Wednesday, June 11, 2014

මහින්දා ගමනය

මහින්දා ගමනය ලෙස හැදින්වෙන මිහිදු හිමිගේ ලංකාද්වීප වැඩම වීම ලංකා ඉතිහාසයේ අලුත් පි‍ටුවක් පෙරලූ බව විද්වත් මතයයි. එය ලංකා ඉතිහාසයට කෙසේ වෙතත් අනුරාධපුර රාජධානියටනම් අලුත් පි‍ටුවක් පෙරලුනු බව සැබෑය. රජගහනුවරදී පවත්වන ලද තෙවනි සංගායනාවේ ප්‍රතිපලයක් ලෙස මිහිදු හිමියන් ඇතුලු පිරිස ශ්‍රී ලංකාවට අලුතින් බුදු දහම හඳුන්වා දුන් බව ඇතමුන් පැවසුවද එය පුරාවිද්‍යාත්මව හෝ වංශකතා අනුවවත් සනාථ වන්නක් නොව හුදු හිතළුවක්ම පමණි.

මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ මූලිකත්වයෙන් සාසනයේ සිදුවන පරිහානිය දැක තෙවනි සංගායනාවක් සිදු කරන ලදී. දුස්සීල භික්ෂූන් සාසනයෙන් ඉවත් කර සාසනය පිරිසිදු කිරීම මෙහි අරමුණ විය. සංගායනාව පවත්වා අවසානයේදී සංගානයාවේදී එකග වූ කරුණු ‍රැගෙන ප්‍රදේශ කීපයකටම භික්ෂූන්වහන්සේලා පිටත් කර හැරි බව හෙළදිව වංශකථාවන් පවසයි. ඒ ප්‍රදේශයන් වෙනත් පිටස්තර රටවල් නොව මේ හෙළදීපයේම තිබූ ප්‍රදේශයන් බව පැහැදිලිය. මක්නිසාදයත් සංගායනාවක් සිදුකරනු ලබන්නේ සාසනය පිරිසිදු කිරීමකට විනා අලුතින් දහමක් ව්‍යාප්ත කිරීමේ චේතනාවෙන් නොවේ. වැදගත්ම කරුණ නම් බුදු දහම වනාහි දේව ආගම් මෙන් ප්‍රචාරය කර ව්‍යාප්ත කරන දහමකුද නොවේ.

මහාවංශයට අනුව කාස්මීර ගන්ධාර රටට මජ්ඣන්තික තෙරුන් ප්‍රධාන පස් නමක් යවනු ලබයි. ගාන්ධාර දේශයේ පිහිටීම මීට පෙර පැහැදිලි කරන ලදී. හිමවන්ත පෙදෙසට මජ්ඣිමක තෙරුන් ප්‍රධාන පස්නමක් යවනු ලබන බව සඳහන්ය. හිමවන්ත ප්‍රදේශය පිහිටියේ කුරු රට ආශ්‍රිත සමනල කන්ද ප්‍රදේශයේ බව දැන් බොහෝ දෙනෙකු දැනගෙන අවසානය.  (H)

සුවණ්න දේශයට සොනුත්තර තෙරුන් ප්‍රධාන පස් නමක් වැඩම කර ඇති අතර පුරාණ ලංකා සිතියමක ආධාරයෙන් අපට සුවණ්න භූමියේ පිහිටීම සොයාගත හැක. එසේම  මහා ධම්මරක්ඛිත තෙරුන් ප්‍රධාන පස් නම වැඩියාවූ මහාරට්ඨ ප්‍රදේශය පැහැදිලිවම පොළොන්නරුව කෘතියේ ඇති සිතියමෙන් පෙන්වා දිය හැක.







 යෝනක යම් ජන කණ්ඩායමක් විසූ ප්‍රදේශය යෝනකය වී ඇත. මෙසේ හදුන්වන්නේ හෙළදිව ප්‍රදේශයක සිටි මුස්ලිම් ජාතිකයන් නොව යෝනක නම් ජන කණ්ඩායමක් පිලිබදවය. නාග කෙලෙහින නම් වූ යඛ්ඛ ජනපදය යෝනක ලෙස නම් දරා ඇත. මහාරක්ඛිත තෙරුන් ප්‍රධාන පස්නම වැඩියේ එම ප්‍රදේශයටය. බුදුන්වහන්සේගේ සිරිපතුලක් පිහිටවූ මක්කම ප්‍රදේශය එනම් අද කල්පිටිය ප්‍රදේශය මෙය විය. අපරාපරන්ත දේශයත්වනවාස දේශයත්මහිස රටත් මෙහි තිබූ බව තුන්වන ධර්ම සංගායනාවේ ඇතුලත කථාව ග්‍රන්ථය කියවීමෙන් වටහා ගත හැක.

ලංකාද්වීපයට වැඩම කල මිහිදු හිමි
තෙවනි සංගායනාවෙන් පසු ලංකාපුර රාජධානියට ජම්බුද්වීපයේ රජගහනුවර සිට වැඩම කල මිහිදු හිමියන් ඇතුලු පිරිස අලුතින් බුදු දහම හඳුන්වා යැයි පවසීමේ කිසිදු සත්‍යතාවක් නැත.  ඒ බව මිහිදු හිමියන්ගේ පැමිණීම පිලිබද දැක්වෙන මහාවංශයේ දහතුන්වන පරිච්ඡේදයේ සිට දහ අට වන පරිච්ඡේදය දක්වා කොටසෙන් පැහැදිලි වේ. යමෙක් මිහිදු හිමියන් ලංකාවට බුදු දහමත් සංස්කෘතියත් හඳුන්වා දුන්නා යැයි පවසන්නේනම් එයින් පැහැදිලි වන්නේ ඔවුන් බුදු දහම පිලිබද දැනීමෙන් අඩු කෙනෙකු බවයි. එය විමසා බැලිය යුතුය.

මිහිදු හිමියන් මිහින්තලයට වැඩම කල පසු තිස්ස රජ හමුවී අසන්නේ අඹ ගස් පිලිබද හුදු ප්‍රශ්නාවලියක් හෝ තමන්ගේ නෑදෑයන් පිලිබද හුදු ප්‍රශ්නාවලියකුද නොවේ. ඒ තුල සැගවුනු දහම් අරුත වටිනා එකකි. ඒ කෙසේ වෙතත් තිස්ස රජ පිලිබදවද දරා ඇති සම්මත මතයන් වැරදි යැයි පෙනේ. සම්මතයෙන් තිස්ස රජ මුව දඩයමේ ගියද එහි සත්‍යතාවක් ඇත්දැයි විමසිය යුතුය.

මහාවංසය සඳහන් කරන්නේ දේවානම්පියතිස්ස රජු “ දඩ කෙළියෙහි “ ගොස් සිටි අවස්ථාවේ මිහිඳු මහ අරහතන් වහන්සේ මුණ ගැසුණු බවය. දඩකෙළිය “ යන්න “ දඩයම “ යනුවෙන් සාවද්‍ය ලෙස වටහා ගත් අය මේ තත්ත්වය වගා කොට ඇති බවත්එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුකාලීනව එම මතය ම තහවුරු වී ඇති බවත් පැහැදිලිය.

මහාවංසය සඳහන් කරන අන්දමට රජු දඩකෙළියෙහි ගොස් ඇත්තේ හතළිස් දහසක පිරිසක් සමගය. මෙතරම් විශාල පිරිසක් සමග දඩයමේ යන රටක් හෝ දඩයම් කළ හැකි රටක් ඇත්දැයි සිතා බැලීම වටී. එමෙන් ම තිස්ස රජු මුවා දැක දුනුඊතල පහර එල්ල නොකළ බවත් ඌ එළවූ විට රජු අසලින් පැන ගිය හෙයින් රජු ඌ පසු පස හඹා යන්නට සැරසුණු බවත් සලකා ගත හැකිය.

මේ හැම කරුණක් පිළිබඳ ව ඉතා ඥානාන්විතව සලකා බැලීමේ දී වැටහී යන මූලික කරුණ වනුයේ තිස්ස රජු කෙසේවත් දඩයක්කරුවකු නම් නො වන බව ය. එසේ නම් “ දඩකෙළිය “ යන්න පිළිබඳව ද ලුහුඩින් හෝ විග්‍රහ කොට බැලීම උචිතය.

ඡ්‍යොතිර් විද්‍යාවට අනුව මිනිස්කමේ යම් යම් ප්‍රගුණතා ඇති කිරීම උදෙසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර විධි ගොඩ නැගී ඇත. සම්මත වශයෙන් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිහිපත් කරන සිංහල අලුත් අවුරුදු සැණකෙළිය මීට හොඳම නිදර්ශනයක් වශයෙන් දැක්විය හැකි ය. ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කලඹ වන වෙසක් පොහොය යෙදෙන්නේ මෙ වැනි ම ස්වභාව ධර්මයේ අසිරිමත් සිද්ධියක් මුල් කොට ගෙන ය. එනම්

සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - විසා නක්ෂත්‍රය

යන විශ්ව ස්වභාවික වස්තූන් අංශක 180 කෝණයක් නිර්මාණය කරමින් එක් සරල රේඛාවක පිහිටන විටය . මේ අයුරින් පොසොන් පොහොය යෙදෙන්නේ ද පෙර කී අන්දමට

සූර්යයා - පෘථිවිය - චන්ද්‍රයා - දෙට නක්ෂත්‍රය

අංශක 180 කෝණයක පිහිටන විටය . මෙ දින දෙට නැකතින් චන්ද්‍රයා මුල නැකතට පිවිසීම මුල් කොට ගෙන කැරෙන සැණකෙළි අවස්ථාවක් හින්දු ඡ්‍යොතිෂ්‍යයෙන් අනාවරණය වෙයි. එයයි දඩකෙළිය”. දඩකෙළිය ක්‍රීඩාවකි. සැණකෙළියපොල්කෙළියපංචකෙළිය ඔලිඳ කෙළිය ආදී වදන් ද සලකා බැලීම වටී. මේ සියල්ල ද ක්‍රීඩාය. දඩකෙළිය යන්නෙන් අදහස් වන්නේ සතුන් දඩයම නොව සතුන් හඹා යාමයි. සතුන් වටකොට ඒකරාශීව කිට්ටුවීමේ දී මැදි කර ගන්නා සතා කිසිවකු අසලින් පැන යයි ද ඔහු එම සතා හඹා යා යුතුය. එම ක්‍රීඩාව දඩකෙළිය නමින් හැඳින්වේ. ප්‍රස්තුත දින මැදි වූ මුවා පැන ගොස් ඇත්තේ තිස්ස රජු අසලින් විය යුතුය. තිස්ස රජු ට ද හතළිස් දහසක් සමග දඩයම් “ කළ නොහැකි වුවත් “ දඩකෙළිය “ නම් වූ සැණකෙළිය පැවැත්වීමට නම් දහස් සංඛ්‍යාත පිරිස බාධාවක් නො වේ. (D)

තිස්ස රජතුමා එදින මෙසේ දඩ කෙළියේ යෙදුනේ පොසොන් දින හෙළයාගේ සංස්කෘතික උත්සවයක් තිබූ නිසාය. එය අරිසෙන් අහුබුදු ශූරීන් දක්වා ඇත්තේ මෙසේය.
"සිංහල බුදුනුවන දෙවැනි වෙසක් උදාවක් බදු පොසොන් උදාවේ වැදගත්කම වඩාත් උසස් කරවන නියාවෙන් හා සිංහල බුදුනු අපේ බැති සිතිවිලි තව තවත් ඔප් නංවාලන අටියෙන් ඒ වටා කවුරුන්දෝ බැද තැබූ මුසා වැටෙක්ද වෙයි.
අනුබුදු මිහිදු මා හිමියන් මුලින්ම අපේ රටේ විසුවන් බුදුනුවන් බවට පත් කළ බව ඉන් පළමුවැන්නයි. මිහිදු හිමියන්ගේ පැමිණීමට පෙර අපේ රටේ විසුවන් නොහැදුණු මිනිසුන් වූ බව දෙවෙනි කරුණ වන අතර පොසොන් පෝය සිංහලයනට උත්සව දිනක් වූයේ මිහිදු හිමිගෙන්ගේ පැමිණීමෙන් බව තුන්වැන්නයි.
සොන් නම් පුතාය. සෝ නම් පෝයයි. පුතා උපන් පෝය යනු පොසොන් යන්නෙහි අරුතයි. විජය යුගයෙන් බොහෝ පෙර අපේ පැරණි හෙළ මහරජකුට පරපුර ගෙන යෑමට සොනකු(පුතෙකු) නැතිව සිටියදී පුතෙකු උපන් දින වූ හෙයින් එම පෝය පොසොන් වී යැයිද එය අපේ හිරුගොත්(සූරිය වංශයේ) මහ රජුන් හට ආදියේ සිට මැ නැකැත් කෙළියක් වී යැයි අඩමාන කළ හැකිය.” (1981 මාර්තු රසවාහිනී)

මේ කරුණු සලකා බලන කල පොසොන් දින මිහිදු හිමිගේ පැමිණීමට පෙර සිටම හෙළයාට උත්සව දිනයක් වූ බවත් තිස්ස රජ ඒ උත්සවය සමරමින් සිටි බවත් පිලිගත හැක.

මිහිදු හිමියන් සිදුකල සේවය
මහාවංශය අනුව මිහිදු හිමියන් අනුරාධපුරයට වැඩම කර සිදුකරන දේශනා පිලිවෙලක් වෙයි. එය නම්
(1)චුල්ලගත්ථිපදෝපම සූත්‍රය - මජ්ජිම නිකාය                   
(2)සමචිත්ත පරියාය සූත්‍රය - අංගුත්තර නිකාය                                  
(3)පේත වත්ථු හා විමාන වත්ථු - ඛුද්ධක නිකාය                                   (4)බාල පණ්ඩිත සූත්‍රය - අංගුත්තර නිකාය                          
(5)සච්චක සංයුත්තයේ දේව දූත සූත්‍රය - මජ්ජිම නිකාය                   
(6)අග්ගික්ඛන්දෝපම සූත්‍රය                                      
(7)ආසිවිසෝපම සූත්‍රය - සංයුක්ත නිකාය                        
(8)අනමතග්ගිය සූත්‍රයකජ්ජනීයක සූත්‍රය - සංයුක්ත නිකාය  
(9)ධම්ම චක්කප්පවත්තන සූත්‍රය - සංයුක්ත නිකාය       
(10)මහාපමාද සූත්‍රය,වස්සුපනායික සූත්‍රය - අංගුත්තර නිකාය

මේ දේශනාවන් දෙස අවධානයෙන් බැලූ විට පෙනී යන්නේ බුදු දහමක් හඳුන්වා දීමක් සිදුකල නොමැති බවත් සාසන ශෝදනයක් සිදු කර ඇති බවත්ය. මිහිදු හිමියන් අනුරාධපුරයට වැඩම කල මුල් දිනයේ දේශනා කරන චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනාව වනාහි සං දේශනාවකි. කිසිම දිනක බුදුන්වහන්සේ ගැන හෝ ධර්මය පිලිබදවත් අසා නොමැති පිරිසකට මෙවැනි වූ ධර්ම දේශනාවක් පැවැත්වූවා යැයි කිසි විටක සිතිය නොහැක. චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් විග්‍රහ කලේ බුද්ධ ඤාණපද හතර වන සංදෙස්සේතිසංමාදපේතිසමුත්තේජේතිසංපහන්සේති යන සංදේශනාවයි. මුල්ම දේශනාව ලෙස සංදේශනාවක් ‍තෝරාගැනීමෙන්ම මිහිදු හිමියන් වැඩම කලේ සංගායනාවක් සිදුකර සං පද හතර  පිරිසිදුව විස්තර කිරීමට බව පැහැදිලිය.

සං පද විග්‍රහ කරදී බාලපණ්ඩිතසමචිත්තපරියාය ආදී සූත්‍රයන්ගෙන් ද්වතාව විග්‍රහ කරදී කරණීය හා අකරණීය ධර්ම පෙන්වා දී වැසී තිබූ නිවන් මග විවෘත කර ගන්නට මිහිදු හිමියන් උපකාර කර තිබෙන බව පෙනී යයි. එමෙන්ම සමචිත්ත පරියාය සූත්‍රයඅග්නිකන්දෝප සූත්‍රය දේශනා කරමින් සිදුකර ඇත්තේ එකල්හි අනුරාධපුරයේ සිටි දුස්සීල භික්ෂූන්ගෙන් සාසනය පිරිසිදු ගැනීමේ කාර්‍ය බව එම සූත්‍ර දේශනා කියවා බැලූ විට පෙනී යයි. අනුරාධපුරයේ සිටි වයෝවෘධ බුද්ධ ශ්‍රාවක වෙස් ගත් මහාසාංඝිකයන්ගෙන් හා වෛතුල්‍ය වාදීන්ගෙන්ද ජෛන ආදී ඉන්දියානු ආභාෂිත ආගමික සංකල්ප වලින්ද සාසනය මුදවා ගැනීම සදහා මිහිදු හිමියන් පැමිණ සත්වෙනි දිනයේදී දේශනා කල අග්නිකන්දෝපම සූත්‍රය හේතු වන්නට ඇත.

මිහිදු හිමියන් ලංකාවට බුදු දහම ගෙනාවායැයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නෝ කිසි දිනක මෙවැනි සූත්‍ර දේශනාවක්දැයි කියවා නැත්දැයි සිතෙන්නේ කිසිම තැනකදී මිහිදු හිමියන් අලුතින් බුදු දහම හඳුන්වා දුන් බවට සාධකයක් නැති නිසාය. සැබවින්ම මේ සියලු කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ රජගහනුවරින් සිදුකරන ලද සංගායනාව අනුරාධපුරය දක්වා පැතිර වීමේ කාර්‍ය මිහිදු හිමියන් ඇතුලු පිරිස සිදු කර ඇති බවයි.


මිහිදු හිමියන් ඇතුළු පිරිස අනුරාධපුර මිහින්තලා ප්‍රදේශයෙන් පිටතට දේශනා පැවැත්වූ බවක් කිසිදු මූලාශ්‍රයක නොමැත. ඒ අනුව උන්වහන්සේ අනුරාධපුරය මුල් කරගෙන වැඩම කල පුවත සත්‍යයක් වේ. එසේ වැඩ සිටි මිහිදු හිමියන් අපවත් වීම සදහා නැවත රජගලට වැඩම කර ඇති බව පෙනේ. මිහිදු හිමියන්ගේ හා ඉත්තිය තෙරුන්ගේ බෂ්මාවශේෂ තැන්පත් කර ඇති දාගැබත් එම සෙල්ලිපියත් එයට සාක්ෂි දරයි.(I.C.468)

(උපුටා ගැනීම බුදුන්ගේ දේශය දෙවනි වෙළුම ග්‍රන්ථයෙනි. පි‍ටු 187 - 194. සැ;යු; උපුටාගැනීමක් නිසා මෙහි මූලාශ්‍ර එකින් එක සදහන් කර නොමැත)

Sunday, April 13, 2014

සූර්ය මංගල්‍යය

සූර්‍යයා මීන රාශියේ සිට මේෂ රාශියට සපැමිණීම හේතුවෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන බව අද වට මේස සාකච්චාවලදී අපට අසන්නට ලැබේ. රූපවාහිනී ගුවන් විදුලියට ‍රැස් වෙන බොහෝ උගතුන් තමන්ගේ දැනුම විදහා දක්වමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට විවිධ අර්ථ කතනයෝ සපයති. ඔවුන් දෙන අර්ථ කථන්යන්හි වැරදි නැති බව පෙනුන්ද සත්‍ය වශයෙන්ම මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් ඇති වූයේ කෙසේද සිංහලයන් හා හින්දූන් මෙය සමරන්නේ ඇයි යන්නට නිසි පිළිතුරු තවමත් අවිනිශ්චිත දෝ යැයි හැගේ.

සූර්යාට සාපේක්ෂව පෘතුවියේ ගමන නිසා අවසාන රාශිය එනම් මීන රාශිය ගෙවී පලමු රාශිය වන එළු හෙවත් මේෂ රාශි උදාව ජෛතිශ්‍යයේදී නව අවුරුදු උදාවක් ලෙස සලකයි. ජෛතිශ්‍ය යනු නූතන තාරකා විද්‍යාවටත් බොහෝ පැරණි වූ ගණිත විද්‍යාව මත පදනම් වූ ශ්‍රාස්ත්‍රයක් වන අතර ස්බාදහමේ මෙම ක්‍රියාවලිය අලලා නැකැත් කෙලියක් එසේත් නැතිනම් උත්සවයක් ලෙස මේ සිදුවීම පැ‍රැන්නන් සමරා තිබෙන බව පෙනේ.

මේ පිළිබද හොද විග්‍රහයක් මතුගම සෙනෙවිරුවන් මහතා ලියා ඇති ඇතර එය උපුටා ගැනීමක් මෙසේය.

"දිගු සංස්කෘතික ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජනතාවට තමන්ටම අනන්‍ය වූ අලුත් අවුරුද්දක් ඇත. එය ආරම්භ වන්නේ බක් මාසයෙනි. සූර්යයානය හෙවත් අහස් චක්‍රයේ සූර්යයා ගමන් කරකන්නා වූ මාර්ගය පොළවේ සැබෑ නැගෙනහිරට හා බස්නාහිරට කෙලින් වැටී නැත. ඊට අංශක විසිතුනහමාරක් ඇලව පවතී. මහ පොළව පූර්වාංශ වෙමින් එක් වටයක් සම්පූර්ණ වීමට වසර 25800 ක් ගත වේ.නමුත් මහ පොළව භ්‍රමණය වන බැවින් ඉන් භාගයක් උතුරු පැත්තටත් අනෙක් කොටස දකුණු පැත්තටත් ඇලව පිහිටයි.ඒ අනුව වසරෙන් හය මාසයක් සූර්යයා උතුරෙහිද අනෙක් හය මාසයයෙහි දකුණෙහිද ගමන් කරයි. මේ තත්ත්වය නිසා ලොකයේ සෑම රටකම සෘතු භේදය ඇති වේ. උත්තරායනය හා දක්ෂිණායනය යනුවෙන් අයන දෙකකට බෙදා දක්වා ඇත්තේ එහෙයිනි.
 
පෘතුවියට සාපේක්ෂකව සූර්යයාගේ ගමන් චක්‍රය අනුව උදාවන උත්තරායන සමයේ සිංහල අලුත් අවුරුදු සමය එළඹේ. මකර රවියේ(ජනවාරි 15) සිට මිථුන රවිය(ජූලි 15) දක්වා කාලය උත්තරායනයයි.කටක රවිය(ජූලි 16) සිට ධනුරවිය(ජනවාරි 14) දක්වා කාලය දක්ෂිණායනයයි. මාර්තු මස විසි එක් වනදා වන විට ලංකාවට සාපේක්ෂව හිරු මුදුන් වීමට පටන් ගනී. අප්‍රියෙල් මස පස්වන දා පමණ වන විට හිරු දෙවුන්දර තුඩුව අසලින් උදා වේ. සූර්ය දොරටුව යන අර්ථයෙන් එය දෙවුන්දොර වන්නා සේ සූර්යයා ලංකාව හැරයන ලක්ෂය පැදුම් දොර අර්ථයෙන් පේදුරු තුඩුව ( පෑ දොර) වේ. අරීසෙන් අහුබුදු මහතා ඇතුලු හෙළ හවුලේ මතය වන්නේ හිරු මන්නාරමට මුදුන් වන අවස්ථාවේ දී අලුත් අවුරුද්ද උදාවන බවයි. අවුරුද්ද යනු වෙසෙසි අවස්ථාව යෙදෙන දිනය වශයෙන් ඔවුහු අර්ථ දක්වා ඇත. මේ දිනය නම් මහා සම්මත මනු රජු ඔටුණු පළන් දිනයයි. එය සිදුව ඇත්තේ මන්නාරම(මනු+නා+රම) නගරය ආශ්‍රිතව බව වැඩි දුරටත් දක්වා ඇත.
වර්තමානයේ දී මේ සිංහල අවුරුද්දට සිංහල දෙමළ හෝ සිංහල හින්දු යන ව්‍යවහාරය දක්වමින් විකෘති කර ඇත.එම ව්‍යවහාරය නිවරදි නොවන්නේ ඇයි දැයි පළමුව බලමු. දෙමළ ජනවර්ගයට අයත් සෑම දෙනම හින්දු නොවන්නා සේම හින්දු දහම පිළිගන්නා සෑම දෙනම දෙමළ ද නොවේ. උතුරු ඉන්දියාවේ හින්දූන් තෛයිපොංගල් උත්සවය පවත්වන්නේ ජනවාරි මස 14 වන දිනයේ දීය. දක්ෂිණායන සමයේ දී උත්තර ධ්‍රැවය ආසන්න පෙදෙස් වල දිවාකාලය කෙටිවී හිරුගේ ශක්තිය දුබල වෙයි. මේ තත්ත්වය තුළ නැවත සූර්ය බලය ආරම්භ වන උත්තරායන දිනයේ උත්සව පැවැත්වීමත් ආගමික චාරිත්‍ර පැවැත්වීමත් හින්දූන් ගේ සංස්කෘතික පිළිවෙත විය. ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජන වර්ගයටද මෙය අදාළ වන්නේ ඔවුන්ගේ බහුතරයක් හින්දූන් වන බැවිනි.හින්දූන්ගේ දීපාවලී උත්සවය සමරන්නේ ඔක්තෝබර් මාසයේ දීය. හිරු තුලාරාශිගතව හැසිරෙන අවස්ථාවකි.තුලාවේ දී හිරු දුබල වෙයි. පහන් දල්වා දුබල හිරු ශක්තිමත් කිරීම එහි අදහසයි. ඒ නිසා උතුරු වැසි හින්දූන් ට හා දෙමළ ජන වර්ගයන්ට අදාල වන්නේ යටකී උත්සව දෙකයි. එය අනුකරණයෙන් ලංකාවේ දෙමළ ජනයාද මේ උත්සව පවත්වති. එසේම නායක්කර් යුගයේ දී චිත්තර පුන්නාඩු යනුවෙන් වසන්ත උත්සවයක් ද විය. එය අවුරුද්දේ සතර වන මාසයේ දී යෙදෙන්නකි. මේ උත්සව සැමකක්ම හින්දු සංස්කෘතියේ උරුමයක් ලෙසට මිස ලංකාවට අදාල සංස්කෘතික හා විද්‍යාත්මක උරුමයක් ලෙසට ගත නොහැකිය.
 

නමුත් හෙළයන් විසින් ආරම්භ කරන ලදුව තවමත් පවත්වාගෙන එන අවුරුදු මංගල්ලය වර්තමාන සිංහල ජනතාවගේ සංස්කෘතියේ අභිමානය කියාපාන අතීත උරුමයකි.මෙහි විද්‍යාත්මක කාරණා රාශියක් ගැබ්ව පවතී. මේෂ රාශිය සූර්යයාගේ උච්චතම රාශියයි. මේෂ රාශිය අංශක බිංදුව ලෙසට ගෙන අහස් චක්‍රය පෘතුවියට සාප්ක්ෂව මැන සූර්යයාගේ ගමන් නිර්ණය කිරීම පැරණි හෙළයන් විසින් හඳුනාගත් ක්‍රමයයි.. එහිදී මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්ති වන අවස්ථාව නොහොත් සූර්ය ගැට්ට තුළ නොනගතය දක්වා( පැමිණියා වූත් නොපැමිණියා වූත් කාලය) අවුරදු චාරිත්‍ර සකස් කර නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීම හුදෙක් ලංකාවට පමණක් ආවේණික සංස්කෘතික පිළිවෙතක් බවට පත් වෙයි.ආහාර පිසීම වැඩ ඇල්ලීම හිස තෙල් ගෑම ආදී චාරිත්‍රයන් තුළ නව ආරක බලාපොරොත්තු මෙන්ම සෞඛ්‍ය පිළිවෙත් ද අඩංගු වෙයි.මෙවැනි අවස්ථාවක් පිළිබඳ අවදියෙන් හා උනන්දුවෙන් බලන කණ්ඩායමක් සිටී නම් එම අවධානය නිසැකයෙන්ම ඇති වන්නේ කෘෂිකර්ම පැවැත්ම උදෙසාය. සියලුම බීජ සහ ගහ කොළ වල ජීවය පවතින්නේ සූර්ය ශක්තිය තුලය. එම ශක්තිය උපරිම වශයෙන් ලබා දෙන අවස්ථාව බක් මාසයේ යෙදෙන බවද මේ කණ්ඩායම තේරුම් ගෙන සිටියහ. මේ නිසා සූර්ය වන්දනාව මෙන්ම විවිධාකාරයෙන් සොබා දහම සතුටු කිරීමටද මේ අවස්ථාව යොදා ගත් බව පෙනේ. අස්වනු කපා පාගාගෙන අවසන් වන මැදින් මාසය මහ දින් (ධාන්‍ය) කාලය ලෙසට ගෙන එය කෘෂීකාර්මික පැවැත්මේ වර්ෂයක් නොහොත් වරුවක අවසානය ලෙසටද සලකන්නට උත්සාහ කළහ. සූර්ය වන්දනාව සිදු කරන අවස්ථාව අනුව ආරම්භ වුවද ගොවි කන්න දෙකක අවසානයේ ඇති වන මේ ඉසිඹුව අවුරුද්දක් ලෙසට සම්මත කර ගන්නට පැරණි ජනතාව උත්සාහ කර තිබේ.
සූර්ය දිව්‍ය රාජයා ලංකාවට දෙවරක් මුදුන් වෙයි. පෘතුවියේ චලිතයත් සමග ඊට සාපේක්ෂව සිදු වන මෙම ක්‍රියාවලිය අපගේ පැරණි මුතුන් මිත්තන්ගේ අවධානයට ලක් ව තිබුණි. සූර්යයා වටා ගමන් කරන පෘතුවිය මත දේශගුණික විපර්යාස ඇතිවන්නේ අංශක විසිතුනහමාරක ඇලයෙකින් යුක්තව ගමන් කරන බැවිනි. සූර්යයා වසරකට වරක් පෘතුවියට ඉතා ලන් වෙයි. එක් වරක් උතුරට ලන්වද දෙවනි වර දකුණට ලන්ව ද ගමන් කරයි. පැරණියන් ජ්‍යෙතිෂ විද්‍යාව බිහිකොට ගෙන ඇත්තේ මෙම ගමනේ සිද්ධාන්ත මත ගණිත ක්‍රමයන් සංවර්ධනය කිරීමෙනි.
 
පැරණි හෙළයන් හිරුට නමස්කාර කළහ. එහි පවතින විශ්ව ශක්තිය මනුෂ්‍යාට ආරෝපණය කර ගත්හ. ශක්ති පැවැත්මේ මූල හිරු වීම මෙයට හේතුවයි. ඒ නිසා හිරු මුල් කොට සූර්ය සිද්ධාන්තය නමින් මහා ග්‍රන්ථයන්ද බිහි කළහ. එසේම ලංකාවේ වෙසෙසි ස්ථාන තෝරා ගෙන ඒවා විශ්ව ස්ථාන ලෙසට සලකා එහි සිට පියවර මනිමින් නැකැත් ආදිය ගණනය කළහ. පසුව ඒ ස්ථාන දෙවොල් බවට පත් විය. මේ හිරු දෙවොල් කාලාන්තරයක ඇවෑමෙන් අද විවිධ ආගමික කණ්ඩායම් සතුව ඇත. මෙහිදී උත්සාහ කරනුයේ එවැනි විශ්වස්ථාන කීපයක් ගැන යම් විවරණයක් කිරීමයි. මෙයින් පළමු වැන්න නම් දෙවිනුවර විෂ්ණු උපුල්වන් දේවාලයයි. වර්තමාන විෂ්ණු දේවාලය අටවන සියවසේ දාපුලුසෙන් රජ දවස බිහි වී වර්ධනය වූවකි. එය හිරු දෙවොලක් නොවේ. එහෙත් දෙවුන්දර නගරයට මදක් නැගෙනහිරින් කීලෝමීටරයක් පමණ දුරින් කුඩා කඳු ගැටයක ගල් දෙවාලයක නටබුන් හමුවේ. පුරා විද්‍යා සංරක්ෂිත ස්ථානයක් වන මෙය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුන්වා දී ඇත්තේ උපුල්වන්දේවාලය වශයෙනි.තනිකර ගලෙන් සාදා ඇති මෙම දෙවොල ඊශ්වර දේවාලයක් ලෙසටද ඇතැමෙක් හඳුන්වති. මෙහි ප්‍රධාන දොරටුව යොමුව තිබෙන්නේ නැගෙනහිරටයි. දේව රුප දක්නට නැත. පියස්සේ කුඩා සිදුරක් තිබූ බවත් එයින් සූර්යාලෝකය සෘජුව දෙවොලට ඇතුලත් වූ බවත් කියවේ. මෙම වාස්තු නිර්මාණය අටවැනි සියවසට අයත් බව සඳහන්ය. එසේ නම් විෂ්ණු දෙවොල ඇති වන්නට පළමු මෙහි සූර්යයා පිලිබඳ පැරණි සංකල්පය ශක්තිමත් කොට විශ්ව ස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇතිවාට නිසැකය. විදේශිකයෙකු වූ දාපුලුසෙන් රජු මේ විශ්ව ශක්තියට ආගමික අර්ථයක් ලබා දී උපුල්වන් දෙවොල කරන්නට ඇත. අප්‍රියෙල් මස 04 වන දින වන විට මේ ස්ථානය අසලින් සූර්යයා මුදුන් වන නමුත් එය දැන් සැබවින්ම මුදුන් වන්නේ අක්ෂාංස හයයි කලා තුනකට අසුවන බූස්ස හා කඹුරුපිටියෙනි.

දෙවන ස්ථානය දොඩන්දූව හා ගොඩවායයි. දොඩන්දූව කුමාරකන්ද කඳුගැටය පැරණි හෙළයන්ගේ විශ්ව ස්ථානයක් වන අතර සුර අසුර යුද්ධය සිදුවූ තැනක් වශයෙන්ද හඳුනාගත හැකිය. ගොඩවාය පැරණි වරායකි. එහි කඳු ගැටයක පැරණි බෞද්ධ සිද්ධස්ථානයකි.තෙවැන්න කූරගල හා කලුතර බෝධියයි. කූරගල පර්වතයේ තපස් පිළ නැගෙනහිරට මුහුණලා සිටින අතර එහි පෙර ඉසිවරුන් බවුන් වැඩූ බව පැවසේ. සූර්ය නමස්කාරය සිදු කල ස්ථානයකි. කලුතර බෝධිය තිබෙන ස්ථානයෙහි පෙර කුඩා කඳුගැටයක් පැවතී ඇත. සුර අසුර යුද්ධය සිදුවූ ස්ථානයක් වශයෙන් හැඳින්වේ. බුද්ධකාලයේ දී බෝධින් වහන්සේ නමක් රෝපණයකර වැඳුම් පිදුම් කිරීම ආරම්භ කර ඇත. සිවු වැන්න ශ්‍රී පාදයයි.

එය ලංකාවේ අග්‍රතම වන්දනීය ස්ථාන අතරින් එකකි. අතීතයේදී සමන් දෙවියන්ගේ වාස භවනයයි. එහිද හිරු දෙවොලක් මූලිකව පැවතියායයි සිතන්නට හැකිය.අක්ශාංස 06 කලා 48 හි පවතින මෙම ස්ථානයට වර්තමානයේ දී.ද අප්‍රියෙල් 07 වන දින හිරු මුදුන් වේ. බුදුන් වහන්සේ මෙම ස්ථානයේ පැවති විශ්ව බලය තේරුම් ගෙන ශ්‍රී පා සළකුණ තැබුවායයි සිතන්නට පිළිවන.පස් වැන්න වැටෙන්නේ ඒකලට හා හිරුකෝවිල යනුවෙන් අද ව්‍යවහාර වන් ස්ථානයන්ටයි. ඒකල යනු ඉලක්කයයි. හිරු කෝවිල් යනු හිරු දෙවොලයි. සය වැන්න දෙවනගලයි. දෙවුනැගි ගල යනුවෙන්ද එයට ව්‍යවහාර වේ. මේ පර්වතයේ විවිධ කාල වකවානු වලට අයත් වාස්තු නිර්මාණ දක්නට තිබුණද එක් විශේෂ ගල් ගොඩනැගිල්ලක් පිළිබඳව කාගේත් අවධානය යොමු වෙයි. එය හැඩයෙන් දෙවිනුවර ගල් දේවාලයට සමානය. නටබුන් වී යාමෙන් එහි වහළ සුන් වී ඇති නමුත් වාස්තු නිර්මාණයක් වශයෙන් අගයක් ඇත. මෙයට ඉසුරුමුණි පාය යනුවෙන්ද නමකි. ඒ අරුතෙන් ගත්කල මේ ස්ථානයද අතීතයේ විශ්ව ස්ථානයක් වශයෙන් සලකා ඇත. එහි හිරු දෙවොලක් තිබුණේ යයි සලකා බැලිය හැක්කේ පුරා විද්‍යාත්මක නිරික්ෂණයකිනි.
 

සත්වන ස්ථානය වශයෙන් ගත හැක්කේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අරන් කැලේ ආරණ්‍ය සේනාසනයයි. එහි ඉතා පැරණි පධාන ඝර නටබුන් සහිත රක්ෂිතයක් පවතී. කුමන ස්ථානයක විශ්ව ඉලක්කයන් තැබුවාදැයි එකවර නිගමනය කිරීම අපහසුය. අටවන ස්ථානය හමුවන්නේ අනුරාධපුරයෙනි. එහි ඉසුරු මුණි විහාරය නමින් තිබෙන ස්ථානය විය හැතිය. රන්මසු උයනේ තිබෙන විශ්ව චක්‍රය මෙයට කදිම නිදසුනකි. නව වන ස්ථානයට ගැනෙන්නේ කුදිරමලේ කඳුගැටය හා අනෙක් කෙළවරේ පිහිටා තිබෙන කෝනේශ්වර කෝවිලයි. මේ ස්ථාන දෙක උස් භූමියක තිබෙන්නා සේම පුරා වස්තු වලින් ගහනය. පැරණි ගෝකණ්ණ විහාරය තිබුණේ වර්තමාන කෝනේශ්වර කෝවිල තිබූ ස්ථානයේය. වෙසෙසින්ම කොටි ත්‍රස්ත සමයේ දී මේ නටබුන් පසටයට කර දමා වර්තමාන කෝවිල ගොඩ නගා ඇත. දසවන ස්ථානයනම් ලංකාවේ අවුරුද්ද පිළිබඳව වැදගත් වන මන්නාරමේ තිරුකේදීශ්වරම් කෝවිලයි. එයට අමතරව හොරොව්පතානේ වෙහෙර බැඳි ගල නම් ස්ථානයක්ද රාමකන්ද නම් ස්ථානයක්ද පවතී. ඒවා තවමත් නිශ්චිතව හඳුනාගත නොහැකිය. නමුත් අතීතයේ දී එම පෙදෙස යක්ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමියක්ව පවති බවට සාධක හමුවේ. මන්නාරමේ තිරුකේදීශ්වරම් කෝවිල වර්තමාන හින්දු දෙවොලක් වුවද නිසැකවම එය හිරු දෙවොලකි. 2014 වර්ෂයේ අප්‍රියෙල් 14 දා වන විට සැබවින්ම මන්නාරමට හිරු මුදුන් වන්නේ නැත. එය මුදුන් වන්නේ කච්චතිවු චුන්නාවිල් හා පුදුමාතලන් නම් ස්ථානයන්ටයි. ඒ නම් අක්ශාංස 09 කලා 23 කිනි. නමුත් මන්නාරම ඇත්තේ අක්ශාංස අටයි කලා නමයකිනි. අප්‍රියෙල් 15 වන දා වන විට හිරු අක්ශාංස 09 කලා 45 වන ස්ථානය නොහොත් පැරණි හුණුගම නොහොත් චුන්නාකම් නම් ස්ථානයට මුදුන් වන අතර පේදුරු තුඩුව නම් ස්ථානයට මුදුන් වන්නේ නැත. එහෙත් එය ලංකාවේ අවසන් විශ්ව ස්ථානයයි. එහි අද විෂ්ණු දේවාලයක් පිහිටුවා ඇත.
 
මේ ආකාරයෙන් බලන කල්හි සූර්යයා ලංකාවට මුදුන් වීමත් ඒ මගින් ධරණී තලයෙහි ඇති කරන ශක්තියත් පැරණියන් සුලු කොට නොතැකූ බව කිව හැකිය. ඒ මගින් බිහිකරන ලද විද්‍යාව පිළිබඳ ස්පර්ශයන් ඇතද එහි ගැඹුර පිලිබඳ අවබෝධයක් අපට නැත. එය සෙවිය හැක්කේ පුරා විද්‍යාත්මක සමාජ හා සංස්කෘතික ගවේශණයක් තුළිනි.මේ කරුණු එයට ඉවහල් කර ගතහැකිය."(උපුටා ගැනීම අවසන්) 

මීට අමතරව සලකා බැලිය යුතු කරුණ වන්නේ හෙළ අවුරුද්දට ශක වර්ෂ සම්බන්ධ වූයේ කෙසේද යන්නයි.

එහි ආරම්භය ගැන සඳහන් වන කතා පුවතක්‌ ඇත. ශක වර්ෂ ක්‍රමය අද භාවිතා කරන්නේ නැකැත් ශාස්‌ත්‍රයේ යෙදෙන දෛවඥ පිරිස්‌ පමණි.  උගත් ජ්‍යෙතිෂ පඬිවරයකු වූ ශක නම් රජු මියගිය වසරේ සිට එම රජුට ගෞරවයක්‌ වශයෙන් එදා සිට ජ්‍යෙතිෂවේදීන් මෙම වර්ෂ ක්‍රමය ආරම්භ කර ඇත. මේ නිසා යමෙකුගේ ජන්ම පත්‍රය සකස්‌ කිරීමේදී උපන් වර්ෂය ප්‍රධාන වශයෙන් ගණනය කරන්නේ ශක වර්ෂයේ සිටය.

ශක වර්ෂය ගණනය කරන්නේ ක්‍රිස්‌තු වර්ෂයෙන් වසර 78 ක්‌ අඩුකර බැලීමෙනි. ඒ අනුව ක්‍රිස්‌තු වර්ෂ 2010 වසර ශක වර්ෂයෙන් 1932 වසර වේ. ක්‍රිස්‌තු වර්ෂයෙන් අවුරුදු 78 ක්‌ අඩුකර ශක වර්ෂයක්‌ නිර්මාණය වූයේ කෙසේදැයි අපි සොයා බලමු.  අග්‍රගන්‍ය ජ්‍යෙතිෂ පඬිවරයකුව සිටි ශක රජු මිය ගියේ ක්‍රිස්‌තු වර්ෂ 78 දීය. එබැවින් එම රජුට ගරු කිරීමක්‌ ලෙස සලකා රජු මියගිය වසර පළමු වන වසර ලෙස ගෙන එතැන් සිට පිළිවෙළින් ශක වර්ෂ ක්‍රමය ජ්‍යෙතිෂවේදීන් විසින් ඉදිරියට පවත්වා ගෙන ආහ.

ශක රජුගේ උපතද නැකැත් ශාස්‌ත්‍රය පිළිබඳව පරතෙරට ගිය පුද්ගලයකුගේ ජ්‍යෙතිෂ දැනුම මත සිදු වුණකි. ඒ පිළිබඳ කතා පුවත මෙසේය.

බරණැස්‌නුවර බුද්ධ වර්ෂ පන්සීයේදී පමණ විසූ විවාහක බමුණු තරුණයෙක්‌ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය හොඳින් ඉගෙනුම ලබා එම ශාස්‌ත්‍රය පිළිබඳව  විශාල කීර්තියක්‌ දිනා ගත්තේය. මෙසේ සිටින ඔහු නිවසින් බැහැරව ගොස්‌ හිමාල වනයට ඇතුල්ව සෘෂිවරයෙක්‌ වශයෙන් පත්ව වනාන්තරයේ වෙසෙන විට ඔහු ජ්‍යෙතිෂ පර්යේෂණයක යෙදුනි. එම පර්යේෂණය වූයේ මතු කල  අගරජ වන දරුවෙකු උපදින වේලාවක්‌ කාලයක්‌ තිබේද යන්න සෙවීමයි. මේ අනුව ඔහු කළ තියුණු පරීක්‌ෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස එවන් දරුවකු උපදින වේලාවක්‌ සොයා ගන්නට හැකිවිය. ඒ අනුව එම දරුවා මව්කුස පිළිසිඳගන්නා මොහොත ද සොයා බැලුවෙන් එම දරුවාට පියාවීමේ ආශාව ඇතිකරගත් මෙම බමුණු ඉසිවරයා වහ වහා තම නිවස කරා පිවිසෙන්නට පැමිණියේ තම බිරිඳගේ කුසේ මෙම දරුවා පිළිසිඳ ගැන්වීමටය. මෙම නැකත උදාවෙන කාලයට හරියටම තිබුණේ දින තුනක්‌ පමණ වන නිසා ඔහු ආ ගමන් වේගය මද බැවිනුත් හිමාලයේ සිට තම නිවෙසට තිබෙන දුර ප්‍රමාණය දීර්ඝ වූ නිසාත් ඔහුට ගෙදරට යා ගන්නට වේලාව නොමැතිවන බව පෙනී ගියෙන් එම බමුණු ඉසිස්වරයා ගෙදරට යැම නවතා දමා තමා දැනට ගමන් කරන මාවත අසල නිවෙසකට සේන්දු වූයේ නැකත ලබන්නට තිබෙන්නේ තවත් හෝරා කිහිපයක්‌ නිසාය.

එම නිවසේ වෙසෙන ප්‍රධානියා හමුවී තමා ගැන සියලු පුවත් පවසා තමා සිය නිවෙස බලා පිටත්වන කාරණයද පැවසීය. නමුත් එම දරුවා පිළිසිඳගන්නා සුබ වේලාවට ප්‍රථම තම නිවෙසට යා ගන්නට නොහැකි වන නිසා  අගරජ වන මහ පණ්‌ඩිත රජ කෙනකුගේ උත්පත්තිය වැළකී යන බවට පවසා එවැනි දරුවකු බිහිකරවා ගැනීම සඳහා සුදුසු තත්ත්වයේ කාන්තාවක්‌ සිය නිවසේ නොමැතිදැයි මෙම බමුණාගෙන් විමසුයෙන් මතු  මහරජකු තම දරු පරපුරෙන් බිහිවනවා දකින්නට කැමති වූ මේ නිවස හිමි ගැමියා තමාගේ තරුණ වියේ පසුවන දියණිය මෙම බමුණා සමග ගත කරන්නට ඉඩ ලබා දීමට ඔහු කැමති විය.

ඉන්පසු සියල්ල බමුණාට රිසි පරිදි සිදුවිය. දස මසක්‌ ඇවෑමෙන් බමුණා සමග ගත කළ එම කාන්තාව ඉතා රූප සම්පන්න පින්වත් පුත් රුවනක්‌ බිහි කළාය. එම දරුවාට නම් තැබීමේ දී "ශක" යන නම තැබිණි. දිනෙන් දින මෝරා වැඩුන දරුවා අධ්‍යාපනය ලබන්නට රුසියෙකු විය. විසිවන විය පසුවන විට ඔහු තරම් උගතෙකු වියතෙකු  නොවීය. විවිධ ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනුම ලබා පිරිවර ශක්‌තියෙන්ද ධන ශක්‌තියෙන්ද ඥන ශක්‌තියෙන්ද වර්ධනය වූ මෙම තරුණයා උපාය මාර්ගයෙන්ද ශක්‌තිමත්ව අවසානයේ රටේ රජකමට පත්විය. ඔහුගේ ධනය බලය නිලය හා උසස්‌ ගති ගුණ හා මිනිස්‌ ධර්මයන් අගය කළ දෙවියෝද ආශිර්වාද කරමින් සත් රුවන් පහළ කර දුන් අතර රජුට විවිධ උපකාරයන් සිදුකරන්නට යෙදුනි. රජුගේ පාලන යුගයේදී  අධ්‍යාපන දියුණුව ඉතා ඉහළ ගිය අතර ඔහුගේ අමාත්‍ය මණ්‌ඩලයද මහ බලවත් උගත් අයගෙන් පිරී ඉතිරී ගියහ.

රාජ සභාවේ විසූ පඬිවරුන් අතර වරාහමීර, පරාසරය, ධන්වන්තරී, මහා කාලිදාස යන අයද විසූහ. මෙලෙස උගතුන් වියතුන් පිරිවරා දැහැමෙන් සෙමෙන් භාරතය පාලනය කළ ශක රජු ක්‍රි. වර්ෂ 78 දී ලෝක ධර්මතාවට අනුව පරලෝක ප්‍රාප්ත විය. රජු අනස්‌මරණය කරමින් එම වර්ෂයේ සිට ශක රාජ වර්ෂ ක්‍රමය බිහිවිණි. මෙම වසරට ශක රජු මියගොස්‌ වසර 1932 කි. ශක රජු හා ශක වර්ෂ ක්‍රමය ඇරඹුණේ එලෙසය. මේ ශක රජු ඇතැම් ග්‍රන්ථවල දඹදිව විසූ බවද ඇතැම් ඒවාහි ඉන්දියාවේ ලෙසද දක්වයි. මෙහිදී එම රට කුමක්දැයි විමසීමට බදුන් නොකරන්නෙමු. ශක වර්ෂ ආරම්භය පමණක් දක්වමු.ඉන්දියානු සංවර්ධිත ජෛතිශ්‍යය විසින් හෙළ අවුරුද්දේ අයිතිය ගැනීමත් සමග එම මීන මේෂ සූර්ය සංක්‍රමනයෙන් පටන් ගන්නා වර්ෂයන් ජෛතිශ්‍යයට සේවයක් කල ශක රජුගේ නාමයෙන් හැදින්වීමට පටන් ගත්තේ මින් පසුවය. එය හුදු වර්ෂ නාම ක්‍රමයක් විනා හෙළ අවුරුද්දේ නිර්මාණයට ශක රජුගේ හෝ ඉන්දියාවේ හෝ සම්බන්ධයක් නැති බව දැනගත යුතුමය.


හෙළයාගේ සූර්ය මංගල්‍ය උත්සවය හෙදී තිබූ උත්සව සැනකෙලිය කාලයත් සමග විවිධ සංශෝදනයන්ට ලක්ව අද වනවිට මේ තත්ත්වයෙන් ඉතිරි වී තිබේ. ඇතමුන් මෙහි ඉතිහාසයක් නොදැන හෙළ අවුරුද්ද ජෛතිශ්‍ය මත පදනම් වූ හින්දු මිත්‍යාවක් බවට පෙන්වා දීමටද උත්සහ ගන්නා බව පෙනී යයි. නමුත් එහි කිසිදු සත්‍ය තාවක් නැත. සූර්‍ය වංශිකයන් සූර්යාගේ ගමන හේතු කොටගෙන ස්බාදහම සමග සිදුකල මේ වටිනා නැකත් මංගල්‍යය කිසි විටක ඉන්දු හෝ මිත්‍යා ඇදහිලි සමූහයක් නොවන බව දැනගත යුතුය. සූර්ය වංශික මනු රජුගේ අභිෂේකය මෙදිනට යෙදී තිබීමත් මේ උත්සවය හෙළයාට තවත් සමීප කරන්නකි. සමානාත්මතාව හා සහන්ජීවනය වැනි බොලද කථා ගෙනපාමින් හින්දූන් මේ උත්සවයට සම්බන්ධ කර සිංහල හින්දු අලුත් අවුරුද්දක් නිර්මානය කිරීමනම් කිසි සේත්ම සත්‍ය කථාවක් නොවේමය. සූර්ය මංගල්‍යයක හිමිකම් ඇත්තෝ සූර්ය වංශිකයෝමය. විශ්වය සමග ගනුදෙනු කල විශ්වයේ සිද්ධාන්ත දන්නා සූර්ය වංශිකයන් නැකත් කෙලි කොට කැවුම් කිරිබත් ගෙනැ සැමරුවේ හෙළ මංගල්‍යයක්ම මිසැ දෙමළ අවුරුද්දක් නොවන වග දැනගත යුතුමය.

එසේනම් සියලු සූර්ය වංශිකයන්ට සුභම සුභ සූර්ය මංගල්‍යයක්ම වේවා!!!

Tuesday, March 4, 2014

ගැමියා දු‍ටු අපේ බුදුන්


ජනවහර එසේත් නැතිනම් පරම්පරාගත ව්‍යවහාරයෙන් ගලාගෙන එන වෘතාන්තයන් ඉතිහාසයක් සෙවීමේදී අපට වැදගත් තොරතුරු සපයන්නෝය. බටහිර නොදියුණු විද්‍යාවට අනුව පුරාවෘතයන් මිත්‍යාවන් වුවද පෙරදිග දැනුම් මූලාශ්‍රයන්හිදී මුඛ පරම්පරාගත වචනයන් ඉමහත් වටින්නේය. ඉතිහාසක කථාවකදී පොත් පතවල දෑ ඇතැම් ආක්‍රමණිකයනට වෙනස් කිරීමට හැකි වුවද මිනිසුන් අතර පවතින කටකතාවන් වෙනස් කිරීම එසේ මෙසේ පහසු කටයුත්තක් නොවේය.
යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හෝ යම් දෙයක් ,කිසියම් ප්‍රදේශයක පැවතුන හොත් ඒ ප්‍රදේශය ඇසුරු කරගෙන ජනප්‍රවාද හා ඒ ආශ්‍රිත ප්‍රදේශ හැදින්වීමට විශේෂ නම් සෑදීම ස්බාවික දෙයකි. මෙහිදී අප සලකිල්ලට ගන්නේ ගෝතම බුදුන්වහන්සේ හා සබැදි ජනශ්‍රිත පිලිබදවය. ගෝතම බුදුන් වැඩ සිටි දඹදිව අනිවාර්යෙන්ම උන්වහන්සේ හා සබැදි ප්‍රවාදයන් මිනිසුන් අතර තිබිය යුතුමය. හෙළදිව පුරා විසිරුණු එසේ වූ ජනශ්‍රිත කීපයක් මෙසේ දක්වමු.

බුදුමුත්තාව


නිකවැරටිය නගරයට කි.මී. 11/2ක පමණ දුරකින් එතිහාසික බුදුමුත්තාව රජ මහා විහාරය පිහිටා ඇත. සෙනරත් පරණවිතාන ශූරීන්ට අනුව බුදුමුත්තාව යන නාමය ලැබී ඇත්තේ බදු වලින් මුක්ත වූ නිසා විය හැකි බව පැවසුවද එහි පිලිගත හැකි තාවයක් නොමැත.
මෙම විහාරස්ථානයට බුදුමුත්තාව යන නාමය ලැබීමට හේතු වූ ජනප්‍රවාදයක දැක්වෙන්නේ, සිදුහත් කුමාරයාට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුහරය, දණ්‌ඩ ශාක්‍ය හා තෘණ ශාක්‍ය යන කුමාරවරුන් දෙදෙනා තැන්පත් කොට තැනූ ස්‌ථූපය 'බුදු මුතුහර වෙහෙර' යනුවෙන් නම් වූ බව ද පසු කලෙක උච්චාරණ පහසුව කතා එය බුදුමුත්තා වෙහෙර යනුවෙන් භාවිතයට ආ බවත්ය.
මෙම කතා පුවත සනාථ වන තවත් සාධකයක් කඩයිම් පොතක වන බව වත්මන් විහාරාධිපති හා පරිවෙණාධිපති වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම හිමියෝ පෙන්වා දෙති. එහි "අප බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිටව්ය්ය දාගැබට වැද පුදා ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය" යැයි සදහන්ව ඇති නිසා මුතුහර මාලය තැන්පත් කල බව පවසන ජනප්‍රවාදයේ සත්‍යතාව පැහැදිලි වේ. (බුදු සරණ 2011/11/02)

විහාරාධිපති හිමියන් පවසන අන්දමට ශත වර්ෂ 1758 දී මිදෙල්ලව කෝරාල නමැති කිවිවරයකු විසින් ලියා ඇති 'තිසර සන්දේශය' නමැති කෘතියෙහි බුදුමුත්තාව රජමහා විහාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ සඳහන්ව තිබේ. ඉන් කවි දෙකක්‌මෙසේය.

සතර වටිය වළු කරටිය නිම් මාන                                               
නෙරළු කැටිය සෙත කරටිය දම් මාන                                        
සොඳුරු සිටිය කත දැවටිය උම් මාන                                               
මිතුර දුටිය නිකවැරටිය ගම්මාන

දැනගත්තා පෙර ලෙස ගණිතය මෙවරේ                                              
ගැන ගත්තා සත් විසි නැකතම නොහැරේ                                          
අර ගත්තා පරසිඳු නැකතම අනුරේ                                           
බුදුමුත්තා වෙහෙරට වැඳගන් මිතුරේ


මේ අනුව බලන කල බුදුමුත්තාව වෙහෙර හා බැදෙමින් කිසාගෝතමිය හා සිදුහත් කුමාරයා පිලිබද ජනශ්‍රිත මේ හෙළදීපයේ පවතින බව කිව හැක.


කේශ ඡේනය කල කඩුව

සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්මන විට කේශ ඡේදනය කල කඩුව තැන්පත් කිරීම පිලිබදවද හෙළදිව වැසියා අතර ජන කවි තිබේ.

වැඩිය මහ බඹුන් දුන් සිවුරු පිලිගෙන                                            
කඩුව තබා මිහිකත් දෙවිදුට වදින                                                    
අඩුව නැතුව අද පුද පූජා ලබන                                                      
කඩුව තැබු වෙහෙර කොතැනද කියන් දැන

වාරු කර කියමි දැනගන්න පද රුති                                           
මානුභාව ඇති දෙවියෝ රටේ ඇතී                                                
 මුහුණු සයකි මයුරා පිට ගමන් යතී                                               
රුහුණු රටේ කිරි වෙහෙරේ කඩුව ඇතී.


ගිහිගෙයින් නික්ම ගිය බෝසතුන් වහන්සේ තම හිස කෙස් කැපූ මගුල් කඩුව තැන්පත් කිරීම පිලිබද දැනුම ගැමියා ජනකවි ආකාරයෙන් විමසා සිටියේ එපරිද්දෙනි. එනමුදු බ්‍රිතාන්‍යයන් සොයා දෙන්නට පෙර ඉන්දියාවේ හෝ නේපාලේ ගැමියන්ට සිදුහත් කුමාරයාගේ කඩුව කෙසේ වෙතත් සිදුහත් කුමාරයා යනු කවුරුන්දැයිවත් මතක තිබී නැත.


මාර පරාජය හා සම්බන්ධ සිදුවීම්

දැඩි මුණ්ඩ නම් හෙළ විරුවෙකු ගැන අපට ජනශ්‍රිතයේ අසන්නට ලැබේ. ඔහු අද දේවත්වයෙන් සලකන්නෙකි. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීමට වජ්‍රාසනයේ වැඩ වසන විට මාර සේනාවෝ එතනට පැමිණි බවත් දැඩි මුණ්ඩ දෙවියන් හැර අනිකුත් දෙවියන් බියෙන් පලාගිය බවත් බෝසතාණන් සුරකිනු අටියෙන් දැඩි මුණ්ඩ දේවතාවෝ එහි ‍රැදී සිටි බවත් හෙළදිව ජනප්‍රවාදයෝ පවසති. යහන් කවි වලදී ඒ සිදුවීම දැක්වෙන අයුරුය.

“දස බිම්බර යුදට - මාර සේනා රැස් කොට                                 
දෙවියෝ දැක නොසිට - දුවපි සක්වළ ගලෙන් පිටතට                      
පිටදී බෝ කඳට - වැඩ හිඳ විදුර සුන්පිට                                         
ආවත් මරු යුදට - නොයමි බුදු වීමි සක් පිටතට

රන් රතයට දෙව් බැල්ම කරන්නේ                                                    
රන් දුන්නද ගෙන සුරත දරන්නේ                                                      
රන් බැඳි සෝලුව සුරතට ගන්නේ                                                      
රන් කඳ සේ ගල පිට වැඩ ඉන්නේ

පුර්ණක යක් සෙනවි රදුට දාව සොඳින්නේ                                 
එරන්දතී නාගිනියගෙ කුසින් උපන්නේ                                          
වරන් ලබා සුරරද වෙසමුණු දෙවිඳුන්නේ                                 
මෙලංකාවෙ යකුන් සැවොම වෙවුලා ඉන්නේ

එකලා වෙනු දෙවිඳු අතින් අවසර ගන්නේ                                      
සමන් දෙවිඳුගේ අවසර දෙවනු ලබන්නේ                                          
කඳ සුරිඳුන්ගේ අවසර ලබා සොඳින්නේ                                              
දස අට දේසේ යක් සෙන් වැඳ වැඳ උන්නේ

නාරායන සුමන සුරිඳු දුන් ආයුධ ගෙන                                             
ගිගිරි බැන්ද රන් සෝලුව අතේ දරාගෙන                                         
මිහිරි එසපු මල් සුවඳත් දසදිග විඳිමින                                             
වඩිති දෙවුන්දර නුවරට සත රකිනා මෙන

දෙවනුව වැඩියේ උග්ගල් අලුත් නුවර වෙත                               
ගල්කරවා උක්හේනය සලකුණු පෙන්වත                                       
මුණ්ඩ දැඩිය දෙවිඳු බෙලෙන් යකු දිවි දසඅත                                
කන්දට වැඩ හිටි එම සඳ දිවැස් යොමා ගත

ජම්බුදීප කුලේ විශාල නගරේ සවර්නෝජ් ජවලත්                      
මන්දිරේ - තුන්පාටින් කිරුල ක් සුරේද්‍ර සිරසේ                          
රන්සෝලු අත්හී දරා - ගෙන්නා යක් - ගිරිගල් ඉරා                     
 සුන්කරා පුල්වන් සුරින්දේ උතුම් - බණ්ඩාරේ දැඩි මුණ්ඩ                    
නම් සිය වරේ දෙවා සැපත් මංගලම්......”




'ගලකැප්පූ සැහැල්ල' පවසන පරිදි මෙම දෙවියාට දැඩි මුණ්ඩ යන නම පටබැදී තිබෙන්නේ ද මාර යුද්ධයේ දී ගෝතම බුදුන් වහන්සේ ළඟ නොසෙල්වී සිත දැඩි ව රෑකවලෙහි සිටි නිසාත්, ඔහුගේ ස්ථීර බව හෙවත් 'දැඩි' බවත් නිසා ය.


දැක වසවතු එදා                                                                                   
රෑස් කර මාර සමුදා                                                                              
බුදු බවට බාදා                                                                                
කරති වටලා මාර සමුදා

බුදුන් තනි කරලා                                                                       
දෙවියන් ගියයි ඇරලා                                                                        
දැඩි දෙවියෙක් සිටලා                                                                        
යුධ කරමි සැළකළේ වැදලා

අවියක් නොගෙන තට                                                                  
රුවන් සෝලූව රෑගෙන සුරතට                                                         
බැට දී දෙපළු කොට                                                                          
යුධ කරමි සැළකළේ මුනිඳුට

සදෙව් ලොව බලමින                                                                         
නා ලොව තිලොව බලමින                                                      
කෙනෙක් නැත සරිලන                                                               
 'මුණ්ඩ දෙවියයි' නමක් පවසන


දැඩි මුණ්ඩ ස්තෝත්‍ර, දැඩි මුණ්ඩ කවි, දැඩි මුණ්ඩ අවතාරය, හත් අඩි උපත, දැඩි මුණ්ඩ උපත, දැඩි මුණ්ඩ ප්‍රලය, දැඩි මුණ්ඩ වරම, දැඩි මුණ්ඩ විස්තර, දැඩි මුණ්ඩ දස අවතාරය, ආදී ජන කාව්‍ය වල ද ඉහත කී ප්‍රවෘත්ති ඒ අයුරින්ම සඳහන් ව ඇත..."


දැඩි මුණ්ඩ කන්නලව් වල්දී අසන්නට ලැබෙන මේ ජන්ශ්‍රිත අනුව බෝසතාණන් වහන්සේ හෙළදිවට අයත් වූ දඹදිව පිහිටි ජය සිරි මහ බෝධි මූලයේදී බුද්ධත්වය ලබාගත් බවත් එහිදී කරදර කරන්නට පැමිණි පිරිසකගෙන් බෝසතාණන් වහන්සේව ආරක්ෂා කරගැනීමට පූර්ණක සෙන්පති පුත් දැඩි මුණ්ඩ සෙනවියා ඉදිරිපත් වූ බවත් පසක් වේ.

බුදුන් නමින් ගම්

ගෝතම බුදුන් වහන්සේ වැඩ සිටි දේශයෙ උන්වහන්සේ නමින් බොහෝ ග්‍රාමනාමයන් සෑදී තිබේ. ඒවා කීපයක් මෙසේ දැක්විය හැක.

බුද්ධංගල


බුද්ධන්කෝට්ටේ (සිදුහත් කුමාරයාගේ මාලිගාවක් තිබූ තැනකි. බ්‍රිතාන්‍යයන් ලංකා සිතියම සෑදීමේදී මාලිගාව > coat ලෙස වෙනස් කර ඇත.)


බුදුපිටිය


ගෝතම ඇළ


බුදුවැඩිගල


බුදුපැ‍ටුන් කන්ද


බගවන්තලාව


බගවන්දෙනිය


බුද්ධගාම රට්ඨ


ගෝතම තොට>ගොත‍ටුව


බුදු අළු තැන්පත් කල පුරවරය > බදුලු


තෙල් දෙනිය (සිදුහත් උපතේදී තෙල් නදිය තිබූ ප්‍රදේශය)


තල්වත්ත (සල්වනය වූ ප්‍රදේශය)


හිරිවඩුන්න (සිරි>බුදුන් වහන්සේ වැඩ සිටිගම)


උඩංගාව (නේරාංජනා ගගට ඉහලින් ඇති ගම)


මහමිනියාව (මහ මුනි ආව ග්‍රාමය)


ගිරිඋල්ල එතිහාසික බෝධිරාජ විහාරය ආශ්‍රිත මා ගං තීරයෙහි වැලිමංකඩ නොහොත් "බුදුමුත්තා තොට"


බුද්ධ උන්නේගම


කුසිනාරා නුවර බුදුගල වෙයි


ගෝතම බුදුන්වහන්සේ පරිනිබ්බානය පත්වූ මල්ල රජ දරුවන්ගේ සල් උයන පිහිටියේ කුසිනාරා නුවරයි. හෙළදිව පිහිටි කුසිනාරා නුවර නාමය බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑමත් සමග වෙනස් වී ඇත.ඉන්දියාවේ කුසිනාරා නුවර යැයි හදුන්වන ස්ථානය බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියානු සිතියම් සකස් කිරිමේදී කුෂී නගර් ලෙස නම් කර තිබුනද සැබවින්ම බුදුන්වහන්සේගේ චරිතාපදානය සමග වෙනස් වූයේ දඹදිව පිහිටි නියම නිවැරදි ස්ථානයයි.

බුදුන්වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ශරීරයේ ස්බාවය පිලිබද මෙසේ සදහනක් ඇත

"ස්ථිර සිත් ඇති,අකම්ප්‍ය ගුණ ඇති බුදුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස නැති විය. තණ්හාව දුරුකළ ඒ මුනිවරයා ශාන්තිය(නිවන) අරමුණු කොට කාල ක්‍රියා කළේය.හෙවත් පිරිනිවියේය.නෝඇලුණු(ප්‍රබෝධවත්) සිතින් වේදනාව දැරීය. පහන් නිවුණාක් මෙන් චේ‍තෝ විමුක්තිය ඇති විය (මහා.ප.සු.භා.)

මේ අනුව කුසිනාරානුවර බුදුගල නම් වූයේ කෙසේ දැයි පැහැදිලි වන්නට ඇත. එදා ජනයා බුදුන්වහන්සේගේ සිරි දේහය මුල් කරගනිමින් ඒ ප්‍රදේශයේ නාමය වෙනස් කර ගත්හ.

දේවදත්ත

එච්.සී.පී. බෙල් විසින් 1984 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය.


"දේදුගල ලෙකම්වරයා පර්වතයක් මත පිහිටි එක් සලකුණක් මා වෙත දැක්වීය. එය දේදුගල සහ උඩුව යන ගම්මාන අතර මායිමේ පිහිටියකි. මෙම සලකුණ බුදුන් වහන්සේගේ පරම සතුරු දේවදත්තගේ පා සලකුණ වශයෙන් සලකනු ලැබේ. එය මුල්කොට දේවදත්ත ගල වශයෙන් මුලින් සැලකුණු මේ ආශ්‍රිත ප්‍රදේශය පසුව දේදුගල වීලු. මෙම පා සලකුණ මන:කල්පිත සතෙකුගේ මෙනි. මේ වන විට එය ජලයෙන් බොහෝ දුරට ඛාදනය වී මැකී යමින් තිබේ.


"බුදු හාමුදුරුවෝ සිරි පතුල පිහි‍ටුවන්න යන බව දැනගත්තු දේවදත්තයත් ඇවිත් ඔතන තියෙන ගල උඩට නැගලා බුදු හාමුදුරුවන්ට පයින් ගහන්න උත්සහ කළාලු. ඒත් ඉතින් බුදු හාමුදුරුවන්ට එහෙම දෙයක් කරන්න කාටවත්ම බෑනේ. ඒහින්දා දේවදත්තයාගේ ඒ පයින් පාරට එතන ගල හෑරිලා ගිහින් තියෙනවා. මෙවයේ ඇත්ත බොරු මං දන්නේ නෑ. ඒත් පරණ මිනිස්සු කියන්නේ නම් ඔය කතාවම තමයි. දේවදත්තයාගේ පාදය ගලේ එරුණු විදිහටලු ඔය ගල හෑරිලා තියෙන්නේ" (ගැමියෙක්ගේ මතයක් - 2013/12/08 ලක්බිම)






            දේවදත්ත පා සටහන යැයි සැලකෙන ස්ථානය

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගර මධ්‍යයෙන් වැටී ඇති දේදුගල පාරේ කි.මී.10ක් පමණ උඩට නැගිය යුතුය. ඉන්පසු හමුවන උඩුව හන්දියෙන් බස් නැවතුම අද්දරින් වමට හැරෙන රලු මාවත ඔස්සේ තව කි.මී2 විතර ඉහලට නගින විට වහරකගම. මෙහි ගම් පියසේ තරමක් උස් බිමක කුඩා පර්වතය පිහිටා ඇත. මේ අනුව බලන කල පෙනී යන්නේ බුදුන්වහන්සේගේ පමණක් නොව බුදුන්වහන්සේට එරෙහි වූ දෙව්දත්ගේ ජනශ්‍රිතද අද දක්වා මේ හෙළදිව තුල පැවතුනු බවයි.

ගැමියා දු‍ටු වේලාපත්කඩ

සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිලිබද ජන කවිද හෙළදිව ජනයා අතර මුඛ පරම්පරානුගතව පැමිණ තිබේ. මේ එවැන්නකි.

ගුරුළුහාමි ඇද වැ‍ටුණයි කකුළු වලේ                                            
හදහාමි බඩු කිරුවයි වෙළද හලේ                                                 
රතුහාමි හත කිරමින් මෝර වලේ                                               
කළුහාමි නොන්ඩි ඇන ඇන වැ‍ටුණි කැලේ

මනමාලයා මාළු ගොඩකට යට වෙච්චි                                     
සොමිපුත් එදා එළු ගාලට කො‍ටු වෙච්චි                                               
වන මැද ගොස් දෙවි බඹු මුණ ගැස්සෙච්චි                                      
එවැනි දාක ඉපදුනි අපෙ බුදු අප්පොච්චි


වසර දහස් ගානකට වරක් පිහිටන අසිරිමත්ම ග්‍රහ පිහිටීමක් සහිතව උපත ලද සිදුහත් කුමාරයා පරිවර්ත යෝග, ගුරු හංස යෝගය, රුචක යෝගය, මාලවී යෝගය, ගජකේෂරී යෝගය, ඒකාවරී යෝගය පමණක් නොව සියලු දෝෂ භංග කිරීමේ බලගතු ග්‍රහ පිහිටීමක් සහිතව උපත ලද සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍ර ග්‍රහ පිහිටීම ජන කවියා කවියට නගා මෙසේ පවත්වාගෙන විත් තිබේ. එපමණක් නොව ඔහු සිදුහතුන් වහන්සේ අපේම කෙනෙකු ලෙස සමීප බවක් දක්වන්නටද අමතක කර නැත.


බුදුන්වහන්සේගේ ඉතිහාසය පිලිබද පුරාවිද්‍යාත්මකව සාධක ඉදිරිපත් වෙද්දී බොහෝ අයට ගැටලුව වූයේ මේ පිලිබද ජනප්‍රවාද නැති වූයේ ඇයි ද යන්නයි. ගෝතම බුදුන්වහන්සේට පෙර සිටි රාම රාවන යුද්ධයට පැටලුන නමවන රාවන රජ පිලිබද කථා පුවත් පැවතීමත් ඊට පසු පහල වූ බුදුන්වහන්සේ පිලිබද පුවත් එතරම් ජනප්‍රිය නොවීමත් ඇතමුන් ගැටලුවක් කර ගත්හ. බුදුන්වහන්සේගේ ජනශ්‍රිතයන් බොහෝමයක් හෙළදිවින් දුරස්වීමට හේතුව වූයේ උන්වහන්සේ වෙනුවෙන් ව්‍යාජ චරිතාපදානයක් ඉන්දියාවේ නිර්මාණය වීමයි. ජෛන මහාවීරගේ/ගෝතම සාමිගේ ඇතැම් සිදුවීම් බුද්ධ චරිතයට ඈදූවක් මෙන් ජෛන මහාවීරට සම්බන්දයෙන් ඇති ඉන්දියානු ජනප්‍රවාද බුදුන්වහන්සේට ඈදීමටද ඇතමුන් පසුකාලීනව කටයුතු කර ඇති බව පෙනේ. මේ හේතුව නිසාවෙන්ම රාවනා ජනශ්‍රිත හෙළයන් අතර ජනප්‍රිය වුවද සිදුහතාණන් වහන්සේගේ ජනශ්‍රිතයන් මදක් යට ගියහ. එනමුදු විමර්ෂනාත්මකව බලන්නෙකුට සහ සොයන්නෙකුට ඕනෑ තරම් එවැනි වූ ජනකථාවන් ඉතිරි වී තවමත් හෙළදිව පවතින්නේමය.

"අපේ බුදුන් අපි වදින්න"
"පෙරලි පෙරලි අපි වදින්න" කියමින් වන්දනාවේ යන හෙළයාගෙන් පැවතගෙන ආ නූතන පරපුර පුරුද්දට මෙන් අතීත ජනයාගේ බස් කටවහරින් ගෙන ආවද කිසිවක් විමසා බලා නම් නැත. හෙළයා කිසි දිනක බුදුන්වහන්සේ වෙනත් ජාතිකයෙකු ලෙස හැදින්වූයේ නැත. කීවේ අපේම කෙනෙක් කියාය. තෙවරක් පමණක් වැඩි පමණකින් කිසිවෙකු "අපේ" වන්නේ නැත. ඉන්දියාවේ අගමැති ලංකාවට තුන්පාරක් ආ පමණින් හේ අපේ නොවේ. පාප්වහන්සේ තුන්පාරක් ලංකාවට ආ පමණින් හේ අපේ නොවේ. එනමුදු තෙරවක් වැඩම කලායැයි පවසන බුදුන්වහන්සේ අපේ යැයි කීමට ගැමියෝ උත්සුක වූයේ ඇයි. සැබවින්ම විමසිය යුත්තකි.

බුදුන්වහන්සේ පහල වූයේ මේ හෙළදිව බව එකපාරට කියූ පමණින් කාටත් පුදුම හිතෙන එක සාධාරනය. නමුත් සිරිපා කරුණා කරන විට අපේ බුදුන් යැයි කීමේ පුදුමයක් නොදකී. ඇත්තෙන්ම මිනිසුන් තුල නිරායාසයෙන්ම බුදුන් අපේ යැයි අදහසක් ආවේ කොහින්ද විමසිය යුතුමය.

දැන් නේපාලයේ බොහෝ වැඩය. ලී කෑලි සොයා සල් ගස් යැයි පවසයි. වැව් සොයා සිදුහතුන් එහි නෑවායැයි කියයි. දොර‍ටු සොයා ඉන් අභිනික්මනය කලා යැයි කියයි. තව නොබෝ දිනකින් සිදුහතුන් ගෑවායැයි කියා ෂැම්පු ,කන්ඩිෂනල් බෝතල් පෙන්නුවද පුදුම විය යුතු නැත. අපේ අයට සුද්දෝ කියන දේ හරිය. පහත වැටී තිබූ දඹදිව වන්දනා ටිකට් දැන් ආයෙත් ගනන් උස්සන්නට පටන් ගනී. ඒ අපේ ගොඩ බෞද්ධයන් විසින් සිදුහතුන් නෑවායැයි කියන වැව බැලීමට යාමටය. සැබවින්ම ඒවානම් ආශ්චර්යමත් කැනීම්මය. සල් වැටක් අඩි ගණන් යටය. වැව උඩය. පස් සාම්පල් පරීක්ෂන වලට යැවූ සැනින් එහි කැනීම් කරන මහාචාරියලාට සෘද්ධියෙන් මෙන් මෙහි සිදුහත් සිටි බව පෙනේ. පුදුමය නම් එයමැයි. ලංකාවේ සිහි කල්පනාවෙන් සිටි මහාචාරියලා නේපාලේ ගිය විට අමුතු ප්‍රකාශ කරයි. ඒ පවුන්ද ඩොලර්ද කියා දන්නේ නැත.  අනේ අපිට ඕවා වැඩකුත් නැත.

පරසමය දේශ නාමාවලියට අනුවනම් නේපාලය වනාහි බුදුන් නූපදිනා ප්‍රදේශයකි. එය නොකියූ මහාචාරියලා නේපාලේ හාරති. හාරා බැරිනම් පෙරලා වුවද පිලිගත හැකි සාධක සොයනවානම් යෙහිකි. නමුත් ඒවා හිතලුය. අද මිනිසුන් එදා මිනිසුන් මෙන් මෝඩ නැත. ඇන්දීමටද නොහැක. ඇදගන්නේද නැත. අවාසනාවකට මහාචාරියලා ඒ බව දන්නේද නැත. ඒ නිසා පනදමගෙන හාරති. හාරා හමුවන හැමදේම බෝසතුන්වහන්සේට සම්බන්ධ කර පේන කියති. එතුමන්ලා දරණ උත්සහය අපිට නොතේරෙනවා නොවේ. ඒත් අපි මක්කා කොරන්නද, බුදුන් හෙළදිව බව ඔප්පු වන විට ව්‍යාපාර බිද වැටෙනවා තමා, දෙමල ඩයස් පෝරාව අටවන උගුල් ඔක්කොම වැරදෙනවා තමා, ජිහාඩ් අන්තවාදීන් හදන සිහින මාලිගා බිද වැටෙනවා තමා,  ජාත්‍යන්තරයෙන් සිරිලක පාගන්න කරන උපක්‍රම වැරදිනවා තමා. මේවා අපි නොදන්නවා නොවේ. ඒත් අපි කුමක් කරමුද මේ මිනිස්සු බුදුන් අපේ කියනවනම්!!!!


(සැ;යු: අනවශ්‍ය ලෙස අනවසරයෙන් කරුණු උපුටා ගෙන විකුර්ති අන්දමින් බෙදාහැරීම, වැදගත් කරුණු එළි කිරීමේ මග නවතාලයි)