Wednesday, August 14, 2013

දඹදිව සබැදි පර්වත

පුරාණ දඹදිව භූගෝලීය පිහිටීම සලකා බැලීමේදී අපට හමුවන ප්‍රධාන අංගයක් ලෙස පර්වත පිහිටීම හදුන්වා දිය හැක. ත්‍රිපිටකය හා අනෙකුත් බෞද්ධ පොතපතට අනුව එදා ජන්බුද්වීපයේ ව්‍යවහාර වූ කදු වැටි කීපයක් හදුනා ගත හැක. සෘෂිගිලි,වේහාර වැනි සෘෂිගිලි සූත්‍රයේ පර්වතයන් මෙන්ම මහාමේරු පර්වතයද ඒවා අතර වෙයි. අදවන විට දඹදිව හා ඉන්දියාව පටලවා ගැනීම නිසා එවරස්ට් කදු වැටියද මේ ඉතිහාස කතාවට පටලවාගෙන තිබේ.

හිමවත


ත්‍රිපිටකයේ හිමවත යන්න සිංහලට පරිවර්ථන කිරීමේදී හිමාලය ලෙස අර්ථ දක්වා ඇති නිසා ඉන්දියාවේ හිමාල කදුවැටිය ඒ සදහා ඈදාගෙන ඇති නමුත් සැබවින්ම හිමවත යනුවෙන් අදහස් කරන්නේ මූකලාන හෙවත් කැලය යන්නයි. එය පර්වත ආශ්‍රිත පිහිටීමක්ද විය හැක. එමෙන්ම අතීතයේදී සිරි පා කරුණා කලේ හිමේ යනවා යනකියමන් සමගිනි. සැබවින්ම ඒ ආශ්‍රිත ප්‍රදේශය “වන” ආශ්‍රිත ප්‍රදේශයක් නිසා ඒ ප්‍රදේශය හිමවත ලෙස හැදින්වීමටද හැක.

වෙස්සන්තර රජ්ජුරුවන් හිමේ ගියේ වංගගිරිය තරණය කිරීමට ය. වෙස්සන්තර රජු ගිය “හිමාල දේසේ” සිටියේ “නෙක චණ්ඩ ව්යාකඝ්ර  ආදීන්” මිස හිම වලසුන් නොවේ ය. මකාදේව රජු නර කෙසක් දැක අනිච්ච මෙනෙහි වී තපස් රකින්නට ගියේ ද හිමවතේ දුෂ්කර වනයට මිස හිම කිරම ඇද හැලෙන ශීත හිමයේ නොවෙයි. අපේ ජාතක කථා බොහොමයක ම බෝධිසත්ත්වයෝ කථාවසානයේ හිමේ වඩිති. හිමාලයේ තපස් රකින්නට යන තාපසයින් කාෂ්ට වනයේ රූස්ස ගස් ගල් අතර භාවනායෝගීව සිටින්නේ ශුෂ්ක බව තබමින් මිස හිම සිසිල දරමින් නොවේ ය. එමෙන්ම විනය පිටකයේදී විශාලා මහනුවර ආශ්‍රිතයේ හිමවත පිහිටීම එනම් අද යාල(කැබිලිත්ත) ප්‍රදේශය දක්වා ඇති අතර එයින් දැක්වෙන්නේ කැලය යන අර්ථය යන්න පැහැදිලිය.හිමවත යන්න ශීත ප්‍රදේශ හැදින්වීමටද විවිධ තැන්වලදී යොදාගෙන ඇත. සරලව කිවහොත් හිමවත යනු වන ආශ්‍රිත වූ සිසිල් පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයකි.

මෙම හිමවත පිලිබද අංක 1858 දරණ හිමාල විස්තරය නම් පුස්කොල ග්‍රන්ථයේද අංක 1855 දරණ හිමාල අලංකාරය යන පුස්කොල ග්‍රන්ථයේද සදහන්ව ඇත.

 

"දිවියන් දැක හුණු භයින් දිවන මුවෝද මරණභයින් තැතිගත් සිත් හැර ඒ කුරවීනාදම අසා සිටින්නාහ. අහසින් යන පක්ෂිහුද පියා නොසලා පක්ෂපත්‍ර පසාරණය නොකොට නිශ්චලව සිටින්නාහ දියෙහි මතසය්යෝද වරලපත් නොසොල්වා ඒ ශබ්ධයම අසා සිටින්නාහ. මෙසේ මධුර රසයෙන් කන් කළුවූ කුරවී කෙවුලෙලා මේ හිමාල වන ප්‍රදේශයෙහි බබලන්නේය. මේ හිමාල පර්වත නම්......."(හිමාල විස්තරය)

මෙහි දැක්වෙන අන්දමට හිමාල දෙසේ සිටින්නේ වන සතුන් මිස හිම කීරමේ සිටිනා හිම වලසුන් වැන්නවුන් නොවේ. එසේම ඒ දේසය ගස්වලින් ගහන වන ප්‍රදේශයක් මිස හිම වලින් ගහන එවරස්ට් කදු වැටියක් නොවේය. සැබවින්ම මේ විස්තරවලට ගැලපෙන්නේ අද ශ්‍රී ලංකාවේ සමනල කන්ද ආශ්‍රිත ප්‍රදේශයය.  


අම්බන්ට්ට සූත්‍රයේද, සංයුත්ත නිකාය , අභිසමය සංයුත්තයේද,එහිම සච්ච සංයුත්තයේද,අංගුත්තර නිකාය, පඤ්චක නිපාත පාළි බ්‍රාහ්මණ වග්ගයේද,ඛුද්දක නිකාය අපදාන පාළි අදියෙහි ද මේ හිමවත යන්න දැක්වේ. ඒ ත්‍රිපිටක මූලාශ්‍රවල අනුව හිමවත ලෙස නිගමනය කල හැක්කේ යම් ශීත පරිසර පද්දතියක් හිමි තැන යන්න. ඇතැම් තැන්වලදී හිමවත පබ්බත ලෙස (තං කිං මඤ්‌ඤථ, භික්‌ඛවෙ, කතමො නු ඛො මහන්‌තතරො – යො චායං මයා පරිත්‌තො පාණිමත්‌තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ්‌බතරාජා’’ති- මජ්ඣිමනිකාය, උපරිපණ්ණාසක, සුඤ්ඤතවග්ග, 9 සූත්‍රය) ද දක්වා තිබේ. කදු ආශ්‍රිත සීත වන ප්‍රදේශ මින් හදුන්වා ඇති බව නිගමනය කල හැක.


මහනෙර

මහනෙර යනු පිරිසිදු මාගධී වචනයයි. එය සිංහල පරිවර්ථනයේදී මහා මේරු ලෙස දක්වා ඇත. ඇතැම් සාහිත්‍ය ග්‍රන්ථයන්හිදී මෙය දිව්‍යලෝකයට අයත් පර්වතයක් ලෙසද දක්වයි. මහානේරු යන්නෙහි අරුථ "නෙරා ගිය කදු වැටිය "යන්නයි. පරිවර්ථන වලදී මහාමේරුව ලෙස යෙදීම නිසා මෙහි සැබෑ අරුත් සොයාගැනීමට අපහසු වෙයි. හෙලදීපයේ මධ්‍යකදුකරයේ නකල්ස්,පිදුරුතලාගල ආදී කදු වැටි ඇතුලු උතුරු දෙසට නෙරායාමක හැඩය ගත් කදු වැ‍ටුයක් වෙයි. බුද්ධ කාලයේදී මහානේරු ලෙස හදුන්වා ඇත්තේ එම කදු වැටියයි. එම කදු වැටියෙන් බෙදුනු එක් ප්‍රදේශයක් උත්තරකුරුව වූ අතර නැගෙනහිරට වන්නට වූ ප්‍රදේශය ජම්බුද්වීප නම් විය.

රාජාවලි පුස්කොල ග්‍රන්ථය අනුව මහාමේරුව හදුන්වා ඇත්තේ මෙසේය.

"අනන්තාපරිමාණ සක්වල උතුම් වූ කෙල ලක්ෂයක් සක්වල ද ඊට උතුම් වූ මේ මගුල් සක්වල සතිස් ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් සක්වලට ගල් පහුර එහි මැද ත්‍රිකූට තුන පිට මහා මේරුව තිබෙන්නේය."

හෙලදිව යනු නාභි කේන්ද්‍රක ස්ථානයයි. මගුල් සක්වල ලෙස හැදුන්වූයේ මේ මිනිසුන් ජීවත් වන සක්වලයි. බුදුවරු පහල වන්නේ මේ මගුල් සක්වලේය. ඒ මිනිසුන්ට මගුල් සක්වලින් එතර වීමේ මාර්ගය පෙන්වා දීමටය. මහාමේරුව තිබෙන්නේද මේ මගුල් සක්වල කේන්ද්‍ර ගත කරගෙනය.මේ පිලිබද තවත් හොද විස්තරයක් ප‍ටුන්ගම් විස්තර නම් පුස්කොල ග්‍රන්ථයේ සදහන්ව ඇත. ඒ මෙසේය.

සුරලොව වටකර සැදි මුලු දෙරනෙ

නාලොව වටකර කඩුපුල් මැවුනෙ

දෙව්ලොව වටකර තරු පිරිවරිනෙ

නරලොව වටකර මහමෙර සැදුනෙ

මෙහි කියවෙන අන්දමට මහමෙර යනු එක් කඩයිම් සීමාවක් බව තව දුරටත් පැහැදිලි වෙයි.

එසේම ලෝකෝපකාරයේ 223වෙනි කවියෙන්ද මහාමේරුව ගැන විස්තර වේ.

223 තිරසර ගුණැති සත- සව් සතට මැදහත්ව පවතිත්

මහමෙර සුර අසුර- දෙ ලොවට සමව සදා සිටිනෙව්

"ස්ථිර සාර ගුණ ඇති සත් පුරුෂ අය සත්වයාට මධ්‍යස්ථව පවතිත්. මහාමේරු පර්වතය සුර අසුර යන දෙ ලොවට ම සමානව පවතින්නාක් මෙනි."

 සුර යනු දේව හෙලයේ ජනයා හැදින්වූ නාමයකි. අසුර යනු අනෙකුත් යක්ක,නාග ආදී ගෝත්‍රයන්ට වූ පොදු නාමයකි. එසේනම් මින් සාහිත්‍යාත්මකව විස්තර වන්නේද මේ කොටස් දෙක වෙන් කරන ලද මහාමේරු කදු වැටි සීමාවයි.

මීට අමතරම කූරගල දිවාගුහා විහාරාධිපති  හිමියන් පවසන අන්දමට මහ මෙර ලෙස හදුන්වා ඇත්තේ කූරගල පර්වතයයි. එයද පිලිගත හැකි මතයක් වන්නේ මහාමේරු කදුවැටියට කූරගල පර්වතයද සම්බන්ධ නිසා යැයි ගත හැක. 

තවද සිහල ථූපවංශ ගැටපද විවරණයට අනුව මහාමෙර ලෙස විස්තර කර ඇත්තේ පූර්ව විදේහය,උතුරුකුරු දිවයින,අපර ගෝයානය සහ ජම්බුද්වීපය යන සතර මහද්වූප මැද පිහිටි සේ සැලකෙන පර්වතය ලෙසය.(249 පිට)

මේ සාහිත්‍යාත්මක මූලාශ්‍රයන්ට අමතරව ත්‍රිපිටකේ ආටානාටිය සූත්‍රයේද මේ මහා නේරු පර්වතය පිලිබද සදහන් කර ඇත්තේ "යෙන උත්තරකුරු රම්මා මහානෙරු සුදස්සනො" "යම් දිග් භාගයක ඉතා දැකුම්කලු මහාමේරු පර්වතය වෙයි ද, එහි සිත් කලු වූ උතුරුකුරුව වෙයි." ලෙසය. 

මේ අනුව පැහැදිලි වන්නේ මහානේරු පර්වතය වනාහි නොපෙනෙන වස්තුවක් නොව සියැසින් දැකිය හැකි විද්‍යාමාන පර්වතයක් ලෙසය. එසේම නන්දෝපනන්ද නාග රජුගේ කතාවෙන්ද පැහැදිලි වන්නේ මේ මහානෙරු පර්වතය භික්ශූන්වහන්සේලාට නිතරම ඉතා හොදින් දර්ශනය වන්නක් බවයි. මේ සියලු විස්තරයන්ට අනුව හෙලදිව පිහිටි මහානේරුවේ සැබෑව මනාලෙස තහවුරු වේ.

 

රජගල

ඉසිගිලි,වේහාර,පාණ්ඩව,වෙපුල්ල,ගිජ්ජකූට

බුදුන්වහන්සේගේ චරිපාදානය විමසීමේදී තවත් වැදගත් පර්වත පහක් හදුනා ගත හැක. ඒවා නම් ඉසිගිලි,වේහාර,පාණ්ඩව,වෙපුල්ල,ගිජ්ජකූට නම් වේ. මේ පර්වත ආශ්‍රිතව බුදුන්වහන්සේ විවිධ වූ දේශනාවන් සිදුකර ඇති නිසා මේ පර්වත පිලිබද යම් යම් විස්තර ත්‍රිපිටකයේ දැක්වේ.

ගිජ්ජකූට යනු ගිජුලිහිනියකුගේ හැඩයගත් යන අරුත් දක්වමින් එම පර්වතයට නම් ලද බව සාමාන්‍ය මතයයි. බුදුන්වහන්සේ ආටානාටිය සූත්‍රය වැනි දේශනාවන් සිදුකලේ එම ගිජුකුලු පව්ව ආශ්‍රිතයේදීය. ඒ සදහා හෙලදිව විසූ සිව්මහ රජවරුන් සහභාගී වූ බව ඉතිහාස තතු කියයි. මීට පෙර සිව්මහරජුන් ගැන මනාලෙස පැහැදිලි කිරීමක් සිදුකර ඇත. ඇතැම් හිමිවරුන් කියනා අන්දමට ඔවුන්ට ඉන්දියාවේ ගිජුකුලුපව්ව නගිද්දී පෙර ජාති සිහි වූ බව ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ප්‍රකාශ කලහ. එනම් එකල්හි උන්වහන්සේ ආනන්ද හිමිගේ ගෝල භික්ශුවක්ව සිටි බවයි. සම්මාපත්ති හීන ලෙස හදුන්වන මිත්‍යාදෘශ්ටිකයන්ට මේවැනි මනෝ විකාරනම් අහසටත් උසය. හෙලදිව ජීවත් වූ රජවරු ඉන්දියාවේ ගිජුකුලු පර්වත සොයා ඔවුන්ගේ ප්‍රශ්න විසදන්න ගියේ කුමන හේතු නිසා දැයි උන්වහන්සේගෙන් ඇසීමට සෑදී පැහැදී සිටී.කෙසේ නමුත් බුදුන් කල ගිජ්ජකූට පර්වතය ආශ්‍රිතව බොහෝ භික්ශූන්වහන්සේලා වැඩ සිට ඇති අතර බුදුන්වහන්සේත් කලක් එහි වැඩ සිට ඇත.

අනිත් වැදගත් පර්වතයක් ලෙස සැලකෙන්නේ ඉසිගිලි පව්වයි. ඉසි යනුවෙන් පසේ බුදුවරයන්වහන්සේලාද හදුන්වයි. ඉසිගිලි සූත්‍රයට අනුව ඉසිගිලි පව්වට නම් ලැබුනු සැටි බුදුන්වහන්සේ දේශනා කරන්නේ මෙසේය.

 
රජගල

"මහණෙනි, පෙර වූ දෙයක් කියමි. පන්සියයක් පසේ බුදුවරයෝ මේ ඉසිගිලි පර්‍වතයෙහි බොහෝ කාලයක් වැඩ විසූහ. මෙම පර්‍වතයට පැමිණෙන්නාවූ උන්වහන්සේලා දක්නා ලැබෙත්. පැමිණියාවූ උන්වහන්සේලා දක්නා නොලැබෙත්.

´´මනුෂ්‍යයෝ ඒ කාරණය දැක, ´මේ පර්‍වතය තෙම මේ ඎෂීන් ගිලගන්නේය´ යි කීහ. ඒ කාරණයෙන් ´ඉසිගිලි ඉසිගිලි´ යන නම පහළවිය." 
 

මේ විස්තර අට්ටකථාවේ දැක්වෙන ඉසිපතනයට නම් ලැබුනු ආකාරයට බොහෝ සමානය. පෙර කාලයේ හෙලදිව සෘෂීන්ගෙන් හා පසේ බුදුවරුන් ආදී උතුමන්ගෙන් අඩුවක්නම් නොවූ බව ඒ අනුව පෙනී යයි.

 ඉසිගිලි සූත්‍ර දේශනාව සිදුකරන්නේද මේ ඉසිගිලි පව්ව ආශ්‍රයේ සිටය. මෙම ඉසිගිලි පව්වේ පිහිටීම සූත්‍රය දක්වන්නේ මෙසේය.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්‍වතයෙහි වැඩ වසන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ´´ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මෙසේ දේශනා කරන බුදුන්වහන්සේ භික්ශූන්වහන්සේ අමතා වේහාර,පාණ්ඩව ආදී වූ පර්වතයන් පිලිබද විග්‍රහ කිරීමක් සූත්‍ර දේශනාවේදී සිදු කරයි.
´´මහණෙනි, තෙපි මේ වේභාර පර්‍වතය දකිව්ද?´´ ´´එසේය, ස්වාමීනි.´´

´´මහණෙනි, මේ වේභාර පර්‍වතයටද (ඒ නාම ව්‍යවහාරයට පෙර) අනික් නමක්ම විය. අනික් ව්‍යවහාරයක්ම විය.

´´මහණෙනි, තෙපි මේ පාණ්ඩව පර්‍වතය දකිව්ද?´´ ´´එසේය, ස්වාමීනි.´´

´´මහණෙනි, මේ පාණ්ඩව පර්‍වතයටද පෙර අනික් නමක් විය. අනික් ව්‍යවහාරයක්ම විය.

´´මහණෙනි, තෙපි මේ වෙපුල්ල පර්‍වතය දකිව්ද?´´ ´´එසේය, ස්වාමීනි.´´

´´මහණෙනි, මේ වෙපුල්ල පර්‍වතයටද පෙර අනික් නමක් විය. අනික් ව්‍යවහාරයක්ම විය.

´´මහණෙනි, තෙපි මේ ගිජ්ඣකූට පර්‍වතය දකිව්ද?´´ ´´එසේය, ස්වාමීනි.´´

´´මහණෙනි, මේ ගිජ්ඣකූට පර්‍වතයටද පෙර අනික් නමක්ම විය. අනික් ව්‍යවහාරයක්ම විය.

´´මහණෙනි, තෙපි මේ ඉසිගිලි පර්‍වතය දකිව්ද?´´ ´´එසේය, ස්වාමීනි.´´

´´මහණෙනි, මේ ඉසිගිලි පර්‍වතය වනාහි (මීට පෙරද) මේ නමම විය. මේ ව්‍යවහාරයම විය."

රජගල

මේ සූත්‍ර දේශනාවට හා තවත් ඉසිගිලි පව්ව හා සබැදි සූත්‍ර දේශනාවන්ට අනුව ඉසිගිලි,ගිජ්ජකූට,වේහාර,පාණ්ඩව,වේපුල්ල ආදී වූ පර්වතයන් පහ එක සමීපයේ පිහිටිය යුතුය. බුදුන්වහන්සේ ඉසිගිලි පව්වේ සිට අනිකුත් පර්වත පෙන්වමින් විස්තර කරන්නේ එබැවිනි. එසේම රජගහනුවර පිහිටිය යුතුය.

මේ සුවිශේෂී පිහිටීම ඒ ආකාරයෙන්ම අද රජගල ප්‍රදේශයෙන් සොයාගත හැක. එය පුදුම විය යුතු කරුනකුදු නොවේ. මන්ද බුද්ධෝත්පත්තිය වූ දේශයේ ත්‍රිපිටකයේ වූ පිහිටීම්ද ඒ ආකාරයෙන් පිහිටිය යුතු බැවිනි. අද එම පර්වත හදුන්වන්නේ "අක්කර 50 කන්ද" ලෙසිනි.

හෙලදිව විවිද ප්‍රදේශ වල ඉසිගිලි නමින් පර්වත ඕනෑතරම් තිබිය හැක. මන්ද මේ මධ්‍යමණ්ඩලයේ ඕනෑතරම් පසේ බුදුවරයන්වහන්සේලා හා සෘෂිවරුන් පහල වී ඇති නිසාය. නමුත් ඉසිගිලි ආදී සූත්‍රවල දැක්වෙන පර්වත සමූහය අද නිවැරදි ලෙසම රජගල ප්‍රදේශයේ පිහිටා ඇත.


එසේනම් හිමවත,මහානේරුව,ගිජ්ජකූට,ඉසිගිලි,වේහාර,පාණ්ඩව ආදී වූ දඹදිව ප්‍රධාන පර්වතයන් පිලිබද විස්තරය කෙටියෙන් මෙසේ අවසන් කරන්නෙමු. බුද්ධෝත්පත්තිය වූ දේශයේ පිහිටීම් කිසි දිනක වැරදි වන්නේ නැත. ඒවා ඒ ආකාරයෙන්ම පිහිටන්නේය. බුද්ධෝත්පත්තිය හෙලදිවට උරුම වූවක් බව කියන්නෝ මාරයෝ යැයි ඇතැම්හු හදුන්වයි. එසේනම් මේ ආකාර වූ නිවැරදි පිහිටීම්ද ඒ මාරයාගේ මාර වැඩක්ම විය යුතුය.

ලොකු ලොකු පු‍ටු මෙයට විරුද්ධ වී නිහඩවන විට පොඩි පොඩි සද්ධ ඇතිවීම ස්වබාවිකට. විශාල භූමිකම්පාවකට පසු හටගැනෙන සුලු කම්පන තත්වයන් ඒවාය. මහ භූමිකම්පාවෙන් සුනාමි තත්වයන් එන්නේ නැත්නම් සුලු කම්පන ගැන තැකීමට අවශ්‍ය නැත. ඒවාට අනුකම්පා කිරීම ප්‍රමාණවත්ය.

 

 (පුස්කොල ග්‍රන්ථ පිටපත් කිරීම් මා විසින් සිදුකරන ලද ඒවාය)

7 comments:

  1. දෙල්ගොඩ උඩුපිලට වැලිවේරිය දෙසට වන්නට ඉසිගිලිකන්ද නමින් විහාරස්ථානයක් ඇති අතර එය පිහිටා ඇත්තේ විශාල ගල් තලාවක් ආශ්‍රය කොට ගෙනය. ඉසිගිලි සූත්‍රය මෙහිදී දේශනා කළ බවටද මතයක් පවතී

    http://goo.gl/maps/5wIhB

    ReplyDelete
    Replies
    1. එයත් ඉසිගිලියක් විය හැක. නමුත් ත්‍රිපිටක විස්ත්‍රාදියට අනුව ඉසිගිලිය තිබිය යුත්තේ රජගහ නුවරය.

      Delete
  2. Did you read රසවාහිනී It starts like this
    ජම්‌බුදීපුප්‌පත්‌ති වත්‌ථූනි

    ධම්‌මසොණ්‌ඩකවග්‌ගො

    තත්‌ථ තෙසං වත්‌ථූන මුප්‌පත්‌තියො ද්‌විධා භවන්‌ති ජම්‌බුදීපෙ සීහළදීපෙචාති, තත්‌ථ ජම්‌බුදීපෙ තාළීස, සීහළදීපෙ තෙසට්‌ඨි, තෙසු තාව ජම්‌බුදීපුප්‌පත්‌තිවත්‌ථූනි ආවි භවිස්‌සන්‌ති, තතොපි ධම්‌මසොණ්‌ඩකස්‌ස වත්‌ථු ආදි, කථං, අම්‌හාකං කිර භගවතො පුබ්‌බෙ ඉමස්‌මිංයෙව භද්‌දකප්‌පෙ කස්‌සපොනාම සත්‌ථා ලොකෙ උදපාදි,

    can you explain the meaning of this


    ReplyDelete
    Replies
    1. කරුණු දැක්වීමට ස්තූතී.. රසවාහිනියේ කොටස් දෙකක් ඇත. එක් කොටසක ජම්බුද්වීප කතාත් අනිකේ සිංහලද්වීප කතාත් පවතී. තව දුරටත් සොයා බලන්නම්.

      Delete
    2. මේ ගන්නා උත්සාහය ගැන සතුටුයි ...මේවගේ ලිපි ලියනකොට ගොඩක් වගකීමෙන් ලියන්න .නැති උනොත් මිනිස්සු නොමග කැවීමක් වෙනවා .

      Delete
  3. මහා නේරු පර්වතය, සිරි පාදය නොවේද?

    ReplyDelete
    Replies
    1. siripada kandath mahaneruwata ayithi wenawa ne

      Delete