට දවස් 3ක් මුහුදේ යාත්‍රා කල විටද දැකිය හැක. මේවායේ රූබි ඇතුළු බොහෝ වටිනා ඛනිජ වර්ග බහුලව දැකිය හැක. ඇඩම් රැඳි සිටි මෙම කඳු මුදුන තරණය කලබවද දැක්වේ.   (මෙම කතා වස්තුවද මහාවංශ ඉතිහාසය සහ ගැටීමකි. දකුණු ඉන්දියානු ද්‍රවිඩයකු වන මහානාම විසින් අපේ සැබෑ ඉතිහාසය ලියා තිබු පැරණි හෙළ අට්ට කතා අතුරුදහන් කර  අපට ලියාදුන් පාලි මහාවංශ ඉතිහාසයේ ඇත්තේ රටේ අගනුවර එම යුගය වවන විට අනුරාධපුරයේ පිහිටි බවය. බොහෝ විට සින්බෑඩ් සහ ඉබන්බතුත මේ ලියා දක්වන්නේ සිහල අට්ට් කතා පුළුස්සා දැමීම නිසා අපට මග හැරි ගිය කිසියම් ඉතිහාසමය කරුණක් විය හැකිය.
 
සිසිලියන් රජ කෙනෙකු වන නෝර්මන්ඩිහී Roger (කි.ව 1154)  ගේ කැමැත්ත පරිදි අරාබියානු ගත් කතුවරයකු වන Edirisi විසින් සම්පාදනය කරන  ලද භුගෝලවිද්‍යාවෙහි  මේ පුජනීය කඳු මුදුනේ උස එහි මැණික් සහ වැවී තිබුනු සුවඳ හමන ශාක ගැන නැවත නැවත විස්තරයන් සඳහන් කර ඇත්තේය. 
 
මුල් යුගයේ ආසියාවේ සංචාරය කල ක්‍රිස්තියානු දේශ ගවේශකයින්  විසින්ද මෙම කඳු මුදුන පිලිබඳ ලියා තබන්නට අමතක කර නොමැත. ප්‍රධාන දේශ ගවේෂකයකු වන වැනීසියානු මාර්කෝ පොලෝ කි. ව 1271- 1295 කාලයේ Kublai Khan නම් අධිරාජයා ගේ යටත් විජිතය  සහ ඒ ආසන්න රටවල් වල සංචාරය කළේය. ඔහුගේ 3 වන පොතේ xxiii පරිච්චේදයේ මෙසේ දක්වා තිබෙනවා. සීලාන් වල මෙම කන්ද සම්ප්‍රදායක් වශයෙන් බුදුන්වහන්සේට සහ ඇඩම්ට සම්බන්දවී  තිබෙනවා. පරිච්චේද xix යේ මෙසේද දැක්වෙනවා.
‘‘ මේ දුපතේ විශාල උස කන්දක් තියෙනවා. බොහෝ ගල්  සහ පල්ලම් සහිත බැවින් යොදා ඇති යකඩ දම්වැල් ආධාරයෙන් හැරෙන්නට එහි මුදුනට  නැගීම ප්‍රායෝගික නොවේ. ඇතැමුන් කියන්නේ මෙහි ආදම්ගේ සොහොන ඇති බවය. මෙය අරාබි ජාතිකයින්ගේ කතන්දරයයි. එහෙත් මෙහි ප්‍රතිමා වලට වඳින්නෝ පවසන්නේ මෙහි ඇත්තේ ඔවුන්ගේ ආගම් නිර්මාතෘ  බුදුන්වහන්සේ ගේ සිරුර බවය. ඔවුන් බුදුන්වහන්සේ මෙහි  පුජනීය පුද්ගලයෙකු ලෙස ගරු කරනු ලැබේ. බුදුන්වහන්සේ මේ දුපතේ රජ කෙනෙකු ගේ පුතෙකි. ඔහුගේ පියා ආකර්ශනීය ලඳුන්, ඔහු පිනවීම සඳහා නොයෙක් දේ දී ඔහු ගෙන ඇති තීරණය වෙනතකට හැරවීමට උත්සාහ ගත්තද ඔහු රාජධානිය මෙන්ම අන් ලෞකික සියල්ල ප්‍රතික්ෂේප කර පැවිදි ජීවිතයට කැප උනා. ඔහු කරුණු කියා වැලැක්වීමට දැරූ  සෑම උත්සාහයක්ම ව්‍යවර්ථ උනා. තරුණයා රහසිගතව මෙම උස්වූ කන්දට (අද සමන්ත කුටයට) පැන ගොස් එහිදී  බ්‍රහ්මචාර්ය සහ දැඩි විරමනයක් අනුගමනය කරනු ලැබුවා. (සිදුහත් කුමරු එදා ගිහිගෙයින් නික්ම දුෂ්කර ක්‍රියා ඇරඹුවේ සමනල කන්ද ආශ්‍රිත පෙදෙසේද? ) ප්‍රතිමා වඳින්නන් විසින්  (බුද්ධ ප්‍රතිමා වඳින්නන් එනම් බෞද්ධයන් ) මොහු මුණිවරයකු ලෙස සලකනු ලබනවා. අදටත් බුදුන්වහන්සේ අන් සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ට ලෙස සලකනු ලබනවා. බුදුන්වහන්සේ මෙහි ආදාහනය කල බවට විශ්වාසය හේතුවෙන් අදටත් විවිධ ඈත පෙදෙස්වල සිට වන්දනා කරුවන් සමනල කන්දට එක් රැස්වෙනවා. බුදුන්ගේ දත් කේශ සහ බුදුන් භාවිතා කරන ලද පාත්‍රය අද දක්වා ආරක්ෂා කරගෙන උත්සවශ්‍රීයෙන් ප්‍රදර්ශනය කරනු ලබනවා. (එහෙත් මාර්කෝ පොලෝ සිය වාර්තාව වල  ඉන්දියාව ගැන ලියා ඇති පරිච්චේදවල කොතනකවත් ඉන්දියාවේ දුටු බුදු දහමක් ගැන දක්වා නැත). 

1281 Grand Khan Kubaliට  සමනල කන්ද තරණය කල එක්තරා අරාබි ජාතිකයෙකුගෙන් මේ ධාතු ප්‍රථම දෙමව්පියන්  ගේ (first parent)බව අසා දැනගෙන මේවා හිමි කර ගැනීම සඳහා බලවත් කැමැත්තක් ඇති විය. ඒ අනුව මේවා  සෙලාන් වල රජුගෙන් බලෙන් ඉල්ලා සිටීම සඳහා තානාපතිවරුන් එවීම පිණිස Grand Khan Kubali   පෙළඹිය. දිගු සහ නීරස ගමනකින් පසු අවසානයේ තානාපතිවරුන් ගමනාන්තයට පැමිණ රජුගෙන් හකු පෙදෙසේ දත් 2ක්, කේශ සහ ගරුඬ පාෂාණ වලින් කරන ලද පාත්‍රයක් ලබාගත් බව දැක්වේ. දුතයන්ගේ ප්‍රඥා ගෝචර ප්‍රවේශය මෙම දුර්ලභ වටිනා දේ  සමග දුතයන්ගේ නැවත පැමිණීමෙන්  දැනගත් රජතුමා සියලුම Kanbalu නගරයේ  (පීකින් අද බීජින් )වැසියන්ට නගරයෙන් පිටතට පැමිණ  ඔවුන් මුණ ගැසීමට පැමිණෙන ලෙස නියෝග කලේය. ඒ අනුව දුතයින් ගෞරවයෙන්  උත්සවශ්‍රීයෙන් කැඳවා යනු ලැබුවා.  මාර්කෝ පොලෝ ගේ මෙම සටහන චීන වාර්තාව වලින්ද පැහැදිලිවම තහවුරු කර තිබෙනවා. බුදුන්ගේ පාත්‍රයක් සෙලාන් වල රජුගෙන් තෑග්ගක් ලෙස Kublai Khan ට ලැබුණු බව චීන වාර්තාවල  සඳහන් වෙනවා. තව දුරටත් චීන වාර්තා වල මෙසේ සනාත කර දැක්වෙනවා . ඒ මෙසේය.
 
කි.ව 1410 දී පමණ චීන සංචාරකයකු වන Kawia- sakara විසින් ලියන ලද වාර්තාවල මෙසේ දැක්වේ.  බුදුරුවක්  ඉදිරියේ බුදුන්ගේ පුජනීය පත්‍රයක් තබා ඇත. එය සාදා ඇත්තේ පච්චවර්ණ ගල් වර්ගයකින් හෝ තඹ වලින් හෝ යකඩින් නොවේ. එය දම් පහැති අතර ඔපවත්ය. එයට තට්ටු කලවිට වීදුරු වැනි හඬක්‌ නැගේ. Yuen රාජධානිය ආරම්භයත් සමග රාජදුතයින් 3 දෙනෙකු වෙන වෙනම එය ලබා ගැනීම සඳහා එවන ලදී. (Taou-e che-leo, ‘‘Account of Island Foreigners’’A.D1350 quoted in the ‘‘Foreign Geography’’
එමෙන්ම තවත් චීන වාර්තාවක මෙසේ දැක්වේ. බුදුන්වහන්සේ Kalon (බුදුන්වහන්ගේ උද්‍යාන) සිට මෙම කඳුමුදුනට වැඩ  එහි උන්වහන්සේගේ පාද සලකුණ තබා තිබේ. මෙම කන්ද පහල ආරාමයක් ඇත. එහි බුදුන්වහන්සේ ලෝක  දහම ගැන සඳහන් වාක්‍ය අඩංගු පත පොත, බුදුන්වහන්සේගේ පාත්‍රය සහ බුදුන්වහන්සේ ගේ ධාතු තැන්පත් කර ඇත්තේය. ("A Treatise on the Diseases of all the Kingdoms of the Earth:")
 
රෝබර්ට් නොක්ස් ගේ වාර්තාවල නිරන්තරයෙන් ආදම්ගේ කන්ද (සමන්ත කූටය) ගැන ලියවී ඇත්තේය. කන්ද උඩ සිට දකුණු පසට කන්දක් පිහිටා ඇති අතර එය දුපතේ උසම කන්ද ලෙස සැලකේ. සිංහල භාෂාවෙන් එය හමලෙල් (hamalell) ලෙස නම් කරනු ලැබේ. එහෙත් පෘතුගිසින් සහ යුරෝපිය ජාතිකයින් ආදම්ගේ කන්ද ලෙස හඳුන් වයි. මෙහි කඳු මුදුනේ තැනිතලා ගලක මිනිසෙකු ගේ වැනි පා සටහනක් ඇත. නමුත් මිනිසේකුගේ පා සටහනකට වඩා විශාලය. අඩි 2ක් පමණවේ. මේ රටේ ජනතාව පා සලකුණ  වන්දනා කිරීම පුණ්‍ය ක්‍රියාවක් ලෙස සලකයි. සාමාන්යෙන් මාර්තුවේ ඔවුන්ගේ අවුරුද්ද එළඹෙන කාලය පමණ වන විට ගැහැනුන්, මිනිසුන් සහ ලමයි විශාල වශයෙන්  මෙම උස කඳු මුදුන වැඳීමට යනු ලැබේ.
 
ඔවුන්ට බුදුන් යයි හඳුන්වන ශ්‍රේෂ්ට දෙවි කෙනෙක් සිටී. ඔහු මේ ලෝකයේ පහළවී මෙරට සිටින විට බෝගහ නමින් හඳුන්වන සෙවන දෙන ශාකයක් යට වාඩිවී සිට තිබේ. එදා පටන් මෙම ශාක  පුජනීයත් වයෙන් සලකනු ලැබේ.  ඔහු ලොවින් සමු ගත්තේ මෙම ආදම්ගේ කන්දෙනි. මේ සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දක්වන විලියම් ස්කීන් මහතා  අදහස් දක්වමින් පවසන්නේ ‘‘නොක්ස් මෙසේ පවසා ඇත්තේ දැනටත් (එනම් යටත් විජිත යුගයෙ එමකාලය වනවිට අපේ රටේ මිනිසුන්ගේ විශ්වාසය.)  රටේ පතින සම්ප්‍රදාය වන   බුදුන් වහන්සේ සමනල කන්දේදී පරිනිර්වාණය වූ පුවතය. එහෙත් එය හෙළයා ගේ මිත්‍යාවක් බවත් බුදුන් පිරිනිවූ ස්ථානය 1870 පමණ වන විටත් සොයා ගෙන නැති බවත් මෙම ස්තානය විවිධ බලධාරීන් විසින් අසාම්, නේපාලය, සහ දිල්ලිය ආසන්නයේ ඇති හුර්ද්වාර් යයි පවසනු ලබන බවත්ය.
 
තව දුරටත් අදහස් දක්වන රෝබර්ට් නොක්ස් මාර්තු මාසයේ අලුත් අවුරුද්ද කාලයත් සමග ශ්‍රේෂ්ට  උත්සවයක් තිබේ. මෙම උත්සවය සමරන විශේෂ ස්ථානය පන්සල් නොවේය. එම උත්සවය සමරන එක ස්ථානයක් වන්නේ කන්දකි, අනෙක ගසකි. මෙම කාලයේ බිරිඳ  සහ දරුවන් ගෙන මෙයින් එක ස්ථානය කට හෝ ගෞරවය දැක්වීම, පින් රැස් කිරීම සඳහා යනු ලැබේ. මෙම ස්ථාන දෙකම එකා සමාන ගරුත්වයෙන් පුදනු ලැබේ. මෙම කන්ද ‘‘Hammalella’’ ලෙස හඳුන්වන අතර ක්‍රිස්තියානු ජනයා ආදම්ගේ කන්ද ලෙස හඳුන්වයි. මෙය උසම කන්දයි. මෙහි මුදුනේ ගලක් මත බුදුන්ගේ පා සලකුණ තබා ඇත, බුදුන් ලෝකයෙන් සමු ගත්තේ මෙම ස්ථානයෙනි. මෙම පසලකුන ඔවුන් වඳිති, පහන් දල්වති.
 
ඉතිහාසඥ Valentyn ඔහුගේ Dutch East Indian Possession නම් කෘතියෙහි මෙවන් විස්තරයන් දක්වා ඇත්තේය.  සිංහලයන් පවසන්නේ  බුදුන්වහන්සේ මෙහි කඳු මුදුනේ සිය පාද ලාංචනය එක්තරා ගලක තබා පිරිනිවන් පෑ බවය. දහස් ගණන් ජනතාව සෑම ප්‍රදේශයක සිට පුජා උපහාර දැක්වීම සඳහා මෙහි පැමිණේ. ගංගා 3ක් මෙහි ඉහල සිට පහලට ගාලා යනු ලැබේ.
 
තවදුරටත් මෙම වාර්තාවේ මෙසේ දැක්වේ සිංහලයන් විසින් මුළු නැගෙනහිරම පාලනය කල රජෙකු සිටි බවත් ඔහුට ජීවිතයේ අග භාගයේ දරුවකු ලැබුණු බවත් දරුවාගේ කේන්දරය බැලූ කල ඔහු රජකම ප්‍රතික්ෂේප තපස් දිවියක් ගත කරන බව දක්වා තිබේ. මෙයි දුක් වුනු පියා සිය දරුවා රජ වාසලේ රඳවා ගැනීම සඳහා මරණය , දුක  ලෙඩ දුක් ගැන අවබෝධයක් නොමැති  පරිසරයක වසර 16 දක්වා හැදු බවය. දිනක් කුමරා සිය පියා ගෙන් සිය පියාගේ රාජධානියේ ගම් නගර බැලීමට අවසර ඉල්ලිය. මෙසේ පියාගෙන් අවසර ලබා නගරයට යාමේදී මහල්ලෙක් , ලෙඩෙක්, මළමිනියක් දැක කල කීරී ජනාශුන්ය පෙදෙසකට ගොස් තපස් දිවිය ඇරඹු බවත් 500 ක් පමණ පිරිවර සමග සමනල කන්දට වැඩම කලබවත්  ජීවිතයේ බොහෝ කලක් සමනල කන්ද ආශ්‍රිතව වැඩ විසු බවත්, මෙයින් බැහැරව අන් පෙදෙස් වලට යන්නට පෙර මෙම කඳු මුදුනේ සිරිපතුල වැඳුම් පිදුම් සඳහා පිහිටවූ බවත් දැක්වේ.
 
සිංහලයන් පවසන්නේ බුදුන්වහන්සේ අද සංඝයා වහන්සේ අඳින පාටට සමාන වූ කහ පැහැති සිවුරක් දැරූ බවත් බුදුන්වහන්සේ නිරන්තරයෙන් සමනල කන්ද හරහා වැඩිය බවත් උන්වහන්සේ පිරිනිවන් පාන අව්ස්තාවේ සමනල කන්දේ වැඩ සිටිය බවත්ය. බුදුන්වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී තමන්වහන්සේ විසින් ඉගැන්වූ දහම අනුගමනය කරන ලෙසත්, මෙරටේ සියමයේ සහ Arracan (උතුරු බුරුම) වැසියන්  මේ ගැන අවධානය යොමු කරන බවත් මක්නිසාදයත් මෙම රටවල ආධිපත්‍ය අත් කර ගෙන ඇත්තේ සුද්දෝධන රජගෙන් පැවත එන්නන් නිසා බවත් වදාළ බවත් දක්වා තිබේ.

පර්සියාව චීනය රටවලින් පවා පිරිස් මේ කන්ද තරණය කරන්නට පැමිණෙන බවත් මෙහි සීත ගඟුලෙන් නා පිරිසිදුවී අලුත් ඇඳුම් හැඳ මුදුනේ ඇති ඝන්ටාව නාද කරන බවත් පැරණි වාර්තාවල දැක්වේ. අපිරිසිදුවට පැමිනෙන් නම් ගන්ටාව හඬ නොදෙන බවත් එවිට නැවත සීත ගඟුලෙන් ගොස් නා ගෙන පැමිණිය යුතු බවත් දැක්වේ. (ඉහත සඳහන් වන්නේ ඉංග්‍රීසින් එන්නට පෙර අපේ මුතුන් මිත්තන් තුල පැවති විශ්වාසයන්ය)
 
කි. ව . 1 වන සියවසේ 24  වන වසරේ පමණ කාශ්මීරයේ රජ මෙරටට පැමිණ සමන්ත කූටයේ තැන්පත් කර ඇති බුදුන්වහන්සේගේ ධාතු  වැඳ පුදා ගත් බව රාජ තරංගනියේ දැක්වේ
 
විදේශිකයින්ගේ තෙලිතුඩින් සමන්ගිර ගැන ලියෙවුන කවි පන්තීන්
 
All the giant mountains sleep
High in heaven their monarch stands,
Bright and beauteous from afar
Shining into distant lands
Like a new-created star
 
The mountain of the this glorious land
Are conscious beings to mine eye.
When at the break of the day they stand
Like giants looking through the sky
To hail the sun’s unrisen car
While one by one, as star by star
Their peaks in ether glow                ( J. montgomery)
 
Amidst the grove that crowns you tufted hill
Which were it not for many a mountain high
Rising in the lofty ranks and loftier still
Might well itself be deemed of dignity
The convent’s white walls glisten fair on high
Here dwells the caloyer, nor rude is he
Nor niggard of his cheer; the passer by
Is welcome still; nor heedless will he flee
From hence , if he delight kind nature’s sheen to see.  (Byron)


 (සුභාෂිනී කුමාරි)
 

No comments:

Post a Comment