Sunday, March 24, 2013

නාගයන්ගේ කතාව

නයි එසේත් නැතිනම් නාගයෝ යන නම කණවැ‍ටුණු විට මතකයට නැගෙන්නේ පෙනයක් සහිත බඩගාගෙන යන උග්‍ර විෂ සහිත උරග විශේෂයක් පිලිබදවය.

විවිධ ආගම්, දර්ශන  "නාග" සංකේතය භාවිත කර තිබේ. "අනන්ත" නම් නාගයා ගැන අප අසා ඇත. මහා කෙළ නම් "නාගරාජයා" භද්‍ර කල්පය අවසානයේ මහමේරු පර්වතයේ සිට වායු දිව්‍ය පුත්‍රයා සමඟ පොර බැදූ හැටි බහිරව හා කාලියෝ උපත්වල කියෑවෙයි.

එදින එමහ කෙළ නා රජ මහ මෙර මුදුනේ වැඩ උනි
හමන සුළඟ සත් දවසට නා රජ පෙනයට අසු උනි
උරන වෙලා ආවේගෙට දකුණු පාද පෙනේ බිඳුනි
අකුණු හඬින් බිඳුනු පෙනේ කිරි මුහුදේ ගොසින් වැටුනි

වැටුන එපෙන පත්‍ර කඩින් පත්‍ර කාලි දෙවි මැවුනී
වටට ඉසුනු විෂ විදුමෙන් කාලියො අට දෙන මැවුනී
අවට ඉසුනු උරිරු වලින් බහිරව අට දෙන මැවුනී
එදින මෙපිවර සමඟින් කාවේරිය පුරයට වුනී

හින්දුවරුන්ට අනුව "අනන්ත නම් නාග" කාලය හඟවන සංකේතයකි. ලෝකයේ පැවැත්මත් කාලයත් සස¹ තේරුම් කිරීමේදී අනන්ත නම් නා රජුගේ දරණ වැළමත්තේ ශ්‍රී විෂ්ණු නම් ලෝකනාථයාණන් වැතිර සිටී යයි සාහිත පොත පතේ දැක්‌වෙන්නේ එම කාල මතය තහවුරු කිරීමක්‌ වශයෙනි.

විෂ සහිත, පුප්පා ගත හැකි පෙනයක්‌ ඇති, සිරුරේ අඩකට වැඩි ප්‍රමාණයක්‌ කෙළින් තබා තදින් හුස්‌ම පිඹ පිටකරන්නා වූ නාගයින් වැඩිපුරම දක්‌නට ඇත්තේ ඉන්දියාව, මැලේසියාව. ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලය. මෙම රටවල වුන්ගෙන් වන හානි වළකාගන්ට උපක්‍රම හා දෂ්ඨ කළ විට ප්‍රතිකාර කිරීමට වෙන් වූ විෂ වෛද්‍ය ක්‍රම ද බිහිව ඇත. නාගයාගේ විෂ පිට කරන්නේ මුඛයේ ඇති අකරි, මකරි, යමදූති (විෂකට්‌ටී) කාල රාක්‍ෂී යන දළ හතරකින් යෑයි දේශීය විෂ වෙදකමේ ද සඳහන් වේ. එසේම නයි කුල (වංශ) හතරකට බෙදා දැක්‌වේ. ඒ දේව, රාජ, ගැරඬි, රාක්‍ෂ වශයෙනි. තව ඇලි (සුදු). හා කලු නයි ලෙස ද වර්ග කරති. නාගයාගේ ගමන් විලාශය හා හැසිරීම නිසා උඩරට නාට්‍ය සම්ප්‍රදායේ වන්නම් දහඅටට "නයිඅඩි" වන්නම ද ඇතුළත් ය. සුදු නයි යහපතද, කලු නයි අයහපත ද නපුරද පෙන්වන බව කියති.

නාගයන් පිළිබඳ ජනශ්‍රැති කථා අපමණය. ස්‌ත්‍රීන් ගැබ් ගැනීමේදී සිහිනෙන් නාගයන් දකින බව කියෑවේ. ග්‍රීසියේ වඳ ස්‌ත්‍රීන් එක්‌ දේවාලයක රාත්‍රි කාලේ නිදාගත් විට දෙවියන් සිහිනෙන් නාග වෙස්‌ ගෙන පැමිණ ගැබ් ගන්වන බව ද කියවේ. ඔවුන් නාග රූප පියයුරුවල පැළඳවීමට ද පුරුදු වී ඇත. ස්‌ත්‍රීන්ගේ මාසික ඔසප්වීම පවා සර්ප දෂ්ඨනයෙන් සිදු වේ යයි සිතන ගෝත්‍රික පිරිසක්‌ ද ඇත. මේ කතාවම නූතන මනෝ විද්‍යාවේදී රාගය හා නාගයින් අතර සම්බන්ධතාවක්‌ ඇතැයි වෙනත් අයුරකින් කියෑවේ. ලාංකිකයන් අතර මේ රාග අදහස නැත. බෞද්ධ ධර්මයේ සර්ප උපමාව ධනයට යොදා ඇත. වැරදි තැනින් සර්පයා ඇල්ලූ විට දෂ්ඨ කරන සේ ධර්මය ද අනවබෝධයෙන් පරිශීලනය කළහොත් විපතක්‌ වන බව දැක්‌වේ.

ඇතැම් ආගම්වල සර්පයා (සාතන්) විපත් කරන්නකු සේ දක්‌වයි. ඔවුන් නාගයාටම සීමා නොවේ. බුද්ධාගමේ නාග සංකල්පය පළමුවෙන් ම මතුවන්නේ මුදලින්ද නාගරාජ යා සත් දින වරුෂාව වැළකූ අවස්‌ථාවේදී ය. වරුෂාව රාගය යෑයිද, ඉන් වළකා ගැනීම නා රජුගෙන් සංකේත වී යෑයි ද මතයක්‌ ඇත. එසේ වුවද, උරුවෙල කාශ්‍යප ශ්‍රමණ වහන්සේගේ කුටියේ විසූ නාග කතා වස්‌තුවෙන් ද නන්දෝපනන්ද නා රජුගෙන් ද ශන්ඛපාල භූරිදත්ත, චම්පෙය්‍ය නා රජුන් ගැන කියවෙන කථා වස්‌තු වලින් ද, "නාග" රාගයට ගැලපුම් කර බුදු දහමෙහි නොසිතන බව විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ ග්‍රන්ථය පරිශීලනයේදී වැටහෙයි. නමුත් "නාගයා" කෙළෙස්‌ සංකේතයක්‌ ව බුද්ධ කථා වස්‌තූන්වල භාවිතව ඇත. මණිකණ්‌ඨ ජාතකයේ මිතුරු වූ නාගයා නොදැකීමෙන් තවුසා කෘෂ වූයේ ඒ හේතුවෙනි. අපේ ජන ඇදහිලි හා ජනශ්‍රැති සාහිත්‍ය අනුව "නාගයා" බොදු පූජනීය වස්‌තූන්ගේ ආරක්‍ෂකයායි. පෙති පිළිම, වෙහෙර විහාර හා නිධන් වස්‌තූන් නාගයන් ආරක්‍ෂා කරන අයුරු මේ කථාවල බොහෝ කියෑවේ. පූජනීය ස්‌ථානයන්හි දොරටුපාල රූපවල "නයිපෙන", "නාගරූප" දක්‌වා තිබෙන්නේ ද නාගයින් ආරක්‍ෂණයේ සංකේතයක්‌ වන බැවින් ය. විහාර භූමි අගතියෙන් කිළිටු වීම වැළැක්‌වීමට ජීවමානව නාගයින් හැසිරෙන අයුරු කොතෙක්‌වත් ඇත. මේ අය වෙස්‌ගත් දේව, යක්‌, භූතාත්ම ලෙස ද කියවෙත්. සතර දොරටු වාහල්කඩ, ස්‌ථානව නාග ලාංඡන ශිලා ස්‌ථම්භ පිහිටුවීම ආරක්‍ෂාවට සංකේත කොට ඇති බව නම් පැහැදිලිය. අපේ පැරැණි වෙහෙර විහාර නම් කිරීමේදී "නාග" පෙර පදය යොදා ආරක්‍ෂකයන් පිරිවරා සිටින බව දැක්‌වූහ. එතැනදී නාග ගෝත්‍රිකයන් විසින් එම ස්‌ථානය නිර්මාණය කළ බවට මේ සංකේතය යෙදුවා යයි මතයක්‌ ද පවතී. විෂ උරගයන් අතර නාගයන් හා බැඳුන කථා රාශියක්‌ ඇත. දුටුගැමුණු මහ රජුන් නාග කන්‍යාවක හා පෙමින් බැඳී කරගත් අරෝවක්‌ නිසා නාග වෙස්‌ගත් සර්ප දෂ්ඨනයෙන් ගිලන් වූ තැනේදී කපුරුනාද වෙදදුරාටවත් සුව කළ නොහැකි වූ බව කියති. නාග කන්‍යාවියන් රූප සුබාවයෙන් අග්‍රගන්‍ය බව ද ඉන් කියවේ. "නාග බහිරව" හා බැඳුන නිධන් ආරක්‍ෂා කරන කථාද ඇත. නාගයන් නිකරුණේ දෂ්ඨ නොකරන බවත්, "නයි හාමිලා" හොඳින් අමතා පිටමං කළ හැකි බවටත් විශ්වාසයක්‌ ඇත. නාගයින් මැරීම ශාප වදින ක්‍රියාවක්‌ව සලකත්, ගෙදරට එන කුලවත් (සුදු) නාගයා ශුභ ලකුණක්‌ව සලකන අතර, උන් මැරූ කල එම පවුලම විනාශ වූ ජන කතා ඇත. නයාට ගහන විට ඌ පෙනය පුප්පා පොළවට ගැසුවහොත් එය "සාපයේ පෙර නිමිත්තකි". නයා නියං සමයක දිය නාමින් සිටි කුඩා දරුවකුගේ කොරහෙන් දිය බිව්වේය. පොළඟාටද දරුවාට අහිතක්‌ නොකරන පොරොන්දුව පිට නයා මේ පහසුව කියා දුන්නේය. දිය භාජනයේ සිටි දරුවා නාගයාට අතින් පහර දී සුරතල් වී ඇත. පොළඟාටද ඒ සුරතලය පෑ විට දුර්ජන පොළඟා දරුවාට දෂ්ඨ කර මරා දැමීය. මින් කෝපයට පත් නාගයා පොළඟා සොයා ගොස්‌ මරා ගිල දැමීය. අදත් මේ නයි පොළොන් වෛරය දැක ගත හැකිය. නාගයාට ගෞරව සම්ප්‍රයුක්‌ත හැඟීමක්‌ සමාජයේ අදටත් නොනැසී පවතින්නේ මෙබඳු කතා නිසාවෙනි.

නවග්‍රහ රූප දැක්‌වීමේදී රාහුගේ හිස නාග පෙනයක්‌ව දක්‌වයි. අපේ පැරැණි පුරාවස්‌තුවල නාග සංකේතය විවිධාකාරව භාවිත වී තිබේ. පෙර සඳහන් කළ මුර ගල් වලද ජලය ඇති පොකුණුවල ද රජවරුන්ගේ පිළිරූ හිස මත්තේ ද කප්රුක්‌ ස්‌ථම්භ මුදුනේ ද යෝධ ජලාශ වැව්, අමුණු, සොරොව්, ඇළ මාර්ගවලද නාග සංකේත ඇත. පරිහරණයට ගන්නා ගල් ඇඳන්. අසුන්වල මෙන්ම වස්‌තූන් නිධන් කර ඒ මත්තේද නාග ලාංඡන පිහිටුවා ඇති සැටි කවුරුත් දැක ඇත. නයිපෙන එක, තුන, පහ, හත ලෙස යෙදීමේ තේරුම නිශ්චිතවම තවමත් පුරාවිදුවරුන් තහවුරු කර නැත. ජනශ්‍රැතියේ නයි පෙන තුන අතීත, වර්තමාන, අනාගත තුන් කල් ආරක්‍ෂාව දැක්‌වූ බව එක මතයක ඇත. දෙව්, මිනිස්‌, බඹ තුන් ලොවම යා හැකි ආරක්‍ෂකයකු බව තවත් මතයකි.

හස්‌ත මුද්‍රා ශාස්‌ත්‍රයේ "නාග හස්‌තය" යෑයි අත හකුලා දැක්‌වීමේ මුද්‍රාවක්‌ ඇත. පැඟිරි කොල යෑයි ශාස්‌ත්‍රීයව හඳුන්වන බුලතේ උපත කියෑවෙන තැන නාග ලොවින් බුලත ගෙන ආ බව කියෑවේ. බුලතේ නැට්‌ට හා පාදය කඩා කෑමට ගන්නේ කටින් ඩැහැගෙන එන විට විෂ දලෙන් වූ හානිය වැළකීමටය. බුලත් වර්ගයක්‌ "නාගවල්ලී" යෑයි ඇත. බුද්ධ පූජාවේ "නාග වල්ලී දළු පේතං" සඳහන ද ඊට සාක්‍ෂියකි. මාණිඛ්‍ය අතරින් වටිනාම මැණික "නාග මාණික්‍ය" යයි. ඉහළ වංශයේ නාගයන් තුළ ඇත් දළෙහි බෙල්ලන්ගේ මුතු හැදෙන ලෙස මේ මැණික ද සෑදේ යෑයි විශ්වාස කරති. නමුත් මේ මැණික වමාරා ඒ එළි ආලෝකයෙන් ගොදුරු ගන්නා විටක ගොම කැටියකින් මැණික වසා ලබා ගත යුතු යෑයි කියවේ. නාගයා මරා කිසිදාක උගේ සිරුරින් මෙය ලබාගත නොහැක. එබඳු අවස්‌ථාවක්‌ කිසි විටක දී මෙතෙක්‌ හමු වී නැත. අපේ පැරැණි විහාරස්‌ථාන කීපයක මේ නාග මාණික්‍ය ඇති නාග හැසිරීම් ගැන කතාන්දර ගෙතී තිබේ.
නාග මාණික්‍ය

මේ සියල්ල ජනශ්‍රිතය හා සම්බන්ද කතාය.එනමුදු මෙහි ප්‍රධාන කතාව ගොඩනැගෙන්නේ ඒ උරග විශේෂය ගැන නොව අපේ සිව් හෙලයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් කණ්ඩායමක් පිලිබදවය.
එදා මේ හෙලදීපයේ හෙල හතරක් තිබුනු බව අපට වංශකතා හා ශිලා ලිපි සාධක පෙන්වා දෙයි. ඒ නිසාම මේ හෙලය සිව් හෙලය යන නමින් එදා හදුන්වනු ලැබුවා. ඒ සිව් හෙලයේ ජීවත් වූ එක හෙලයක් ලෙස නාග හෙලය හැදින්විය හැකියි. නාග යනුවෙන් හදුනා ඇත්තේ ඔවුන්ගේ නාම ගෝත්‍රය වන අතර ඔවුන් දෑහින් දකිනා සත්‍ය මිනිසුන් වූවා මිස අදෘශ්‍යමාන පිටසක්වල හෝ සමාන්තර ලෝකයකය හෝ වෙනත් නොපෙනෙන ලෝකයකට අයත් නොවූවෝය.කෙසේවෙතත් මහානාම හා බුද්ධ ඝෝශ පූජකයන් ඇතුලු ඉන්දියා අ‍ටුවාකරුවන් මේ නාග ගෝත්‍රිකයන් සමච්චලයකට ලක් කරගෙන ඔවුන්ගේ ග්‍රන්ථ රචනා කර ඇති බව පැහදිලි වේ. අරිසෙන් අහුබුදු සූරීන්ගේ මතය වන්නේ ද සිව් හෙළය පසුව සිංහලය බවට පෙරළුණු බවකි. කෙසේ වූවත් වෙනත් සමාජ සංස්කෘතීන් ගේ මෙන් ම පුරාණ ලක්දිවෙහි ද මෙසේ කණ්ඩායම් වශයෙන් ජනතාව බෙදී ඇත්තේ ඔවුන් කරන ලද කාර්යයන් මුල් කර ගැනීමෙන් බැව් පෙනේ. එනම් එදා රටපාලනය කළ පිරිස දේව ලෙස හඳුන්වා ඇත. යකඩ කර්මාන්තයේ නියැලුණු පිරිස යක්‍ෂ නම් විය. රට ආරක්‍ෂා කළ ආරක්‍ෂක සේවයට අයත් පිරිස එදා රාක්‍ෂ ලෙස හඳුන්වා ඇත. 

නාගයෝ වර්ග දෙකකි. පර්වතවාසී නොහොත් ගොඩවැසී නාගයන් හා සමුද්‍රවාසී නොහොත් දියවැසි නාගයන් යන නමින් මේ වර්ග දෙක හඳුන්වා ඇත. පර්වතවාසී නොහොත් ගොඩවැසී නාගයින්ගේ රැකියාව වූයේ ගොවිතැන හා සත්ත්ව පාලනයත්, පේෂ කර්මාන්තයත් වැනි කර්මාන්ත වේ. දියවැසි නොහොත් සමුද්‍රවාසී නාගයෝ මහාජලාශ, ගංගා හා සමුද්‍ර අසල ජීවත් වූහ. මොවුන්ගේ ප්‍රධාන රැකියාව වූයේ ධීවර කර්මාන්තයයි.පහාරාද සූත්‍රය වැනි සූත්‍රයන්හි විස්තර වන්නේ ඔවුන් පිලිබදවය. තොටියන් ලෙස ද ගංඟා ඔස්සේ නාවික යාත්‍රා මගින් වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ද ඔවුන්ගේ රැකියාවන් විය.අතීතයේදී හෙලදිව නැව් සමාගම් (පුගියන,මඩුකශලිය) තිබූ බවට සෙල්ලිපි මගින් තහවුරුවන අතර එදා නාවිකයෝ දියුණු විදේශ වෙලදාමකට හිමිකම් පා ඇති බව තහවුරු වේ.

ශිලා ලේඛන වලදී නාග ගෝත්‍රිකයන් ගේ නම් සදහන් වන්නේ "නග" වැනි යෙදුම් හරහාය. ආටානාටිය සූත්‍රයේ වැනි සූත්‍ර වල සදහන්වන නාග දියණියන්,නාග රජවරුන්,නාග පුත්‍රයන් බුදුන්වහන්සේට හා සංඝයාට පිදූ ලෙන් මේ හෙලදීපයේ පවතී.
බත නගහක බත සුමනහ ක බත සුමන ගුතහ ක පරුමක දත ඣිය උපසික රම ලෙන ශගශ අගත අනගතශ සමනි පලයක අස දම ගුතහ ක .... රහ ක.

ගමික නග පුත සුමනහ ලෙනෙ පතක සයෙ

මේ අනුව මනාවට පැහැදිලි වන වගනම් නාග ලෙස හදුන්වා ඇත්තේ අමනුශ්‍ය නොවන හෙලදිව විසූ දෑහින් දැකිය හැකි මනුශ්‍ය ගෝත්‍රයක් බවමය.එමෙන්ම ඔවුන් නොදියුණු වැදි ගෝත්‍රයක් නොවන බවත් ඔවුන්ගේ පාලන ප්‍රදේශ තුල මනා පාලන ක්‍රමයක් පැවති බවත් පැහැදිලිය.

නා ලොව සතියක් පුද ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

බොදු බැතිමතුන් අතර ඉතා ප්‍රසිද්ධ මෙම කාව්‍ය අප බෝධි පූජා කරන අවස්ථාවන්හිදී බොහෝ විට භාවිතා කරන්නකි. එහෙත් වංශකථා වලට අනුව මේ කවිය තුළ විශාල අර්ථයක් ගැබ්ව ඇති බවත් ගම්‍ය වේ. මහාවංශය, දීපවංශය, වංසත්ථප්පකාසීනිය (මහාවංශ ටීකාව), බෝධිවංශය මෙන්ම සුළු බෝධිවංශය තුළ ද ජය ශ්‍රී මහා බෝධි ශාඛාව නා ලොව සතියක් පුද සත්කාර ලැබූ බැව් විස්තර සහිතවම විග්‍රහ කොට ඇත.

මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක යෙදී මෙහි සඳහන් නාග ලෝකය කුමක් ද යන්නත්, එහි විසූ නාගයින් කවුරුන් ද යන්නත්, ඔවුන් හා බුදු දහම අතර පැවැති සබඳතාවය කුමන ආකාරයේ වූවක් ද යන්න විමසා බැලිය යුතුය.

මහාවංශයේ දහනව වැනි පරිච්ඡේදයේ එම පුවත මෙසේ දක්වා ඇත.  "නාගයෝ මහා බෝධිය ගන්නා පිණිස සෘද්ධි විකුර්වණය කළහ. අභිඥා බල පරප්‍රාප්ත වූ සංඝමිත්තා නම් මහ තෙරණි තොමෝ ගුරුළු වෙස් ඇතිව ඒ මහා නාගයන් බියගැන් විය. බිය ගන්වන ලද්දා වූ ඒ මහා නාගයෝ මහ තෙරණින් යාච්ඥා කොට මහා බෝධිය එතැනින් නාග භවනයට වඩා ගෙන ගොස් සත් දවසක් මුළුල්ලෙහි නාග රාජ්‍යයෙන් හා නානාවිධ පූජායෙන් පුදා වඩා ගෙනවුත් නැවෙහි පිහිට වූහ”

මහාවංසයට ලියන ලද ටීකාව වන වංසත්‍ථප්ථකාසිනීයේ දහ නවවන පරිච්ඡේදයේ 17 සිට 22 ගාථා තුළ එම පුවත  විග්‍රහ වී ඇත.

දක්‍ෂිණ බෝධි ශාඛාව නාග භවනයට ගෙන යාම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් සිංහල බෝධි වංශයේ දුමින්දාගමන කථා නම් පරිච්ඡේදයේ ඇතුළත්ව ඇත.

“ එකල්හි සමුද්‍රයෙහි වසන්නා වූ නාගයෝ මහා බෝධීන් වහන්සේ ගෙතු මහ පවන් හා වර්ෂා අන්ධකාරය ද දක්වා ක්‍ෂෝභ කෙරෙමින් සෘද්ධි විකුර්වණය කළහු යැ. ඒ දැක සංඝමිත්‍රා නම් ස්ථවිරා තොමෝ ගුරුල් වෙසක් මවා ගෙනැ කල්පාන්ත වහ්නි ස්කන්ධයක් සේ භයානක වූ ගරුඩ වේශයෙන් අහස්කුස් පුරා, ඉන්ද්‍රනීල මාණික්‍යමය වූ මස්තකයෙහි රශ්මි ජ්වාලයෙන් ආකාශය ඒකාන්ධකාර කොටැ, පක්‍ෂ මාරුත වේගයෙන් සමුද්‍ර ජලය අළලා ප්‍රලය කාලයෙහි සූර්ය මණ්ඩලයක් බඳු වූ භයානක වූ නේත්‍ර යුගලයෙන් නයින්ගේ ළය උපුල්වා, ප්‍රලය සාගරයෙහි ගර්ජනාවක් හා සදෘශ වූ ඝෝෂාවෙන් නයින් නැති ගන්නා.

නාග සමූහයා ප්‍රලය කළා යැ ඒ ස්ථවිරාවන්ගේ ආනුභාවයෙන් තැති ගත්තා වූ නාගයෝ අවුත් ඒ විභූතිය දැක සංඝමිත් තෙරණියනට යාච්ඥා කළෝ යැ. ‘ආර්යාවන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මුචලින්ද නා රජුගේ දරණ වැල තමන් වහන්සේට ගඳකිළියක් කොටැ සතියක් මුළුල්ලෙහි ඕහට සංග්‍රහ කළ සේකැ. බුදු වන දවස් නිල්දලා හෝ තෙරු දී තමන් වහන්සේ වැලැඳු තලිය මහ කෙළ නා රජ හට හළ සේකැ. උරුවේලායෙහි නාග රාජයා විසින් මවන ලද විෂධුම හා ගිනි කඳු ද නොසලකා මැ ශරණශීල නමැති ආභරණ දුන් සේකැ, මුගලන් මහ තෙරුන් වහන්සේ යවා නන්දෝපනන්ද නම් නාග රාජයාගේ විෂ, සාගරය කල්පාන්ත වහ්නියෙහි සූර්යයා මෙන් වියළාපු සේකැ. මෙසේ ලෝකස්වාමි වූ සර්වඥයන් වහන්සේ අපට උපකාරී සේක. නුඹ වහන්සේත් අප ගේ දෝෂය නො සලකා, ඇසිල්ලක් මහා බෝධීන් වහන්සේ අපට හªරු නාග සමූහයාට ස්වර්ග මෝක්‍ෂ සැප සිද්ධ කළ මැනැවයි යාච්ඥා කළාහු යැ. ඒ සංඝමිත්‍රා නම් ස්ථවිරාව නයින් හට මහාබෝධීන් වහන්සේ හැරැ මෙසේ කිවූ යැ. “එම්බා නාගයෙනි! නාග ලෝකයෙහි පටන් භවාග්‍රය දක්වා සියලු දසදහස් සක්වළ විෂය නො වන්නා වූ කෙනෙක් නම් නැත. කොතැනට ගියාවුත් බෝධීන් වහන්සේ ගෙනැ ඊට මට භාර වන්නේ යැ. එසේ හෙයින් තෙපි සතියක් මුළුල්ලෙහි මහත් වූ බෝධි පූජා කොටැ ගෙනෙවු” යි කිවු යැ. ඉක්බිත්තෙන් නාගයෝ සත්රුවනින් පුදමින් නාග භවනයට ගෙනැ....’ (බෝධිවංශය, දුමින්දාගමන කථා, ලංකාව තරණ කථාව,)

ඉහත වංශ කථාවල සඳහන් වන ආකාරයට නාගයින් දක්‍ෂිණ බෝධි ශාඛාව ගැනීමට යම් උත්සාහයක් දරා ඇති බැව් ගම්‍ය වේ. නමුත් එහිදී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ තම අභිඥා බලය පෙන්වා ඔවුන් බියට පත් කොට පලවා හැර ඇත. නැවත පැමිණි මේ පිරිස සංඝමිත්තා තෙරණින් වහන්සේගෙන් සමාව ගෙන එය එක්වරක් තම නාග භවනයට වඩමවා ගෙන දෙන ලෙස ඉල්ලා ඇවිටිලි කළ බැව් මේ තුළින් කියැවේ. මෙම වංශකථා තුළ නාගයින්, නයින් ලෙස කරන මේ විස්තරය තුළ එහි සත්‍ය කතාව වටා ප්‍රබන්දයක් ගොඩ නගා සාහිත්‍යාත්මක රසය වැඩි කිරීමට උත්සහ දරා ඇති බව පෙනේ.

දක්‍ෂිණ බෝධි ශාඛාව නාග ගෝත්‍රිකයිනට, ලැබුණු පසු ඔවුන් තම නාග භවන හෙවත් නාග රාජධානියට ගෙන ගොස් පුදසත්කාර කළ බැව් දීපවංශය තුළින් ද කියවේ. එහිදී ඔවුන් කළ සැරසිලි යනාදිය පවා එහි විස්තර වී ඇත.

“එසේම නාගරජවරු නාග කණ්‍යාවන් හා ඔවුන්ගේ දරුවන් ද සමඟ නිවෙස් වලින් පැමිණ උතුම් වූ බෝධීන් වහන්සේලාට පූජා පවත්වති. නොයෙක් වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී අලංකාර වූ නාගයෝද මෙසේ සාගරයේ වැඩම වන්නා වූ බෝධීන් වහන්සේට වඳිති. නිලුපුල්; උපුල්; කුමුදු; කහ්ළාර; මනාසේ සුවඳ ඇති අවිමුක්තාදී; මල් ද තාක්කාරී; කොබෝලීල; පලොල්; බිඹුදැල්; අශෝක; සල්, මිස්සක, පුවඟු, මල් වර්ගද ගත් නාරජවරු හා නාග කන්‍යාවෝද මහත් සතුටින් යුක්ත වූවාහු බෝධීන් වහන්සේ වඳිති. එය ඉතා අලංකාර බවින් යුක්ත විය. බෝධීන් වහන්සේ සිත්සේ වැඳපුදා ගැනීමට කැමතිව නාග භවනයට ද වැඩමවා ගෙන යන ලදී.

එය වැඩමවන ලද්දේ මෙසේ ය. සමීප දිවයිනට වැඩම වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ බෝධි ශාඛාව පිරිවරා ගන්නා ලද නාගයෝ සතුටින් ප්‍රමුදිත වූයේ නොයෙක් ක්‍රීඩා පවත්වති. එම නාග භවනයෙහි බිම මැණික් අතුරා ඇති අතර එහි මුතු ලෑලි ද අතුරා ඇත. විවිධ ආරාමවලින් ගැවසීගත් එහි නොයෙක් මල්වලින් අලංකාර වූ පොකුණු ද වූයේ ය. දෙවියන් සහිත මනුෂ්‍යයෝ එහි සත්දිනක් විසූහ. එසේම දෙවිවරු ද නාගයෝ ද, නාග භවනින් නික්ම විවිධ මල්දම්වලින් බෝධීන් වහන්සේ පූජා කෙරෙති” (සිංහල දීපවංශය, 16 වැනි පරිච්ඡේදය)

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙන් දක්‍ෂිණ බෝධි ශාඛාව ලබාගත් පසු හා එය නාග භවනට වැඩම කරන විට නාග ගෝත්‍රිකයෝ ගී ගයා, නටා, වයා සතුටු වූ බවද දීපවංශය තුළින් අනාවරණය වේ. “ නාගයෝ ද, සයුරෙහි වැඩමවන්නා වූ බෝධීන් වහන්සේ පිරිවැරුවාහු ය.

ඔවුහු වයමින්, ගයමින්, නටමින්, සිනාසෙමින්, මහත් සේ දෙගුණ තෙගුණ කොට ගුණ ගායනා කරමින් අත්පොලසන් දෙති” (දීපවංශය, 16 වැනි පරිච්ඡේදය) මෙම නාග ගෝත්‍රිකයින් ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව බලහත්කාරයෙන් ගෙන යෑමට උත්සාහ කළ බැව් වංශකථා තුළින් කියවෙතත් එය එසේම වූවාද යන්න පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතු ය. ඔවුන් ඇතැම් විට එය සතියක් තම නාග භවනයෙහි තබා පුද සත්කාර කිරීමට ඉල්ලුවා විය හැකි ය.


මහාවංශයට පෙර රචනා කරන ලද දීපවංශය තුල මේ නා ලොව සතියක් පුද පූජා පැවැත්වීමේ සිද්ධියට සාධාරණයක් කර ඇති බව පෙනේ. තවද මහාවංශය පවසන අන්දමේ ප්‍රබන්ද ලෝකයක් පිලිබද තොරතුරු දීපවංශය ඇසුරින් ගෙන හැර නොදක්වයි. එහි දැක්වෙන අන්දමට බෝධිශාඛාව ගෙන ගොස් ඇත්තේ නිවස් වල ජීවත් වන,අත් පා ඇති,නටන ගයන සිනාසෙන සාමාන්‍ය මනුශ්‍යයන් පිරිසකි. ඔවුන් වෙනත් ලෝකයක ජීවත් නොවූවන් බවට තවත් සහතික කිරීමක් ලෙස පෙන්වා දිය හැක්කේ ඔවුන් බෝධිශාඛාවට පුජාකරන ලද මල්වර්ගයන්ය. ඔවුන් ඒ පූජාවන් සදහා යොදාගෙන ඇත්තේ මනුශ්‍ය ලෝකයේ හටගන්නාවූ සත්‍ය මල්වර්ගයන්ය. තවත් පැහැදිලි කිරීමක් ලෙස මෙහි දක්වා ඇති "දේව" ලෙස හදුන්වා ඇත්තේ නාග රජවරුන් එනම් සම්මත දේව කොටස බව කියනු කැමතිය.බෝධිශාඛාව ගෙනයාමේ සිදුවීමේදී සමුද්‍රය ගැන සදහනක් ඇතුලත් වේ. ඇතැම් විට මෙසේ සිංහලට පරිවර්ථනය කර ඇත්තේ විශාල ගංගාවක් ඔස්සේ බෝධිශාඛාව වැඩමවීම විය හැක. පරාක්‍රම සමුද්‍රය ලෙස වැවකට නමක් යෙදූ පමණින් එය සමුද්‍රයක් නොවේ. මෙහි සිදුවීමත් එවැන්නක් විය හැක. බුදුන්වහන්සේ පිට දුන් ජය සිරි මහ බෝධීන්වහන්සේගෙන් අංකුරය ‍රැගත් සංඝමිත්තා තෙරණිය අනුරාදපුරයට වැඩම කර ඇත්තේ නේරංජනා ගංගාව ඔස්සේ බව ගමන් මාර්ග ලෙස හදුනාගත හැක.මෙසේ නාගයන් සතියක් පුද පූජා පවත්වා ඇත්තේ අදෘශ්‍යමාන ලෝකයකදී නොව හෙලදිව පිහිටි නාග හෙලයේදී බව දැනගත යුතුය.

මුචලින්දගේ හෙලිදරව්ව

නාග ගෝත්‍රික කථාවේ පටලවා ගැනීම නිසා ඝාතනය වූ චරිතාපදානයක් ලෙස මුචලින්ද නා රජු හැදින්විය හැක. මුචලින්ද රජු යනු බුදුන්වහන්සේට බෝමැඩදී හමුවූ චරිතයකි. මේ සිද්ධිය ඛුද්දක නිකායේ උදාන පාලියේ මුචලින්ද වග්ගයේ දැක්වෙන පාඨයේ අදහස මෙසේ ය. 

"මෙය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ උරුවෙල් දනව්වේ නේරංජරා නදී තීරයේ මිදෙල්ල ගසක් මුල විමුක්ති සුවයෙන් විසූ සේක. එකළ සත්දිනක අකල් වැස්සක් ඇති විය. එවිට මුචලින්ද නා රජ තම වාස භවනයෙන් පිටව “භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා. භාග්‍යවතුන් වහන්සේට උෂ්ණයක් නොවේවා!, භාග්‍යවතුන් වහන්සේට මැසි මදුරුවන්ගෙන්, සුළඟින්, අව්වෙන්, සර්පයන්ගෙන් කරදරයක් නොවේවා යි සිතමින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සන්දරණ පටකින් වෙලාගෙන මහත් වූ පෙණයක් කොට ගෙන සිටියේ ය. සතිය අවසන බුදුන් වහන්සේ සමාධියෙන් නැගී සිටි සේක. වැස්ස නැවතුණු පසු නා රජ, තමන්ගේ දරණ වැල ඉවත් කොටැ, තරුණයෙකුගේ වෙසක් මවාගෙන බුදුරදුන්ට ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිවන් සුවය, නොකිපෙන බව, අවිහිංසාව, කාමයන්ගෙන් ඉවත් වීම හා අස්මිමානයෙන් දුරුවීම සැපයක් බව පිළිබඳ ගාථාවන් දේශනා කළ සේක.”

බොහෝ සාහිත්‍යකරුවන් දක්වන අන්දමට මුචලින්ද ඒ ධාරාණිපාත වැස්සේදී පැමිණෙන්නේ මුචලින්ද විලෙන්ය. එනමුදු සැබවින්ම මුචලින්ද පැමිණෙන්නේ තමන්ගේ වාස භවනේ සිටය. එසේම මෙම සිංහල පරිවර්ථනයේ දැක්වෙන කතාවද විමසිය යුතුය. මෙහි මුචලින්ද නා රජු උරගයෙකු කර ඇති අතර දරණ වට ගණන හා ඉන්පසු මිනිස් වෙසක් මවාගන්නා වගද දක්වයි. එනමුදු මෙහි දැක්වෙන සාහිත්‍යාත්මක හා පදපරම අර්ථයන් ඉවත් කර බැලුව හොත් එහි සත්‍යතාව වටහා ගත හැක. මුචලින්ද නා රජු යනු අමනුශ්‍යයෙකු නොවේ. ඔහු එම ප්‍රදේශයේ සිටි ප්‍රාදේශීය පාලකයෙකි. බුදුන්වහන්සේ බෝමැඩ ගතකරද්දී ඇදහැලුනු මහ වරුසාවෙන් ආරක්ශාවීම සදහා ඔහු ගන්ධකු‍ටියක් සාදවා තිබේ. එහි නටඹුන් තවමත් හිරිවඩුන්නෙන් දැකගත හැකි අතර වට හතක් ලෙස දක්වා ඇත්තේ ගන්ධ කුටිය සදහා ඉදිකල ආවරණයන් පිලිබද වීමට පිලිවන. එපමණක් නොව ඒ ආශ්‍රිත සක්මන් මලුවද මුචලින්ද නා රජුගේ නිර්මාණයක් යැයි සැලකේ. බෝසතානණ්වහන්සේට බෝමැඩ මූලයේ වජ්‍රාසනය නිමවාදුන් පුද්ගලයාගේ නම සාහිත්‍ය පොතෙන් පිටමං කර තිබුනද එම නිර්මාණයද මුචලින්ද නා රජුගේ කාර්යයක් යැයි සැලකේ.
                 

                            

 මුචලින්ද රජු සෑදූ කුටියේ නටඹුන්


වැදගත්ම දෙයනම් මේ කිසිවක් ඉන්දියාවේ නොවීමය. ඉන්දියාවේ මුචලින්ද නා රජු නොමැවති නිසාදෝ සාහිත්‍යකරුවා ඔහුව අමනුශ්‍යලෝකයකට පිටමං කර ඇත. බුදුන්වහන්සේ වදාල 31 ඵ්ලයන්හින් එකකටවත් ඇතුලත් නොවන මේ නාග ලෝකය පිලිබද මිත්‍යාවන් ගෙතූ හොර බුදුවරු පසුපස යන වස්තු ලෝබී චීවරධාරීන් ඉන්දියාවට කත් අදින්නේ සම්මා සම්බුදුන්වහන්සේගේ දේශනාවන් හෑල්ලුවට ගනිමිනි. තවත් වැදගත් කරුණනම් මුචලින්ද නා රජු ‍රැකවරණය සැලසුවේ වැස්ස නිසා වුවද මැයි,ජුනි මාසවලදී ඉන්දියාවේ බුද්ධගයාවලට වැසි බිදකුදු වැටෙන්නේ නැත. එනම් ඒ කාලයේදී එම ප්‍රදේශයට ලැබෙන්නේ උපරිම උශණත්වයකි. එසේනම් මුචලින්ද ‍රැකවරණය සලසන්නේ කුමකින්ද?
                               

                     


මේ මුචලිද නා රජු ගේ සමස්ත රජ පරපුරම හෙලදිවට උරුම වූ දෙයකි. මේ දැක්වෙන්නේ ඒ බව සනාථ කරන එනම් මුචලින්ද රජු හෙලදිව මුතුන් මිත්තෙකු බවට තහවුරු කල හැකි ශිලා ලිපියකි.
මචුදික රඣශ පුත රඣහ අබය ශඣහ අබයශ පුත රඣහ නග රඣහ නගශ පුත රඣහ අබය රඣහ අනයශ පුත ගමණි තිශෙන කරපිතෙ මහශුදශනෙ අගත අනගත කුට දිශ ශගශ පදිතිතෙ

අමනුශ්‍ය ලෝකවල නාගයන් මෙරට සෙල්ලිපි නොකොටන නිසාත් අමනුශ්‍යයන් මනුශ්‍ය පුත්‍රයන් ජාතක නොකරන නිසාත් බුදුන්ගේ උරුමය හෙලදිව නිසාත් මුචලින්ද නා රජු යනු අමනුශ්‍ය ලොවක අමනුශ්‍යයෙකු නොව හෙලදිව ජීවත් වූ නාග ගෝත්‍රික රජ කෙනෙකු බව මේ අනුව මනාවට සනාථ වේ.

රත්නද්වීපයේ නාගයෝ ගන්ධකුටි පෙන්වයි.

නාග ගෝත්‍රිකයින් ත්‍රිවිධ රත්නය සරණ ගිය ජන කොට්ඨාසයකි. ඔවුන් බුදුන් දවස ද මේ ආකාරයට නැවකින් ගමන් කරමින් සිටි සංඝරක්‍ෂිත හිමියන් තම නාග භවනට ගෙන ගොස් එම භික්‍ෂුවගෙන් දහම් කැරණු අසා දැනගත් බැව් සංස්කෘත ග්‍රන්ථයක් වන දිව්‍යාවදානයේ එන සංඝරක්‍ෂිතාවදානයේ අන්තර්ගතව ඇත.
 

 “ රත්නද්වීපය ආසන්නයේ දී ඔවුන්ගේ නැව නාග (ගෝත්‍රික) යන් විසින් වට කරන ලදී. තැතිගත් නැවියෝ යදින්නට වූහ. මේ අතර නැව වටලා ගෙන සිටි නාගයෝ මහා ඝෝෂාවක් කරමින් ‘සංඝරක්ෂිත අපට දියව් සංඝරක්‍ෂිත අපට දියව් යනුවෙන් කෑ ගසන්ට පටන් ගත්හ. නාගයෝ සංඝරක්‍ෂිත හිමියන් නාග භවනට කැඳවා ගෙන ගියහ. “ ස්වාමීනි, සංඝරක්‍ෂිතයනි, මේ තියෙන්නේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ විහාරයයි. මේ සිචී බුදුහාමුදුරුවන්ගේ විහාරයයි. අර තියෙන්නේ කකුසඳ බුදු කුටියයි. කාශ්‍යප බුදුරදුන්ගේ ගඳකිළිය මෙයයි. ස්වාමීනී, අපේ (ගෞතම) භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍ර ධර්මය මාතෘකා (අභි) ධර්මය දෙවි මිනිසුන් අතර දේශනා කර තිබෙනවා.

තවම අපට ඒ දහම උගෙනීමට බැරි වුනා. ඔබවහන්සේ අනුකම්පා කර (දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර) ආගම් සතර අපට උගන්වන්නැයි එහිදී සංඝරක්‍ෂිත තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. එය පිළිගත් සංඝරක්‍ෂිත හිමියෝ නාග භවනයේ ළමයින් සතර දෙනෙකුට ‘ආගම සතර’ උගැන්වූහ” (සිංහල දිව්‍යාවදානය)


මෙහි දැක්වෙන අන්දමට රත්නද්වීපය ආසන්නයේ එනම් නූතන ලංකාව ආසන්න සමුද්‍රයේදී සංඝරක්ෂිත හිමිනම වඩම්වාගෙන ගොඩබිම වෙත එලඹෙන නාවිකයෝ උන්වහන්සේට  පෙර බුදුවරුන්ගේ මෙන්ම ගෝතම බුදුන්වහන්සේගේද පූජනීය ස්ථානයන් එනම් උන්වහන්සේලා වැඩ සිටි ස්ථානයන් පෙන්වයි. එසේනම් ඔවුන් ඒ හිමියන්ව කැදවාගෙන ගෙනගොස් ඇත්තේ බුදුවරු උපත ලබන දීපය වෙතටයි. හෙලදිව නාවිකයන්ට ඉන්දියාව වැනි වෙනත් රටකට ඇතුලු වී මේ ක්‍රියාවලිය සිදුකර නොහැක. තවද ඉන්දියාවේ නාග වාසභවන් නොමැති නිසා මේ වැඩමවීම සිදුවූයේ ඉන්දියාවට යැයි කිසිසේත්ම කිව නොහැක. රත්නද්වීපය ආසන්නයේ සිටි නාවිකයන් එසේනම් මේ වැඩමවීම සිදුකර පෙන්වා දෙන්නේ තමන්ගේ දීපයේ උරුමයන් පිලිබදවයි. එසේනම් මේ නාගයන් පෙන්වා දෙන්නේ බුදුන්වහන්සේගේ උරුමය හෙලදිවට වූ එකක් බව නොවේද,

නාග බල ප්‍රදේශ

නාග ගෝත්‍රිකයන්ගේ පාලන ප්‍රදේශ මූලික වශයෙන් කැළණිය,ගම්පහ වැනි ප්‍රදේශ දක්වා විහිදී තිබූ බවට සාධක හමුවේ. චූලෝදර,මහෝදර නාග රජුවරුන්ගේ සිද්ධිය එයට නිදසුනකි.
 

සද්ධර්මාලංකාරයේදී බුදුන්වහන්සේ  මණිනාග දිවයින හෙවත් සමුද්‍රනාග භවන නමින් හැඳින් වූ දූපතකට වැඩි බව සදහන්ය.මහා වංසයේ එය පන්සියයක් යොදුන් නාග භවන නමින් හඳුන්වා ඇති අතර එය වර්තමාන යාපන අර්ධද්වීපය අසළ පිහිටා ඇති දූපත් වලින් එකක් වන නයිනා තිවි දූපත ලෙස සැලකේ. යාපන අර්ධද්වීපයේ වඩුන්නාගල පිහිටි නාග රාජධානියේ රජුත් මණි නාග දිවයිනේ වාසය කළ නාග රජුත් අතර ඇතිවන්නට ගිය බිහිසුණු සටනක් මෙහිදී තථාගතයන් වහන්සේ විසින් සමථයකට පත් කරන ලදී.  මේ අනුව යාපන අර්ධද්වීප ආශ්‍රිත ප්‍රදේශයක්ද නාග පාලනය යටතේ පැවති බව පෙනී යයි.(මීට පෙර ඵල වූ සිතියම බලන්න)

මේ නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ සිදුවීම් බෞද්ධ ඉතිහාසයේ අනන්තවත් හමුවේ. නමුත් පසුකාලීන ග්‍රන්ථ රචකයන් හා පරිවර්ථකයන් ඔවුන්ට දේව සංකල්ප ආරූඪ කර ප්‍රබන්ද ගොඩ නගා තිබේ. මෙවැනි තවත් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පළමුවන වර්ෂා සෘතුව බරණැස ඉසිපතනයේ ගත කළ කාලයේ දී අපට දක්නට ලැබේ. ඒ ඒරක පත්‍ර නාගරාජ සමාගමය සිදු වූ අවස්ථාවේදී යි. බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ වග මිනිසුන්ගෙන් අසා දැන ගැනීම සඳහා ඒරකපත්‍ර නා රජ උපක්‍රමයක් යෙදී ය. හේ අභිරූපී සිය දියණියට ගාථාවක් උගන්වා බරණැස ගංගා නදිය අසළ ඇය සිටුවා, ඇය ලවා ඒ ගාථාව ගයන්නට සැලැස් විය. ඇය ගයන ගීයට ප්‍රතිගීතයක් ගයන කෙනකුට මහත් වස්තුව සමග ඇය පාවාදෙන බවද ප්‍රසිද්ධ කරවීය. සෑම අඩමසක් පාසාම පොහෝ දිනයන්හී ඇය මේ ගීය ගැයූ අතර බොහෝ කලක් ඉක්ම ගියේ ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගෙවද්දී එක් පොහෝ දිනක නා රජ දියණිය ගීය ගයන දින උදා විය. තමාගේ ගමනින් යහපතක් සිදුවන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එදින බරණැස ගංගා ඉවුරෙහි රිටිගස්හත පිහිටි තැනට වැඩි සේක. එදා ගීයක් ගයන්නට යන උත්තර නමැති මානවකයා දුටු බුදුන් වහන්සේ ඔහු කැඳවා ඔහුගේ ගීය අසා, එය වැරැදි බැවින් ඔහුට නිවැරැදි ගීයක් හා තවත් ප්‍රතිගීයකුත් ඉගැන් වූ සේක. ගීයෙහි අරුත මෙහි නොදැක් වේ. (එය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ගෞතම බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ 52 – 54 පිටු) එම ගීතය හා ප්‍රතිගීතය ඇසූ උත්තර මානවකයා සෝවාන් විය.


අනතුරුව උත්තර මානවකයා නාග කුමරිය වෙත ගොස් ඇය ඇසූ ප්‍රශ්නවලට අදාළ ගීත ගායනා කෙළේ ය. ඒරකපත්‍ර නාග රාජයා ඒ ගාථාව බුදුවරයකුගේ විසර්ජනයක් බව දැන, උත්තර මානවකයා සමඟම බුදුන් දක්නට ගොස් දහම් ඇසූහ. ඒරකපත්‍ර රජුත් ඔහුගේ දියණියත් නාග ගෝත්‍රිකයෝය. එනමුදු මොවුන් නාගයන් ලෙස දැක්වීමට ඉන්දියානු අට්ඨකතාකරු උත්සහ දරා ඇත. එසේ වූ විට සෝවාන් වීම කෙසේ වෙතත් උත්තර මානවකයාට පූශ් පූශ් ශබ්දනයම් ඇසීමට හැකිවනු ඇත.

මිසදිටු ගත් නන්දෝපනන්ද නම් නාග රාජයකු බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ බවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. ඔහු දමනය කරන ලද්දේ මුගලන් මහරහතන් වහන්සේ විසින් බව කියනු ලැබේ. (අමාවතුරේ නාග දමනය), බුදුන්වහන්සේගේ සාසනයේ නාග ගෝත්‍රිකයන් බොහෝ දෙනා පැවිදිව මාර්ග ඵලද සාක්ශාත් කර ගත් බව ත්‍රිපිටකයේදී අපට හමුවේ. එනමුදු ඇතැම් තැන්හීදී (විනය පිටකය ආදී) පරිවර්ථකයන් දී ඇති අර්ථ සලකා බැලූ විට ඒව බුදු දහමට ඉදුරාම පටහැනි ඒවාය. පද පරම අරුතින් ඒවා බැලූ කල අවබෝද වන්නේ උරගයන් සාසනයේ පැවිදි වී සිට ඇති බැව්ය. එනමුදු සෑම තැනදීම විස්තර වී ඇත්තේ නාග ගෝත්‍රිකයන් හෙවත් නාවිකයන් පිලිබදවමය.


එදා නාග ගෝත්‍රිකයන් සමච්චලයට ලක්කල මේ ඉන්දියානු සාහිත්‍ය සම්ප්‍රදාය නිසා අපේ රටේ මුතුන් මිත්තන් පිරිසකට හිමි වූයේ ඛේදනීය ඉරණමකි. නාග රජවරු බඩගාගෙන යන උරගයන් කිරීමට සමත් වූ ඒ සාහිත්‍යකරුවන් සරණ ගිය ඇත්තන් අද අනන්තවත් සිටී. ගුටි කකා යැදෙමින් ඉන්දියාවේ බඩගාන මුචලින්දලා සොයන ඔවුන් සැමවිටම අහක යන නයි තමා සතුකර ගැනීමට ගොස් කෑවෝ යැයි මොර ගාති. කිසිදු සාධකයක් නොමැති මහා භාරතයේ ගුටි කකා සිගමන් යදින්නේ කුමන පූරුවේ කරුමයක් ගෙවීමටදැයි අපනම් නොදනී.

ඒ අතර මුචලින්දලා බඩ ගෑ යුතුමය යන නිගමනයේ සිටින රත්මලානේ ධර්ම පරේශකලා කොලඹ සිට පත්තර පි‍ටු පුරෝමින් හෙලදිවට කෙලසති. මහානාමගේ පුනරාගමනය බදු වූ එතුමන්ලා නයාට ගසා පොල්ල වරද්දාගෙන අවසානය. කවුරුන් කෙසේ කොපමණ දේ ලිව්වත් අන්තිමේදී ඒ පත්තර පි‍ටු ගත හැක්කේ  පාන් ඔතන්නට පමණි. මන්ද ඔවුන් සිතන පරිදි අද බොලද වහලුන් අද එමට නැති නිසාය.  නයාගේ නැට්ටෙන් අල්ලගෙන සෙල්ලම්  පෙන්නුවද තව සුලු මොහොතකින් නයාගේ හිස තමා දෙසට හැරෙනු ඇත. එවිට කියන්න ඉතිරි වන්නේ "නයි කයිද රෝස් පාන්" කියාය.

15 comments:

  1. තිලකා රන්දෙනි- හුගක් මහන්සිවෙලා තියෙනවා. මහන්සියේ තරමටම ඵල තියෙනවා. කොච්චර රෑ වුණත් කියවලා කොමෙන්ටුවක් දාලාම යන්න හිතුණා. හරි ආඩම්බරයි මේ වගේ තරුණ අය හිදීම ගැන. ඔයත් උපන් බිමට ණය නැති පුතෙක්. thilakarandeni@yahoo.com www.thilakarandeni.lk

    ReplyDelete
    Replies
    1. I totally agree with Thilaka Randeniya

      Delete
    2. රත්මලානේ ධර්මායතනය ගැන කියලා වැඩක් නෑ . කිසිම ජාත්‍යන්තර පොතක්, ලංකාවේ පැරනිපොතක් කියවලා නෑ . පරණ පුස්කොල පොතක් ඇහැට දැකලා නෑ . ස්ල්ලිපියක් කියවලා නෑ . බොරුවට ඝෝෂා කරනවා.

      Delete
    3. රත්මලානේ ධර්මායතනය කරන්නේ හඳට ගල් ගහලා වැටුනා කියලා හිතලා ගොම ගොඩක් බෙදන් කනවා. එකයි

      Delete
    4. හිරන් උබ වැදූ මවටත්, උපන් බිමටත් ණය නැති නියම කොල්ලෙක් පුතා... උබ මේ ඉටු කරන්නේ ජාතික මෙහෙවරක්, මුළු මහත් ලෝකයටම ඉටුකරන යුග මෙහෙවරක්, කවදාක හරි උබේ නම ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි පුතා... උබට යෝධ බල යෝධ වීර්ය ලැබේවා... තෙරුවන් සරණයි...

      Delete
  2. නියම ලිපිය මල්ලි අපේ රටේ මිනිස්සුන්ට මොලයක් තියෙනවනම් පෑදෙන්න මේ ලිපියෙ කරුණු ඕනිවටත් වඩා තියෙනව. නමුත් ප්‍රශ්නෙ සාහිත්‍ය පදනම් කරගෙන අතිශයොක්ති සහ අද්භූත කරුණු සත්‍ය සිදුවීම් ලෙස ලෙස ඉගෙන ගැනීම නිසා ඒ මොළ බොහොමයක් අන්ධ භක්තියෙන් වැසී තිබීම.

    තවත් මෙවන් කාර්යයන් කිරීමට ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා තෙරුවන් සරණයි...!

    ReplyDelete
  3. For hottest news you have to pay a quick visit the web and on web I found this website as a best web page for most
    recent updates.

    Feel free to surf to my web-site :: owning a bloodhound

    ReplyDelete
  4. නියමයි.....මේ උදේ පාන්දර කියවන්න ලැබුණු හොඳම ලිපියක් ...මම ආසා කරන මාතෘකාවක්....! හොඳටම ලියල තියෙනවා කිසිම අඩුවක් නැතුව .......ජය වේවා...!

    ReplyDelete
  5. daruwane obala wani aya thama rata awshya

    ReplyDelete
  6. නියමයි කොල්ලෝ.....විකාර වලට කොමෙන්ටි දදා ඉන්න එවුන්ටත් ආදර්ශයක්......හොද අනාගතයක් තියනවා..දිගටම මෙහෙම ලිපි දාන්න...තෙරැවන් සරණයි මචං...

    ReplyDelete
  7. I wish you all the best dear................

    ReplyDelete
  8. පණ්ඩිත කේ.ජී.පී.ජයතිලකයන් සිය ආයුර්වේද විද්‍යාල ස්වර්ණ ජයන්තිය කියන පොතේ ශ්‍රී ලංකාවේ පුරාණ වෙදකම් ගැන කියන තැන නාග ගෝත්‍රිකයින් ගැන අපූරු සඳහනක් කරනවා. මේ ලියන්නේ මට මතක විදිහට නිසා වෙනස්කම් තිබෙන්න පුළුවන්. ඔහුට අනුව නාග ගෝත්‍රිකයින් යනු මොන්ගෝලීය සම්භවයක් තිබූ ජන කොට්ඨාසයක්. ඔවුනට නාගයින් යන නම වැටෙන්නට හේතු වූ කාරණා අතර නාගයින් සේ සමුද්‍රය හරහා සැම අතටම ගමන් කිරීමත්, වෙදකමක් ලෙස (නා දලයෙන්) විදීමත් (කටු වෙදකම ) තිබුනා. බොහෝ විට ජීවත්ව සිටියේ අද කොළඹ සිට මාතර දක්වා දිවෙන බටහිර මුහුදුබඩ තීරයේ මූලික වශයෙන්.ඉන්දියාවේ නාගාලන්ත ප්‍රදේශයට ඒ නම ලැබුනේ එහි නාග ගෝත්‍රිකයින් විසූ නිසා. අද වුනත් ඒ ප්‍රදෙශයේ ඉන්නා මිනිසුන්ගේ හැඩහුරුකම් දිහා මානව විද්‍යාත්මක සාධක ඔස්සේ බැලුවොත් මොන්ගෝලියානු ලක්ෂණ දැකිය හැකියි.මේ ගැන දවසක් මානව විද්‍යා පශ්චාත් උපාධියක් හදාරණ මගේ මිතුරෙකුට කිව්ව්වාම ඔහු කිව්වේ ඔහු දුටු එක් පර්යේෂණ පත්‍රිකාවක මාතර ප්‍රදේශයෙහි ඉන්නා ජනතාවගේ මොන්ගෝලියානු මානව විද්‍යාත්මක රූපලක්ෂණ ගැන කළ අධ්‍යයනයක් තිබුණු බව. ඔහු කියන්නේ එහෙනම් ඒවා එන්න ඇත්තේ නාග ගෝත්‍රිකයින්ගෙන් බවයි.

    ReplyDelete