Wednesday, December 5, 2012

අනුපුබ්බංගම නිවන් මඟෙහි ඉදිරි පියවරයන්


සබ්බාසව සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි මෙම නිවන් මාර්ගය අනුපුබ්බංගම නිවන් මාර්ගයකි. එහි පළමුවන පියවර පළමුකොටම තේරුම් නොගෙන දෙවන හෝ තුන්වන පියවරකින් පටන් ගැනීමෙන් නිවන් මඟ පූර්ණ කරගත නොහැකිය. සෝතාපන්න මඟ ඵලයට  පත්වීම  සඳහා  මිනිසෙකුට  උපකාර  වන  දස්සනේන  පහාතබ්බා  යන  පළමු පියවරත්, සංවරේන පහාතබ්බා යන සංවර සීලයේ පිහිටා කටයුතු කරන්නට උපකාර වන දෙවන  පියවරත්  නිවැරදිව  තේරුම්  ගත්  කෙනෙකුට  ඊළඟ  පියවරයන්  අනුගමනය කරන්නට බාහිර කාගේ හෝ උපදෙස් හෝ මඟ පෙන්වීමද අවශ්‍ය නොවේ. ඒ සඳහා විර්යයඋත්සාහය  ගැනීමද  අවශ්‍ය  නොවේ.  ලැබූ  යථාවබෝධය  නිසාම  ධර්මයෝ ධර්මයෝ පවත්වති යන න්‍යායට අනුව ගඟක් මුහුද කරාම ගලාගෙන යන්න සේ ඒ පුද්ගලයා නිවන කරාද ගමන් කරයි.
කෙසේ වෙතත් ඊළග පියවරයන් පිළිබඳවත් දැනගෙන සිටීම ඉතාම වැදගත්ය. මේ හැම පියවරකින්ම සිදුවන්නේ මෙතෙක් සිත අඳුරු කර, සිත වසා සිටි ආසව තට්ටු ප‍්‍රහාණය කර, කුණු සළාහැර, චිත්තපාරිශුද්ධියට පත්වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීමයි. හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම සිතෙහි ඇති ආසව කොටස් තුනකට බෙදා බුදුපියාණන් පෙන්වා වදාළ සේක.
01.      කාමාසව       02.      භවාසව        03.      අවිද්‍යාසව
යනු මේ කොටස් තුනයි. මෙ ආසව තට්ටුවලින් සිත මුවහ කර, වසා සිටින තුරාවට කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට මේ පැවැත්ම ජීවත්වීම යන හේතුඵල පරම්පරාවෙහි සත්‍යම වූ ස්වරූපය ඇත්ත ඇති සැටියෙන් දැකගත නොහැකිය. ඒ ආසව තට්ටු පහකර දමා කුණු සළාහැර ආසව තට්ටුවලින් සිත මුදවා ගත්තොත් එතැනදී ප‍්‍රඥාව උදාවෙයි. පැවැත්මෙහි ඇත්ත, ඇති සැටියෙන් යථාභූතඥාණයෙන් දැක ගන්නට ලැබෙයි. පැවැත්මේ නිසරු බව, නොවටිනා බව දැකගත් පසුව දුක අවබෝධ වෙයි. ඒ මොහොතේ පටන් හැකි ඉක්මනින් මේ කුණු කන්දරාවම පහකර දමා නිදහස්වීම එකම අරමුණ කරගනී. ගමන නවතා දමා රිය අරිය කිරීම එතැන් පටන් සිතෙහි පවත්වන එකම අපේක්ෂාවයි. පළමුවන හා දෙවන පියවරයන්  අවබෝධ  කරගත්  පුද්ගලයා  අරිය  උත්තමයෙකි.  දෙවන  පියවරේදී  ලැබූ යථාවබෝධය නිසාම ඉන්ද්‍රියයන් හයෙන්ම මේ තාක් එකතු කරමින් සිටි විඤ්ඤාණ ආහාර එකතු කිරීම නවත්වා ඉන්ද්‍රියයන් හයම සංවර කරගෙන ඇත. ඒ ඉන්ද්‍රියයන් සංවර කරගත  යුත්තේ  ලැබූ  යථාවබෝධය  නිසාමය.  සංවරත්වයට  පත්වීමත්  සමඟම  ලැබූ සත්‍යාවබෝධය  නිසා  තුන්වැනි  පියවර  වන  පටිසේවනා  පහාතබ්බා  සිට  විනෝදනා පහාතබ්බා  යන  හයවන  පියවර  දක්වාම  ක‍්‍රමානුකූලව  ආසව  ප‍්‍රහාරණය  කර  චිත්ත පාරිශුද්ධතාවයට පත්වීමට අවශ්‍ය පියවරයන් සම්පූර්ණ කරගත හැකිවෙයි.
පටිසේවනා පහාතබ්බා යනු පටිසංඛා යෝනිසෝමනසිකාරයෙන් යුතුව කටයුතු කිරීමයි.පැවිද්දෙකු       නම්          දායකයින්ගෙන්,        අනුගාමිකයින්ගෙන්,            අනුග‍්‍රාහකයන්ගෙන් ලබාගන්නා සිවු පසයට නොබැඳී, වහල් නොවී, ඊට නොඇලී දානය දෙන පුද්ගලයාට නොබැ`දී ප‍්‍රත්‍යවේක්‍ෂා නුවණින් යුතුව සිවුපසය පරිභෝග කිරීමයි. රස තෘෂ්ණාවෙන්, ප‍්‍රිය මධුරතාවය පතා යමක් උපාදානය කර ගන්නට සම්බන්ධවන්නට හෝ ඒ මත්තේම යැපෙන්නට හෝ කටයුතු කිරීමෙන් වැළකී චතුරාර්ය සත්‍යාවබෝධය පූර්ණ කර ගැනීමේ එකම අරමුණෙන් සිවුපසය පරිභෝග කිරීමට පුරුදුවීම, පුහුණුවීම පටිසේවනා පහාතබ්බා යන්නෙහි තේරුමයි. දෙවන පියවරේ දී සංවරා පහාතබ්බා සම්පූර්ණ කරගත් කෙනෙකු ඉන්ද්‍රිය හයම සංවර කරගෙන ඇති නිසා ඉන්ද්‍රියයන් පිනවන්නට, රස තණ්හාවෙන් රස බලන්නට, රස විඳින්නට කටයුතු කිරීමෙන් වැළකී නිදහස ්වෙයි. ධර්ම මාර්ගයේ හැසිරී චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන නිවන නිදහස පූර්ණ කර ගැනීමේ එකම අරමුණ ඇතිව මේ කය පවත්වාගෙන යනු මිස සැප සුව පතා යමක් ඉල්ලා ලබාගෙන, පරිභෝග කිරීමෙන්ද වැළකෙයි.
අධිවාසනා පහාතබ්බා යනු ඉවසීමෙන් කටයුතු කර සැනසීම අත්කර ගැනීමයි. සීතල, උෂ්ණ, මැසි මදුරු, සර්පයින් ආදී බාහිර කරදර, උපද්‍රව ඉවසා දරා ගැනීමත්, ඒවා මඟහැර ඒවාට නොපැටළවී අතහැර, නිදහස් වීමත්, සැර පරුෂ වචන භාවිතා කරන්නන් මෙන්ම සංදර්ශන, සන්නිවේදන, සංචාරයන්ගෙන් ද වෙන් වී ඒවා බැහැර කොට, ඒවාට නොඇලී කටයුතු කිරීමත් අධිවාසනා පහාතබ්බා යනුයි.
පරිවප්ජනා පහාතබ්බා යනුවෙන් පෙන්වා වදාළ ඊළග අවස්ථාව ඇති විය හැකි බාහිර බාධක, උපද්‍රව මඟහැර ඒවායින් මිදී නිදහස් වීමයි. නපුරු මිනිසුන්, අඳ බාල මිනිසුන් මෙන්ම නපුරු රුදුරු තිරිසන් සතුන්ගේ ආශ‍්‍රයෙන් ද ඉවත් වී, ඔවුන් මඟහැර තමාම ඉවත් වීමයි. නුසුදුසු වාසස්ථාන වලින් මිදී නිදහස් වීමද නිවන් මඟට බාධක ඇති සුව පහසු යාන වාහන, නිදියහන්, මන්දිර මෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ වලින් ද ඉවත් වී, වෙන්වී යාම පරිවජ්ජනා පහාතබ්බා යන කොටසට අයත්ය. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කර මෙවැනි දේවල හේතුඵල ධර්මතාවයම තේරුම්ගෙන හේතුන්ම අතහැර, මඟහැර, හේතුවෙන්ම මිදී, පරම්පරාවෙන් ද මිදී නිදහස් වීමයි. අන්තරායකාරී දේ ආශ‍්‍රය කිරීම මෙන්ම ප‍්‍රිය මනාප දේවලට ඇලීමද නිවනට බලවත් බාධක ලෙසින්ම දැක ඒවා මඟහැර යා යුතුයි.
විනෝදනා පහාතබ්බා යනු ඊළග අවස්ථාවයි. මේ පියවර නිවන් මාර්ගයේ ඉතාම වැදගත් අවස්ථාවකි. තම සිත තුළින්ම උපත ලබන කාම විතක්ක, විහිංසා විතක්ක දැන හඳුනාගෙන ඒවා සියල්ලම ලෝභ- අලෝභ, ද්වේෂ - අද්වේෂ, මෝහ - අමෝහ ගති ලක්ෂණයන් නිසාම උපත ලබන සමුදය ධර්මයන් බව තේරුම් ගෙන ඒවා ප‍්‍රහාරණය කර, නිදහස් වීම, විනෝදනා පහාතබ්බා යනුයි. මිනිසෙකුගේ සිතක මතුවන සියලූම අවිද්‍යා සංඛාර මතු වෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක හෝ විහිංසා විතක්ක ලෙසින්ම පමණි. අතීත සම්බන්ධතා පවතින තුරාවට මෙවැනි විතක්ක මතුවී විචාර පැවැත්වීම ද ස්වභාවික දෙයකි. හේතුඵල දහම ගැන මනා වැටහීමක් ලැබුවෙකු මෙවැනි විතක්ක විචාර සිතෙහි අරමුණු වෙනවාත් සමඟම ඒවා දැක, දැන හඳුනා ඒවායින් ඉවත්වීමට පුරුදු විය යුතුය. මෙම විතක්ක විචාර අතහැර ඒවායින් නිදහස්වීම සඳහා නෙක්ඛම්ම සවිතක්ක සවිචාර පැවැත්වීම අව්‍යාපාද සවිත්තක සවිචාර පැවැත්වීම අවිහිංසා සවිත්තක සවිචාර පැවැත්වීමට ද පුරුදු පුහුණු කරගත යුතුයි.
කාමවිතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක සිතෙහි අරමුණු වීම සහමුළින්ම නැතිකර ගැනීම සඳහා පරම මෙත්තා භාවනාවක් පුරුදු පුහුණු කර ගැනීම සියලූ ලෝක සත්ත්වයා වෙත සම මෙත පැතිරවීමට පුරුදු පුහුණුවීම හැම කෙනෙකුම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. සංසාරයේ අනන්ත අප‍්‍රමාණ කාලයක සිට එකතු කරගත් ද්වේෂ - අද්වේෂ ගති ලක්ෂණයන්ගෙන් සඳහටම මිදී නිදහස්විය හැකි වන්නේ පරම මෙත් පැතිර වීමෙන්ම පමණි.
හේතුඵල දහම දැක ත‍්‍රිලක්ඛණය අවබෝධ කරගත් පසුව ලෝක සත්ත්වයා කෙරෙහි උපන් අවංක අනුකම්පාවෙන් ඔවුන් කෙරෙහි සම මෙත පැතිරවීමට ශක්තියක් හැකියාවක් ලැබුණු පසුව සිතක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවූවත් ඒවා දිගේ දිගින් දිගටම සිතා රෝද ගසා කටයුතු කිරීමෙන් වැළකී ඒවා නිරෝධ කර සිත සමනය කර ගනී. මේ අවස්ථාව වන විට ලැබූ ධර්මාවබෝධය සත්‍යාවබෝධය නිසා සතියෙහි පිහිටා සියලූ කටයුතු කරන්නටද පුහුණුව ලැබෙයි. එය සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කිරීමයි.
අනුපුබ්බංගම නිවන් මාර්ගයේ අවසාන පියවර වන්නේ භාවනා පහාතබ්බා යන අංගයයි. වෙනකිසි ආකාරයකින් ක‍්‍රියාමාර්ගයකින් ප‍්‍රහාණය කරගත නොහැකි බලවත් අවිද්‍යාසව කොටසක් රූප රාග, අරූපරාග, මාන, දිට්ඨි, අවිද්‍යා ලෙසින් තවමත් සිතෙහි රැඳී පවතී.
දැන් මේ අවස්ථාව වන විට ලැබූ යථාවබෝධය නිසාම දස්සනයෙන් පහකළ යුතු ආසව කොටස් පහකර, කුණු සළාහැර, ඉන්ද්‍රියයන් හයම සංවරත්වයට පත්කර, සීලයෙහි පිහිටා, අලූතින් ආසව එකතු කිරීමද නතර කර, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක පහකර, විපස්සනා අනුපස්සනා නුවණ මතුකරගන්නට තරම් යථාවබෝධය ශක්තිමත් වී ඇත. භාවනාවෙන් පහකර ගත යුතු ආසව කොටස් ප‍්‍රහාණය කරන්නට විපස්සනා අනුපස්සනා නුවණම උපකාර කර ගත යුතුය. ඒ නිසා බුද්ධ භාෂිතයේ ගෙනහැර දැක්වූ විපස්සනා අනුපස්සනා භාවනාව වෙනත් කිසිදු ආගමික දර්ශනයක පෙන් වූ එකක් නොවේ.
මහා කල්ප 91ක පටන් එකතු කරගත් ගතිගුණ, ගති ලක්ෂණ, කාමාසව, භවාසව හා අවිද්‍යාසව ලෙසින් තම චිත්තසංථානය තුළම ගබඩා වී පවතී. මෙවන් බලවත් ආසව තට්ටු සළාහැර,            ප‍්‍රහාණය       කර          චිත්තපාරිශුද්ධතාවයට       පත්විය         හැකි වන්නේ විපස්සනා අනුපස්සනා භාවනාවකින් පමණි. මෙතැනදී කළයුතු වන්නේත් සිදුවන්නේත් මහා කල්ප ගණනක් තුළ චිත්තසංථානය තුළ ක‍්‍රියාත්මක වෙමින් පැවති කර්මජ බීජ, ආසව ක‍්‍රමයෙන් ප‍්‍රහාණය  කර  දැමීම  නිසා  ලෝකෝත්තර  කුණු  සළාහැරශුද්ධ  පවිත‍්‍ර  වීම  නිසා, සත්තසම්බොජ්ජංග සම්පූර්ණ වීමයි. සත්තසම්බොජ්ජංග යනු බුද්ධියේ අංග හතයි. හැම පෘථග්ජන මිනිසෙකුගේම සිතෙහි මේ අංග හතම රැුදී පැවතුනත් ලෝභ- අලෝභ, ද්වේෂ - අද්වේෂ, මෝහ- අමෝහ යන කෙළෙස් නිසා ඒවා වැසී ආවරණය වී පවතී. කුණු සළාහැර ඉවත්කරත්ම කෙළෙස් ප‍්‍රහාණය කරත්ම බුද්ධියේ අංග හතම නිරාවරණය වී ප‍්‍රඥාව මතුවෙයි. ප‍්‍රඥාව යනු ප‍්‍රකෘති ඥාණයයි. ඥාණයේ පරම තත්ත්වයයි. ප‍්‍රඥාව යනු නැවත කවදාවත් කෙළෙස් නිසා කුණු නිසා, කිළිටි කළ නොහැකි, අඳුරු කළ නොහැකි, වසා මුවහ කර තැබිය නොහැකි පිරිසිදු තත්ත්වයකි. ප‍්‍රඥාලෝකය උදාවීමත් සමඟම මෙතෙක් සිතින් මවාගෙන සිටි ලෝකය අලෝක වෙයි. විඤ්ඤාණ තත්ත්වයෙන් තොර චිත්තය, ඉතාම පිරිසිදු, ශාන්ත වූ කම්පා නොවන, විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී තත්ත්වයකි.
සිත මේ පිරිසිදු තත්ත්වයට පත්වීම යනු අලූතින් සිතක් හෝ ප‍්‍රඥාවක් හෝ බුද්ධියක් හෝ වර්ධනයක් කර ලබා ගන්නා එකක් නොවේ. මෙතෙක් සිත අඳුරු කර, මුවහකර වසා සිටි සිත විකෘති කළ, විෂම තත්ත්වයට පත් කළ කුණු සළාහැර විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී පරම පවිත‍්‍ර තත්ත්වයට පත් කරගැනීමයි.
සිතින් එකතු කරගත් කර්මජ බීජම භාවිතා කරමින් මෙතෙක් කලක් සංසාරය කියා සංඑකතුකරගෙන ගිය සංසාර රිය ගමන පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් සාරයි කියා නිගමනය කර ගිය ගමන නිමාකොට සංඑකතු කිරීමට මෙතෙක් කලක් රෝද කළ සිත රෝද - නිරෝධ කර, රාග - විරාග කර, රිය - අරිය කර, භූත අභූත කර, ජාත - අජාත කර, සංඛත - අසංඛත තත්ත්වයට පත්කර ගැනීම ලෝකය රහබැලීම සම්පූර්ණයෙන්ම අත්හැර ලෝක - අලෝක කර, ලෝකය රහබැලීම අවසන් කිරීම අරහත් තත්ත්වයට පත්වීමයි.

පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අලුත් ග්‍රන්ථය හා මේ ලිපියේ ඉතිරිය කියවීමට පිවිසෙන්න. http://panhinda.sirisaddharmaya.net/

No comments:

Post a Comment