Saturday, January 26, 2013

යකුන් හෙලිකල බුදුන්ගේ උරුමය

යක්කු එසෙත් නැතිනම් යක්ක ගෝත්‍රය වනාහි මෙරට තිබූ හා පවතින ප්‍රධානාතම මෙන්ම වැදගත්ම ගෝත්‍රය විය.ක්‍රි.පූ. 6වන සියවස වන විට ඔවුන් තමන්ගේ පාලන ප්‍රදේශය හෙල දීපයේ උතුරු ප්‍රදේශයේ ව්‍යාප්ත කරගෙන පැවතුනි. දියුණු ධ්‍යාන ක්‍රම, යකඩ තාක්ශණය, අහස් යානා තාක්ශණය, අභ්‍යවකාශ තරණය අතින් කෙල පැමිණි ඔවුන්ගේ ඉතිහාසය සදහන් ග්‍රන්ථයක් ලෙස "වර්ගපූර්ණිකාව" පුස්කොල පොත හැදින්විය හැක.එම ග්‍රන්ථයේ සමස්ත දිවයිනේම ඉතිහාසය ඇතුලත් නොවූනත් යක්ක පාලන ප්‍රදේශය පිලිබදව හා වෙනත් වැදගත් සිදුවීම් වල ඉතිහාසගත සිදුවීම් සදහන් වේ. එම පුස්කොල ග්‍රන්ථය අප සතුව නැති වුවත් එය හිමි ස්වාමීන්වහන්සේ නමක් වන මානෑවේ හිමියන් විසින් එම වර්ගපූර්ණිකාව පරිවර්තනය කර සකස් කල ග්‍රන්ථ අප සතුව ඇත. ඉතා පරිස්සමෙන් හා විමසීමෙන් එම ග්‍රන්ථ පරික්ශාකරමින් මේ හෙලිකරන්නට යන්නේ යක්ක ගෝත්‍රිකයන්ගේ ඉතිහාසයනම් නොව ඔවුන් විසින් බුදුන්වහන්සේගේ උරුමය පිලිබද සදහන් කල තොරතුරු වලින් කිපයකි.

යක්ක ගෝත්‍රික ජනයා එදා සිදුහතුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ජය සිරි මහ බෝධීන්වහන්සේ පිලිබද දැන සිටි බවට අපට සාධක හමුවේ. එම ප්‍රදේශ ඔවුන් හදුන්වා ඇත්තේ "ජය සිරි මහ බෝ පුරය" යන නමිනි. ජය සිරිමහ බෝධීන්වහන්සේ ලෙස හදුන්වන වෙනත් බෝධීන්වහන්සේලා නැත. එසේ හදුන්වන්නේනම් හදුන්වන්නේ අනුරාධපුරයේ පිහිටි බෝධි ශාඛාවයි. එනමුදු මෙහි සදහන් විස්තරය අනුව පැහැදිලි වන්නේ එසේ හදුන්වන්නේ අනුරාධපුරයේ බෝධීන්වහන්සේ නොවන බවය.


"ජය සිරිමහ බෝපුර රන්ගිරි දඹුලු දේශය,ලලාට දේශය,දෙවනත් කැර දෙමළ රුපුන් ආයේ හිස්නා වැදගත,මහානාම රජු බිසෝවර හා පිරිවර නීලගිරි ග්‍රාමය හැරපී ඊ කල වියෝතයෙන් ඒ පරලෝක ප්‍රාප්ත වැදගත...."(ය.ගො.අ.තො. 52පිට)

 එදා හෙලදිව ජනයා පූජනීය ලෙස සැලකූ ජය සිරි මහ බෝධීන්වහන්සේගේ ආරක්ශාව පතා තවත් ආකෘතිමක් ඒ ආසන්න ප්‍රදේශයක ඉදිකලහ. එය නිල්ලග්ගල බෝධිඝරය නම් විය. මෙරටට පැමිණි ආක්‍රමණිකයන් එම නිල්ලග්ගල බෝධිඝරය විනාශ කල බව අපට ඉතිහාසයෙන් වාර්ථාවේ. ආක්‍රමණිකයන් රටකට ආ පසු විනාශ කරන්නේ වටිනා දේය. ජය සිරි මහ බෝධීන්වහන්සේ වැඩ සිටි ප්‍රදේශ ආක්‍රමණය කිරීමට පැමිණි ද්‍රවිඩ ආක්‍රමණයන් ගැන සදහන් වන්නේ මෙසේය.
"මහානාම රජුගේ මරණයත් සමග ඇති වූ නොසන්සුන් තත්වයත් සමග සතුරන්ගේ පීඩනය ද තදින්ම රට වැසියාට දැනෙන්නට විය.මේ වන විටත් පර සතුරෝ ඉතාමත් බලසම්පන්නව ශ්‍රී මහා බෝ පුරය ආක්‍රමණය කොට දඹුලු දේශය කරා ලගා වෙමින් සිටියහ."

"කුසතුල දරුවෙකු තබාගෙන සතුරන් හා සටන් නොකරන්න. රටේ වටිනාම පූජනීය ස්ථාන බිමට සමතලා වනු නිසැකය."
(36,38 පි‍ටු*)

එදා ජනයාගේ නොමද වන්දනයට මෙම බුදුන්වහන්සේගේ පූජනීය වස්තුව වන ජය සිරි මහ බෝධීන්වහන්සේ පිලිබද ඔවුන් දැන සිටින්නට ඇත. ඒ නිසා එය විනාශ කිරීමට පැමිණි ඇත. එහෙත් කිසියම් හෝ හේතුවක් නිසා ඔවුන් නිල්ලග්ගල බෝධීන්වහන්සේ විනාස කර දමා ගොස් ඇත. පූජනීය වූත් පාරිශුද්ධ වූත් හිරිවඩුන්නේ ජය සිරි මහ බෝධීන්වහන්සේ සතුරන්ගෙන් ආරක්ශා වූයේ එලෙසය.එසේනම් හිරිවඩුන්නේ ජයසිරි මහ බෝධීන්වහන්සේ හෙලදිව ජනයා පමණක් නොව ඉන්දියාවේ ආක්‍රමණිකයන්ද දැන සිට ඇති බව මේ අනුව පෙනි යයි.

වර්ගපූර්ණිකාව හෙලිකරන තවත් පූජනීය පුද බිම් දෙකක් ලෙස මක්කම හා සච්චබද්දගිර හැදින්විය හැක. මේ ස්ථාන දෙකම බුදුන්වහන්සේගේ සිරි පතුල් තැන්පත් කල ස්ථානයන්ය. පලමුව මක්කම පිලිබද අවධානය යොමු කල හොත්, එදා මක්කම පිහිටා තිබී ඇත්තේ හෙලදිව මුහුද ආසන්නයේය. ඒ පිලිබව සදහන් වන්නේ මෙසේය.

"ලලාට දේශය යනු පුත්තලම් හලාවත දක්වා මුහුදු බව ප්‍රදේශයයි. බුදුන්වහන්සේ මිණිමිහි දේශයට ශ්‍රී පාදය තබන විට උන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් එය වැල්ලේ එරී ගියේය. එම ස්ථානයේ එදා හැදින්වූයේ මක්කම නමිනි. මේ පූජනීය ස්ථානය එදා බෞද්ධයාගේ ගෞරවයට පාත්‍ර විය.වැල්ලේ නලල තබා නව වැදුම් ක්‍රමයට ශ්‍රී පාදය වන්දනා කරන බැවින් මේ ප්‍රදේශය ලලාව දේශය නමින් හදුන්වන්නට ඇත"(26 පිට*)

මෙම මක්කම හෙවත් මක්කමාම වෙලදුන් පොදි ලෙහන ස්ථානයක් වූ අතර, පූජනීය සිරි පතුල පසුකලෙක නැව් ගමනා ගමනයේ යෙදුනු බොහෝ නාවිකයන්ගේ වන්දනාවට පාත්‍ර වී ඇත. ඒ අතර අරාබි වෙලදුන්ද විය. මුස්ලිම් ජාතිකයන් විසින් නලල බිම තබා වදින වැදුම් ක්‍රමය පුරුදු වූයේ එසේ වෙලදාමේ හෙලදිවට පැමිණි අරාබි වෙලදුන් හරහාය. අද මුස්ලිම් ජාතිකයන් නලල බිම තබා දෙවියන් වදින වන්දනා ක්‍රමයේ මුල් අයිතිකරුවන් වූයේ හෙලදිව සිටි මුතුන් මිත්තන්ය. ඔවුන්ගේ වන්දනා ක්‍රමයේ ආරම්භය එයයි.

අනිත් පූජනීය සිරිපතුල පිහිටා ඇත්තේ සච්ච බද්ද ගිරියේය. ඒ පිලිබද සදහන් වන්නේ මෙසේය.
 

"නීලගිරියට(මානෑ කන්ද) ආසන්නව පිහිටි රකුන්ගිර හෙවත් සත්නානාගිරට බුදුන්වහන්සේ වැඩම කලහ. රකුන් ගිර හෙවත් රිටිගල දී යක්ෂ ගෝත්‍රික නායකයෙකු වන ගිරිභද්‍රයාණන්ගේ මානය බිදීම උදෙසා යමා මහා පෙළහර දැක්වූහ. කවිලාශ අග්නිපාල රහත් මෙහෙණිය විසින් පසු දිනෙක තම දියණිය වන මහාපාලි කුමරියට(කුවේණි) දේශනා කරන ලද දෙවැනි විෂකුම්භණ සූත්‍රයේ බුදුන්වහන්සේ රිටිගලදී යමාමහ පෙළහර පෑ බව සදහන්ය වෙයි.

දිටිමි මහා සිරි මංගල්‍ය අඩයාලම ඇත්තා වූ ශාක්‍ය මුණි සිරිපද පද්ම රකුන් ගිර මේඝතල පුරා වැඩහිද සිරිපාවෙන් අග්නිමේඝ පතිහර පෑයේ මුනි සිරිපා තඹරයෙන් විෂ කුම්භණ මුල දමාරයව් භවදුල් නැසීමේ දසබල ඇත්තා වූ බැව් දිටිමි.

යමා මහ පෙලහර පෑ බුදුන්වහන්සේ යක්ෂ ගෝත්‍රිකයන්ට වැදුම් පිදුම් කිරීම උදෙසා රිටිගල සිරිපාද පද්මය පිහි‍ටුවා වදාලහ. සත්නානාගිර හෙවත් රකුන්ගිර (රිටිගල) සච්චබද්ද ගිරිය ලෙස වරදවාගෙන එක භාරත දේශයේ පිහිටි කන්දක් යැයි සලකා මේ වටිනා ස්ථානයට අඩු සැලකිල්ලක් ලබා දී ඇත" (17 පිට*)

එසේනම් බුදුන්වහන්සේගේ තවත් සිරිපතුලක් පිහිටි තැනක් සොයාගත හැක. මෙහිදී නූතන ප්‍රදේශය ලෙස රිටිගල යන්න දක්වා ඇති නිසා ජේතවනාරාමයේ පිහිටීම හා ගැටලුවක් ඇති වීමට ඉඩ ඇත. එනමුදු එය ගැටලුවක් ඇති කරගැනීමට දෙයක් නොවන්නේ,යක්ක හා දේව  පාලන සීමාව අසල පිහිටි එදා රකුන්ගිර ප්‍රදේශය හා අද රිටිගල ප්‍රදේශය උන්වහන්සේ දක්වා ඇත්තේ උන්වහන්සේගේ සාධක හා පදනම් මත නිසාය. අද සච්චබද්දගිර හා ජේත්වනාරාමය හැදින්වීමට රිටිගල නම භාවිතා කලද එදා එම ප්‍රදේශ වෙන් වෙන්ව පිහිටන්න ඇත.

තවත් වැදගත් දෙයක් ලෙස මෙම සච්චබ්ද්ද ගිරදී සිදුවූ යමා මහ පෙලහර විස්තරය හා ත්‍රිපිටකයේ සදහන් සච්චක දමනය විස්තරය එකිනෙක විමසා බැලිය යුතුය. එනම් මේ ග්‍රන්ථ දෙකෙන්ම විස්තර වන්නේ එකම සිදුවීමක් පිලිබද වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සිතිය හැක. එනමුදු පරස්පර තැන්ද තිබේ.(කූරගල ප්‍රදේශයේදී සච්චක දමනය සිදු වූ බවටද සාධකද හමුවෙමින් පවතී. තවත් විමසිය යුත්තකි.)

කෙසේ වෙතත් "යන්නම්ම දාය නදියා........" ගාථාවේ සදහන් වන බුදුන්වහන්සේ සිරිපතුල් දෙකක් පිහිටි ස්ථාන පිලිබද උරුමය අපට හදුනා ගැනීමට හැක.

වර්ගපූර්ණිකාව හෙලිකරන තවත් ඉතිහාසකතාවක් ලෙස මෙහෙණි සස්න හැදින්විය හැක. හෙලදිව යක්ක ගෝත්‍රික උපාසිකාවන් මහණ කිරීම සදහා මූලික වී ක්‍රියා කර ඇත්තේ මෙහෙණි ආරාම කන්දේ වැඩ සිටි භද්දකච්චායනා අරහත් තෙරණියයි. ඒ බව සදහන් වන්නේ මෙසේය.

"කවිලාශ අග්නිපාලි දේවිය පැවිදි භූමියට පත් වූයේ යශෝදරා මෙහෙණිය අතිනි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයත් සමග නීලගිරියේ දැල්ව තිබුණ සුවක් ජෙත පහන නිවා දමා මහාපාලිය ද(කුවේණි) පැවිදි භූමියට පත්වූවාය. කවිලාශ අග්නිපාලි මෙහෙණිය විසින් ආරම්භ කරන ලද යශෝදරා මෙහෙණවර මහාපාලි මෙහෙණිය විසින් වැඩි දියුණු භාවයට පත් කළාය. පසුව එය මහාපාලි මෙහෙණවර නමින් ප්‍රසිද්ධ විය. කවිලාශ අග්නිපාලි මෙහෙණිය වැඩ විසූ මෙහෙණවර,මුක්තලතා හෙවත් රත්නාවලී මෙහෙණවර නමින් ප්‍රසිද්ධ විය. දු‍ටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ස්ථානපනය කොට ඇත්තේ පළමු මෙහෙණි ආරාමය පිහිටි ස්ථානයේය."  (25 පිට*)
 

යක්ක ගෝත්‍රික උපාසිකාවන් පැවිදි වී ඇත්තේ භද්දකච්චායනා කුමරිය අතින් යැයි අපිට ඉතිහාසය පවසන තතු අනුව ඉතාමත් පැහැදිලිවන කරුණවන්නේ එතුමිය මේ හෙලදිව වැඩ සිටි බවයි. ඒ අනුව බුදුන්ගේ උරුමය මේ දෙරණේ යන්න මනාවට සනාථ වේ.

එසේම දු‍ටුගැමුණු රජතුමාගේ වකවානුත් මේ සමගම අපට පැහැදිලි කරගත හැක. දැනට කරන ලද නිගමන අනුව බුදුන්වහන්සේ පිරිනිවන් පා ඇත්තේ ගැමුණු කුමාරයා තරුණ කාලයේදීය. රුවන්වැලිසෑයේ ඉදිකිරීමේ විස්තරය හා සසදා බලන විට එය තවදුරටත් සනාථ වන බව පෙනී යයි. ජනප්‍රවාදයේ එන රුවන්වැලිසෑයේ විස්තරය හා බලන කල මේ ඉතිහාස කතාවේ ගැලපීමක් පෙනී යයි. කාලයත් සමග ජනප්‍රවාද වෙනස්කම් වලට භාජනය වුවත් සෑබෑ සිදුවීම මෙය බව පෙනීයන්නකි. මේ ග්‍රන්ථය රචිත කතෘ හිමියන් "පලමු මෙහෙණි ආරාමය" ලෙස හදුන්වා ඇත්තේ යක්ක හෙලයේ ඉදිවූ පලමු ආරාමය පිලිබදවය. මන්ද දේව හෙලයේ ඒ වන විට මෙහෙණි සස්න ආරම්භවූයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුලු පිරිසගෙනි.

මෙහෙණි සස්න පිලිබද තවත් විස්තරයකට අනුව මුගලන් හිමියන්ගේ ගිහි කල මව පැවිදි වී සිටි බවට සාධක හමුවේ. එම ඉතිහාස කතාව ශිලා ලේඛන අනුව මනාවට තහවුරු වන අතර වර්ගපූර්ණිකාව දක්වා ඇත්තේ මෙලෙසය.
 

"ශ්‍රී ලාංකික මෙහෙණි සස්න (රාහුල් මාතෘන) යශෝදරා මෙහෙණියන් වහන්සේගේ නමින් හදුන්වා ඇත්තේ ඇයට කරන ගෞරවයක් ලෙසිනි. එදා මහාපාලි මෙහෙණවරට අමතරව දියුණු මෙහෙණි ආරාම කීපයක් පැවතිනි. සංඝිකා පාලි මෙහෙණවර මෙහි විශේෂත්වයක් ගනී. මුගලන් රහතන් වහන්සේගේ මෑණියන්ද(මගලිය) මෙහි පැවිදි වි වැඩ සිටිය බවට මතයක් පවතී"(19පිට*)

කතෘ හිමියන් ශ්‍රී ලාංකික මෙහෙණි සස්න ලෙස හදුන්වා ඇත්තේ යක්ක පාලන ප්‍රදේශය පිලිබදවද යන්න  විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් මුගලන් මහ අරහතුන්වහන්සේ වැඩ සිටියේ ඉන්දියාවේනම් උන්වහන්සේගේ මව් තොමෝ හෙලදිව ජීවත් විය නොහැක. මේ අනුව මුගලන් අරහතුන්වහන්සේගේ චරිතය හෙලදිවට උරුම වූවක් බව මනාවට පෙනී යයි. 

ගෝතම බුදුන්වහන්සේ පහල වීමට ප්‍රථම සිට දඹදිව සතර පොහෝ දිනට සිල් සමාදන් වීමේ චාරිත්‍රය තිබූ බව අපට ත්‍රිපිටක ඇසුරුන් සොයා ගත හැක. බුදුන්වහන්සේ පහල වූ පසු එම චාරිත්‍රය අනුමත කල එකක් විය. සතර පොහොයට සිල් සමාදන් වීමේ චාරිත්‍රය හෙලදිවට පමණක් ආවේණික වූ හෙලදිව සිටි සෘෂිවරුන් විසින් නිර්මාණය කරල ලද්දක් බවට සාධක අපට වර්ගපූර්ණිකාව ඇසුරින් සොයාගත හැක.(56 පිට*)

අතීතයේ හෙලදිව සිටි සෘෂිවරුන්, සදෙහි ඇතුලු ග්‍රහයන්ගේ හැසිරීම් රටා නිසා මිනිසාට බලපෑම් සිදුවන බව සොයාගත්හ. ඒවායින් මිදීම සදහා ඔවුන් නියම කල ප්‍රතිකර්ම සතර අත්‍රින් "කදොල" ලෙස නම් කර ඇත්තේ ග්‍රහයන්ගේ බලපෑම් පදනම් කරගෙන එයින් මිදීම සදහා සිදුකරන ලද සතර පෝයට බ්‍රහ්මචාරීව විසීමේ චාරිත්‍ර විදි ක්‍රමයයි. එම චාරිත්‍රය නොකඩවා තවමත් පවතින්නේ මේ හෙලදිව බව සැවොම දන්නා කරුණකි. ජාතක කථාවල මෙන්ම ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල මෙම සිල් සමාදන් වීම දක්වා ඇති ආකාරයෙන් හැගී යන්නේ තවදුරටත් බුදුන්ගේ උරුමය හෙලදිව බව සනාථ වේය යන්නයි.
 
එදා ජම්බුද්වීපයේ මිනිසුන් ආහාරයට ගත්තේ පරාට, ලඩ්ඩු,‍ තෝසේ, චපාටි නොව බත්ය. එසේම ඔවුන් පොහොය දින පෙහෙවස් සමාදන් වූවෝය. මේ ජාතක කතාවෙන් පෙන්වන්නේ ඒ හෙලදිවට වූ අන්‍යතාවයයි.

සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවල භාෂා විලාසය රවිශෛලාශ භාෂාවට සමාන වීම, හබරණ ප්‍රදේශයේ රත්නපාලි බිසවට උපන් උපන් කුමරෙකුට සුබෝධි නාමය යෙදීම,විෂකුම්භණ සූත්‍ර දේශනාව හා අභිධර්ම දේශනාව, සාරිපුත්‍ර හා මොග්ගල්ලාන යන නම් වල අර්ථ හෙලදිවට මනාවට ගැලපීම (මීට පෙර ලිපියක දක්වා ඇත) ආදී තවත් බොහෝ යකුන් පැවසූ ඉතිහාසකතාවලින් අපට එලඹිය හැකි පැහැදිලි නිගමනය නම් එක්කෙනෙක් දෙන්නෙක් පමණක් නොව මුලු මහත් බුද්ධ චරිතයේ සදහන් සියලු පුද්ගලයන් හා සියලු සිදුවීම් මේ හෙලදිවට වූ උරුමයන් ව තවදුරටත් මනාවට තහවුරු වන බවයි.


(කතෘ හිමිගේ පෞද්ගලික අදහස්ද පරිවර්ථනයේදී මිශ්‍ර වී ඇති බව පෙනේ. විමසා බලන්න.)
*රවි ශෛලාශ වංශ කථාව ග්‍රන්ථය.

2 comments:

  1. ඔබගේ උත්සාහය බොහෝ අගේ කරමි ..නමුත් තමන් නොදැක්ක පොතක් මුලාශ්‍ර කරගෙන යමක් විශ්වාස කිරීම අතිශයින් භයානකය ,මානෑවේ හිමියන් කියන මේ වර්ගපුර්නිකාව සහ යක්ෂ ගෝත්‍රික කතා මාද අසා ඇත ...සරලව කියනවානම් මේ මානැවේ හිමියන් කියන කතාව අමු බොරුවක්ය ..ඔබ යන්නේ හරි පාරේය වැරදි පාරවල් වල වැටෙන්න එපා ...යක්කු හිටියා තමා උන් බෞද්ධයොත් තමා නමුත් මේවා බොරුය

    ReplyDelete
  2. තවදුරටත් ගැඹුරින් විමසා බැලීම වටී

    ReplyDelete