Friday, February 8, 2013

හෙළ සසුන නැංවීමට කැපවුන බුරුම වැසියෝ


19 වන සියවස කාලයේ රුවන්වැලි සෑය දිස්වූයේ අද අපි දකින ආකාරයට නම් නොවේ. නගරය පමණක් නොව මුළු පලාතම ජනයාගෙන් හිස්වී වල්  වැවී වන සතුන්ගේ වාසස්ථානයක් විය. මෙම කාලයේදී මිනිසුන්ගේ නොපැමිණීම නිසා සෑය මත ගස් වැවී වන මැද පිහිටි පර්වතයක් ලෙස දිස් වීය.
                          

මෙසේ  පවතින කල නාරන්විට සුමනසාර තෙරුන් වහන්සේ එහි පැමිණ වනය මැද පිහිටි සෑය හෙළිකරන්නට පටන් ගත්හ. කි .ව. 1884 දී පමණ චෛත්‍ය බඳ වන්නට පටන් ගත්තේය. පටන්ගත් නමුත් උන්වහන්සේට එය අවසන් කරන්නට නුපුළුවන් වීය. උන් වහන්සේ විසින් වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලේ මහත් උත්සාහයෙන් බැඳ වූ ඒ බැම්ම දුර්වල වී 1912 දී බිඳ වැටුනේය. ඉන්පසු එම වසරේ ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි නෙල් පෙරේරා වෙද රාල හාමිගේ මුලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය නමින් සමාගමක් පිහිටුවා චෛත්‍ය බඳවන්නට පටන් ගන්න ලදී. දක්ෂ ඉංජිනේරු මහතුන්ගේ උපදේශ පරිදි ශක්තිමත් ලෙස චෛත්‍ය රාජයා බඳවන්නට පටන් ගත්  සමිතිය, බැඳීම අවසන් වන්නට ලංවූ කල එය මත පැළද වීමට ටොන් 6ක් පමණ බරැති ආදී සුවිස්සක් පමණ උස්වූ ලෝහමය කොතක්ද කරවීය. එහෙත් චෛත්‍ය මස්තකයෙහි පැළඳ විය යුතු චුඩා මානික්‍ය සම්බන්ධයෙන් දුෂ්කර තත්වයකට පත් විය. පුවත් පත් වල දැන්වීම් පල කිරීම් ආදියෙන් චුඩාමානික්යක් වර්ෂ ගණනක් මුළුල්ලේ සෙවූ නමුත් කොතනකින් වත් එයට සෑහෙන පළිඟුවක් නොලැබිණි. අවසානයේදී කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපති ගරු යු. විනයාලංකාර බුරුම නායක ස්වාමින්වහන්සේ ගේ උපකාරය සෙවුහ.බුරුම නායක මාහිමියන්වහන්සේ මේ කාලයේ අභිනව දළඳා මාලිගය කරවමින් මහනුවර වැඩ සිටියහ. රුවන්වැලි චෛත‍යවර්ධන සමිතියේ නිලධාරී පිරිසක් උන් වහන්සේ වෙත ගොස් මුහුණ පාන්නට සිදුවී දුෂ්කර තාවය උන් වහන්සේට දන්වා බුරුමයෙන් වත් චුඩා මානික්යක් සොයන්නට උත්සාහ කරන ලෙස ආරආධනා කළහ. චුඩා මානික්‍ය පිලිබඳ දුෂ්කරත්වය පහකර ලීමේ වටිනාකම දත් බුරුම ජාතික මාහිමිපාණන් තමන්වහන්සේ විසින් කරවමින් සිටින දළඳා මාලිගා කර්මාන්තයද රුවන් මැලි සෑය බැඳවීමට දෙවැනි නොවන තරමේ බරපතල දෙයක් වුවද එය වෙනත් බුරුම තෙරුන්වහන්සේ නමකට භාර කොට 1933 මයි මස 17 දින කොළඹ වරායෙන් නැව්  නැග චුඩා මානික්යක් සොයනු  සඳහා රැන්ගුන් නුවරට වැඩි සේක.

උන්වහන්සේ රැන්ගුන් නුවර දින කීපයක් නැවතී සම්මුඛ වන මහා තෙරුන්වහන්සේලාගෙන් හා රටතොට ගැන දන්නා මහතුන්ගෙන්ද චුඩාමානික්‍යට සරිලන පළිඟුවක් ගැන විමසු නමුත් එයින් පලක් නොවීය. ඉන්පසු උන්වහන්සේ අමරපුරය නම්වූ උඩබුරුමයෙහි මැනික් ගැන සුපතල මෝගොක් නගරයට වැඩියහ. ඒ නගරය වනාහි මැණික් ආකර හිමියන්ගෙද . මැණික් වෙළඳුන්ගෙද , මැණික් කර්මාන්තය කරන කරන ශිල්පීන්ගේද වාසස්ථානයකි. නායක හිමියන්වහන්සේ එහි වෙසෙන් මැණික් වෙළඳුන්ට හා මැණික් ආකාර හිමියන්ට තමන්වහන්සේ පැමිණි කාරණය දැන්වීය. ඔව්හු මේගැන මහත් සැලකිල්ලක් දක්වා උවමනා කරන පලිඟුවේ ගණන් මිනුම් ගෙන එතෙක් ලැබී තිබුණු පලිඟු ඉතා ඔනෑ කමින් පරීක්ෂා කළහ. චුඩා මානික්‍ය සඳහා සරිලන පළිඟුවක්  වෙළෙන්දෝ උන්වහන්සේට පරිත්‍යාග කළහ. එහි වටිනාකම එකල මුදලින් රුපියල් 6000කි. මෝගොක් ආකාර වලින් ලැබුණු පලිඟුව ලංකා පලිඟුවට වඩා බෙහෙවින් ආලෝකවත්ය. එබැවින් ඒවායේ වටිනා කමින් අධිකය. බුරුම නායක හිමිපාණන් 1938 අගෝස්තු මාසයේදී ඒ පලිඟුව ලංකාවට රැගෙන ආවේය. රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතියේ මහතුන් එම දුර්ලභ වස්තුව දැක බොහෝ සෙයින් සතුටු වී බුරුම හිමි පානන්ට අනේක ආකාරයෙන් ස්තුති කරමින් සතුටු වුහ.

ඉක්බිති රුවන්මැලි චෛතය සමිතියේ මහත්වරු ආකාරයෙන් ගොඩගත් පරිදිම ගෙන ආවාවූ එම පලිඟුව කැප්පවීමට ශිල්පයකු සෙවීය. කුඩා මැණික් ගල්මිස විශාල ගල් කැපිය හැකි යන්ත්‍රෝපකරණ සහිත කර්මාන්ත ශාලා ලංකාවේ නොමැති බැවින් එය කැපීය හැකි කෙනෙකු සොයා ගත නොහැකි විය.  එබැවින් දෙවන දුෂ්කර පැනයට සමිතියේ මහතුන්ට මුහු දෙන්නට වීය.  එය විසඳා ගැනීමට ඔව්හු පලිඟුව සැපයු බුරුම නායක මාහිමිපානන්ගේම උපකාරය සෙවුහ. බුරුම බෞද්ධයන් වෙනුවෙන් එය කපවා පරිත්‍යාග කරතහොත් පිළිගැනීමට සමිතිය සතුටු  බව බුරුම නායක හිමිපාණන්ට දන්වා චුඩා මානික්‍ය සැපයීමේ සම්පුර්ණ භාරය උන්වහන්සේටම පැවරූහ.  උන්වහන්සේ ඒ ආරාධනාව සතුටින් පිලිගෙන සමිතිය මගින් පිළියෙළ කරන ලද චුඩාමානික්යේ  සැලැස්ම සහ පලිඟුව රැගෙන නැවත බුරුමයට පැමිණ මෝගොක් නුවරටම ගොස් චුඩාමානිකය කැපීම සඳහා පලිඟුව ශිල්පීන් අතට පැමිණ වුහ.

චුඩාමානික්යයේ සැලැස්ම පරිදි පලිඟුව කපා ගෙනගිය නමුත් එක පසකින් පාඩුවක් සිටිය බැවින් එය නොගත හැකි විය. එයින් බලාපොරොත්තු සුන් විය. මාස ගණනක් මුළුල්ලේ රටින් රට ඇවිදිමින් කරන ලද ව්‍යාපාරය නිෂ්පල විය. කොතෙක් දුෂ්කරතා පැමිණියත් කරන්නට පටන්ගත් දෙය මුදුන් පත් වන තෙක් නොනවත්වන ස්වභාවය වූ වීර භාවය උත්පත්තියෙන්ම පිහිටි මහාපුරුෂයකු වූ බුරුම නායක මාහිමියන්වහන්සේ එපමණකින් නොපසු බැස නැවතත් පළිඟුවක් සොයන්නට වන්හ. විනයාලංකාර බුරුමනායක හිමිපාණන්ගේ පුණ්‍ය මහිමය නිසාදෝ පළමු පලිඟුවට ද වඩා ලොකු පළිඟුවක් පළමු පලිඟුව පරිත්‍යාග කල මහතුන්ටම ලැබී තිබුණි. ඔව්හු එයද නොමසුරුව ඒ නායක හිමිපාණන්ට පරිත්‍යාග කළහ. ඒ පලිඟුව රුපියල් අටදහසක් අගනේ විය. මොගාක් නුවර ආකාරවලින් ඉන් පෙර කිසිවකු විසින් එපමණ මහත් පළිඟුවක් ලබා නැත. මේ අවස්තාවේදී ම මෙබඳු චුඩාමානික්යට ප්‍රමාණවත්  පළිඟුවක් ලැබීම ආශ්චර්යකි. මේ ගැන තත් දන්නා සියලු දෙනාම පුදුමවුහ. දෙවනුව ලද ඒ පලිඟුවෙන් ඉන්ජිනේරුමහතුන් විසින් තැනු සැලැස්ම පරිදි චුඩාමානික්ය කපන ලදී. එහි උස අඟල් 18කි. වට පමාණය අඟල් 26කි. බර රාත්තල් 66කි.

පලිඟුව කපා අවසාන වූ කල්හි බුරුම නායක හිමිපානන් එය ස්වර්ණමය ආධාරකයක පිහිටුවා මුදුනෙහි ධාතු කරඬුවක් ද පිහිටුවා තවත් මානික්‍යන්ගෙන් සරසන්නට සිතා ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වීය. උන් වහන්සේගේ වචනය ඇසු බොහෝදෙනා ඒ සඳහා රන් රිදී මැණික් පරිත්‍යාග කරන්නටත් මුදල් වියදම් කිරීමටත් කැමැත්ත දැක්වුහ. එයින්  සතුටට පත් නායක හිමිපාණෝ එය කරවීමට මොගොක් නුවර ධනවත් බෞද්ධ මහතකුට පැවරූහ. ඒ මහතා කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබුනත් තමාගේම වියදමින් නායක මාහිමියන්වහන්සේගෙන් අවසර ලැබෙන සැටියට කරවා දෙමි'යි  ප්‍රතිඥා කොට කට යුත්ත භාර ගත්තේය. එම කටයුත්ත සිය ඇස් ඉදිරියේම පිරිසිදුව කරවන්නට කල්පනා කළාවූ ඒ මහතා ඒ සඳහා උවමනා සියලුම උපකරණ අලුතින්ම තම නිවසට රැස්‌ කරවා රන් කරුවන් හා මැණික් කපන්නන්ද සිය නිවසට ගෙන්වා ආරක්ෂා සහිතව එම කාර්ය කරවන්නට පටන් ගත්තේය. මේ බුරුමනායක මාහිමියන් වහන්සේ වනාහී සිතුවහොත් කොතරම් වියදම් වන දෙයක් උවත් ලෙහෙසියෙන් සිදු කල හැකි මහා පින් ඇත්තෙකි. එබැවින් කාර්ය ආරම්භ කරනු සමගම රන් රිදී සහ මැණික් උන්වහන්සේ වෙත ගලා එන්නට විය. රිදියෙන් වාත්තුකොට රත්රනින් සියල්ල වසා මැණික් ඇල්ලු අඩියක චුඩා මානික්‍ය සවිකොට මුදුනේ ස්වර්ණමය ධාතු කරඬුවක් පිහිටුවා මැණික් සැරසු ස්වර්ණමය කෝෂයකින් මුදුන වසා  සතර දිශාවට මැණික් වැල් සතරක් එල්ලා  නව මසකින් චුඩා මානික්‍ය කර්මාන්තය නිමවන ලදී.

චුඩා මානිකය පිහිටවූ අඩියේ උස අඟල් 13 කි.  බර රාත්තල් 156කි. එය වසා පෙරවීමටරත්තරන් රාත්තල් 12ක් ගන්නා ලදී. එහිඉතිරි රාත්තල් 144 රිදීය. මේ සඳහා ලැබුණු මැණික් ගල් 7684කි. ඒවා අතර රපියල් 15000ක් (එකල මිල) පමණ වටිනා ලෝහිතංක මානික්‍යක්ද වීය.ලැබුණු මැණික් ගල් අතර රුපියල් 5ක් නොවටිනා එකම ගලකදු නොවීය. මැණික් සියල්ලම චුඩා මානික්යට ඇල්ලවිය නොහැකි බැවින් තෝරාගත් වඩා වටිනා මැණික් 4350 කින් චුඩා මානික්‍ය අලංකාර කරන ලදී. ඒ මැණික් වලින් 15000 ක් අගනා ලෝහිතංක මැණික් සහිත අගනා ගල් 1144 කින් චුඩාමානික්යයේ මුදුන සරසා තිබේ. අඩිය සහිත චුඩාමානික්යයේ උස අඟල් 31කි.
 

චුඩා මානිකයයේ මුදුනෙහි පිහිටවන ස්වර්ණමය කරඬුවෙහි වඩා හිඳවනු සඳහා බුරුම නායක මාහිමියන් විසින් ඒ ඒ තැනින් සපයා ගත් ධාතුන්වහන්සේලා 9 නමක් වීදුරු කුප්පියක තැන්පත් කර තිබුනෝය. චුඩා මානික්‍ය මුදුනෙහි ධාතු කරඬුව තැන්පත් කරන්නට බලාපොරොත්තු වූ දිනයෙහි නායක මාහිමිපානන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය වැඩ කරන තැනට ගෙනගිය මුත් කරඬුව සවි කිරීම එදින අවසන් කිරීමට නුපුළුවන් වුයෙන් ධාතුන් වහන්සේලා වැඩ සිටින කුප්පිය එහිම එහිම සුදුසු තැනක තබා වැඩියහ. පසුදින උන්වහන්සේ එහි වැඩ කරඬුවෙහි තැන්පත් කරනු පිණිස ධාතුන් වහන්සේලා ගන්නට බැලු කල්හි කුප්පිය පුරා ධාතුන්වහන්සේලා වැඩ සිටින බව දුටහ. ඒ කාරණයෙන් එහි උන් සැම දෙනම පුදුම වුහ. ඒ ආශ්චර්ය දැක සැම දෙනාම සතුටින් පිනා ගියහ. ඉක්බිති කුප්පියෙහි වැඩහුන් ධාතුන්වහන්සේලා ඉන් පිටතට වැඩමවා ගැන බලු කල්හි ධාතුන්වහන්සේලා 98ක් දක්නා ලදහ.ඉක්බිති බුද්ධා ලම්බන ප්‍රීතියෙන් පින පිනා එහි වුවන් සාධු නාද පවත්වද්දී නායක මාහිමියන් වහන්සේ චුඩා මානික්‍ය මුදුනෙහි වූ කරඬුවෙහි ඒ ධාතුන්වහන්සේලා 98 නම වඩා හිඳවුහ.
 

ඉක්බිති චුඩා මානිකය ලක්දිවට පමුණුවනු සඳහා මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත් වූ උත්සව ශ්‍රී යෙන් බුරුමයේ රැන්ගුන් නගරයට පමුනවනු ලැබීය. රැන්ගුන් නගරයට ගෙනයන චුඩා මානිකය දර්ශනය සඳහා දුම්රිය නවත්වන සෑම ස්ථානයකම දහස් ගණන් ජනයා රැස්ව උන්හ. රැන්ගුන් නුවරදී එය ශ්වේද ගොන් චෛත්‍යයේ භාරකාර මහත්මෝ දුම්රිය ස්ථානයට පැමිණ මහත් ආදරයෙන් මහත් වූ උත්සවයෙන් පිලිගත්තෝය. ඒ පිළිගැනීමේ උත්සවයට සහභාගී වනු සඳහා රැන්ගුන් නුවර නායක තෙරුන්වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුන්වහන්සේලාගෙන්ද,රජයේ ඇමතිවරුන් සහ උසස් නිලධාරීන්ගෙන්ද, නොයෙක් සමිති වෙනුවෙන් පැමිණි සිටි නියෝජිතයන්ගෙන්ද, ජන ප්‍රධානයන්ගෙන් හා මහා ධනවතුන් ගෙන්ද යුක්තවූ ලක්ෂයකට අධික ජනකායෙක් පැමිණියෝය.
දුම්රියපළේ සිට විශේෂයෙන් පිලියල කරන ලද රථයක තබා චුඩා මානිකය ලක්ෂයක් පමණ ජනයාගෙන් යුක්තවූ මහ පෙරහැරකින් රැන්ගුන් නුවර ශ්වේද ගොන් චෛතයස්ථානයට පමුණුවා එහිදී මහා ජනයාට ප්‍රදර්ශනය කරන ලද්දේය. මේ උත්තම වස්තුව ලක්දිවට පැමිණ විය යුතු කාලය පැමිණෙන තුරු ශ්වේද ගොන් චෛත්‍ය රාජයාගේ භාර කාර මහතුන් විසින් චෛත්‍යරාජයා සමීපයෙහි වූ විශේෂ මන්දිරයක තැන්පත්කොට ආරක්ෂාකර සුදුසු කාලය පැමිණි කල්හි ලක්දිවට යැවීම පිණිස බුරුමයේ ආණ්ඩුකාර තුමාට භාර කිරීමටද එතුමා විසින් එය රාජකීය භාණ්ඩයක් වශයෙන් ලංකා ආණ්ඩුකාරතුමා වෙත එවීමටද ලංකා ආණ්ඩුකාරතුමා විසින් මහ ඇමතිතුමාගේ මාර්ගයෙන් රුවන්මැලි චෛතය රාජයා මත පැළඳවීම සඳහා චෛත්‍ය වර්ධන සමිතියට භාර කිරීමට නියම කර ගන්නාලදී. මෙසේ ආශ්චර්ය ලෙස ලැබී සැපයුණ මේ අනර්ග වස්තුව රුවන්මැලි සෑය චෛත්‍ය වර්ධන සමිතියේ ආරාධනාවේන් බුරුම ජාතික විනයා ලංකාර හිමි පානන් විසින්ම රුවන්මැලි සෑයේ පළඳවන ලදී.

මේ බුරුම හිමිපාණන්ගේ බාල කල එකට ඉගෙන ගත් මිතුරෙකු වූ යු. තාඩෙක් නමැති ධනවත් මහතෙක් වන්දනාව පිණිස ලංකාවට පැමිණියේය. දාථා ධාතු වන්දනාව සඳහා මහනුවර දළඳා මාලිගයට ගියාවූ එතුමාට බුද්ධාලම්බන ප්‍රීතිය වෙනුවට ඇතිවුයේ  මහා සංවේගයකි. පුජනීයාති පුජනීය වූ ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ මේ ධාතුන්වහන්සේට වර්ෂ සියගනනකින් පෙර කල දිරූ කුඩා ගොඩනැගිල්ලක අදත් වැඩ සිටින්නට සිදුවී ඇත්තේ මේ දිවයිනෙහි බෞද්ධ රජකෙනකු නැති බැවින්ය.ඉදින් අද මේ දිවයිනෙහි බෞද්ධ රජතුමකු ඇති නම් ඇතිනම් කාලානු රූප නොවූ මේ කුඩා ගොඩනැගිල්ලේ දළඳා ස්වාමින්වහන්සේ නොවඩා හින්දුවන්නේයැයි සිතු එතුමා මහත් සංවේගයෙන් දළඳා හිමියන් වහන්සේ වැඳ විනයාලංකාර බුරුමනායක හිමියන් වෙත පැමිණ තමාට පහලවූ සංවේග ප්‍රකාශ කොට එතුමාට අවකාශ දෙතොත් දළඳා ස්වාමින්වහන්සේ වඩා හිඳවීම පිණිස කාලානුරුප අභිනව මාලිගයක් එතුමාගේ වියදමින්ම කරවන්නට කැමති බව හා දියවඩන නිලමේතුමා විසින් කරවනු ලැබේනම් ඒ සඳහා විශාල පරිත්‍යාගයක් කරනු කැමති බවද සැලකොට අභිනව මාලිගයක් කරවීමට නිලමේ තුමා උත්සාහවත් කරවන ලෙස උන්වහන්සේට ආරාධනා කළේය. එතුමා කිවූ කරුණු අසා උන් වහන්සේද සංවේගයට පැමිණ එවකට දළඳා මාලිගාව භාරව සිටි පී.බී. නුගවෙල දියවඩන නිලමේතුමා වෙත ගොස් කරුණු පහදා දී එතුමා අභිනව දළඳා මාලිගයක් කරවීමේ උත්සාහවත් කරවුහ. ඉන්පසු දියවඩන නිලමේතුමාද ඒ ගැන කල්පනාකොට පුරාන දළඳා මාලිගය මැදි කොට විසිලක්ෂයකින් පමණ නිම කලයුතු අභිනව මහා දළඳා මාලිගයක් කරවන්නට 1927 පමණේදී ආරම්භ කළේය. එයට මුල් ගල තිබීම සඳහා තාඩක්  මහතාද පැමිණ එතුමා එදිනම රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළේය. පසුවද එතුමා ඒ සඳහා වරින්වර ලක්ෂ එකහමාරක් පමණ පරිත්‍යාග කළේය.බුරුම නායක නාහිමියන්වහන්සේගේ අනුශාසනය  පරිදි තවත් බොහෝ බුරුම බෞද්ධයෝ ඒ සඳහා මුදල් පරිත්‍යාග කළහ. දියවඩනේ නිලමේතුමා 1936 දක්වා එම කාරය කර වුයේය.  ඒ වර්ෂය වන විට ඒ සඳහා ලැබී තිබුණු උපකාර මුදල්ද අවසන් විය.

ඉදිරියටද රුපියල් ලක්ෂ ගණනක් වියදම්කොට අවුරුදු ගණනක් මුළුල්ලේ කරවන්නට තිබෙන මේ කාර්යයෙහි යෙදීමට එතුමාට අවකාශ නැති විය. එබැවින් එතුමා ඒ කාර්ය මුල පටන් උපකාර කලා වූ යු. විනයාලංකාර බුරුම නායක මාහිමියන්ටම ඉදිරියට කරන්නට තිබෙන කොටස සම්පුර්ණ කිරීමේ භාරය පවරන්නට සිතා දළඳා මාලිගාවේ නායක ස්වාමීන්වහන්සේලා සමගද සාකච්චා කොට 1936 දී එසේ කළේය. මේ කටයුත්ත සඳහා තඩක් මහතාද  මසක් පාසා වියදම් එවනු ලැබුවේය. ඔහුට අමතරව අනෙක් බුරුම බෞද්ධයන්ද ඒ සඳාහා බොහෝසෙයින් දායක වී තිබේ. ශ්‍රී දළඳා වහන්සේ තැන්පත්කිරීමට සුදුසු මන්දිරයක්සේ මහනුවර නගරයේ උසම ගොඩනැගිල්ල ලෙස මෙය නිර්මාණය කිරීමට විනයාලංකාර නාහිමියන් සැලසුම් කර තිබුනත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් විරෝධය පලකිරීම නිසා අභිනව මන්දිරය දැන් පවත්නා තත්වයෙන් නිමකර ඇත්තේය.

උපුටා ගැනීම රේරුකානේ චන්දවිමල හිමිපාණන්ගේ සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති නම් පොත ඇසුරිනි.

මතු දිනක රුවන් මැලිසෑය, දළඳා වහන්සේ වැඳුම් පුදන්නට ගිය විටක ඒවා අද ඇති තත්වයට නංවනු පිණිස දායකවූ බුරුම ජාතික විනයාලන්කාර මා හිමිපාණන් ඇතුළු එයට දායක වූ බුරුම වැසියන්ද සිහිපත් කරන්න.
 

මෙම ලිපි කියවා යෑමේදී පැහැදිලිවුන දෙයක් නම් සත්‍ය ධාතුන්වහන්සේලා නම් රෙජිස්ටර් තැපෑලෙන් යවන හෝ කෞතුකාගාරවල තැන්පත් කරන දේවල් නොව සත්‍ය ධාතුන්වහන්සේලා වැඳුම් පිදුම් කරන ස්ථාන වලට වඩින බවය. එමෙන්ම අපට අද මහා ලොකුවට මානව අයිතිවාසකම් උගන්වන්නට ලැහැස්ති වන සුද්දෝ අඩුම තරමේ බෞද්ධ සිද්ධස්ථානයක් වත් උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකරන්නට නොදුන් බවය.


(සටහන සුභාෂිනී කුමාරි)



4 comments:

  1. Hi there, yes this article is actually nice and I have learned lot of things
    from it concerning blogging. thanks.

    Feel free to visit my page: forex trading news

    ReplyDelete
  2. එම චුඩාමානික්්‍ය දැක ගැනිමට http://www.youtube.com/watch?v=c14hOZA_cmA

    ReplyDelete