Wednesday, November 7, 2012

කල්ප විනාශයට පෙර

   ඉදිරි විනාශයෙන් බේරෙන්න දහමට යොමුවන්න!!!

විශ්වයේ ආරම්භය හා සත්ත්ව සංහතියේ ආරම්බය මෙන්ම පැවැත්මද විද්‍යාත්මකව බුද්ධ ධර්මයෙහි විග්‍රහ කෙරේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පෙළ දහමෙන් පෙන්වා දෙන පංචශීල ප්‍රතිපදාවේ "පාණාතිපාතා" යන ශබ්ද සඤ්ඤා පහෙන් ඒ බව පැහැදිලි වේ. පෙල දහම විග්‍රහ කොට පෙන්වා දුන් හෙල අ‍ටුවා විනාශ වීමෙන් බොහෝ කලකට පසු ගෞතම බුද්ධ ශසනයේ දෙවැනි උදාවත් සමග නැවත එම විග්‍රහ කිරීමේ ක්‍රමවේදය මතු වී තිබේ. ඒ අනුව නිවීමට හෙවත් නිවන් මගට හේතු වාසනා ඇති පිනැතියනට සත්‍යයේ දොර‍ටුව විවෘතව පවතී. එය ධර්මතාවෙන් ම සිදුවන ක්‍රියාවලියේ පිරිපුන් අවස්ථාවකි.
 


සම්මතයේ පිහිටා සිටින සමහර කෙනෙකු මෙම සත්‍යතාවට පටහැනි වීමට ද පුලුවන. එයට හේතුව ඔවුන් දන්නා තරම එබදු වන බැවිනි. තවත් අතකින් බලන විට එසේ විරුද්ධ වන්නේ ලාභ සත්කාර සම්මාන ආදිය ලැබීම අහිමි වන නිසා වීමටද බැරිකමක් නැත. මේ අනුව තමන් දරන මතයේම සිට මනසට අවුලක් නොදෙන පාවෙන පිරිසක් ද මේ අතරට එකතු වී ඇත. එදා බුද්ධ දේශනයෙන් පෙන්වා දුන් නිවන් මගට ජනතාව ප්‍රවිෂ්ට වූහ. මෙය බමුණු සම්ප්‍රදායට පටහැනි වූ නිසා බමුණෝ එයට තදින්ම විරුද්ධ වූහ. එහෙත් ඔවුනට කල හැකි යමක් නො වූ බැවින් ඔවුන් දහමට අනුගත වෙමින් ඒ තුලින් බුදුරජානන් වහන්සේගේ හා ධර්මයේහි ශ්‍රේෂ්ඨ්ත්වය වසා දැමීමට කටයුතු කලහ. ඒ අනුව මහා බ්‍රහ්මයාගේ වටිනාකමත් බුදුරජාණන් වහන්සේගේ අඩුපාඩුත් පෙන්වා දෙමින් නිවන් මග වසාලූහ. මේ තත්වයට ගිදුරු වූ සැවොම මිමිණීම, බිණීම, වන්දනාව ප්‍රමුඛත්වයෙහි ලා ක්‍රියාත්මක වන පිරිසක් බවට පත් විය. එබැවින් නිවීමේ ගමන් මග හෙවත් නිවන බොහෝ ඈතට තල්ලු වී ගියේය.  

ගෞතම බුද්ධ සාසනයේ දෙවන උදාවේ ආරම්භය සිදුවන්නේ ද ධර්මතාවට අනුවය. එයට සුදුසු කාලය උදාවීමේ සලකුණු ලෝකය තුල පහල වෙමින් පවතින බව පෙනේ. ජනතාවගේ පිබිදීමේ ශක්තිය එයට එක් නිදසුනකි.එහෙත් මෙම උදාව පහසුවෙන් කල හැක්කක් නොවේ. ඒ සදහා මාර පාක්ෂික බලවේග නිරන්තරයෙන්ම එයට පටහැනිව ඉදිරිපත් වනු ඇත. ඒ සදහා මුහුණ දීමට විශ්ව ශක්තියේ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වෙයි.දහමට සුදුසු වාතාවරනය සාදා දීමේ වගකීම විශ්ව ශක්තිය බාරගෙන තිබෙන බව දන්නෝ දනිති.විවිධ මාර්ග ඔස්සේ ඒ බව සනාථ වෙන ලකුණු බුද්ධ මාතෘ භූමියෙන් පෙන්නුම් කෙරේ.
                         

ලෝක තත්තයත්, සත්ත්ව ප්‍රජාවගේ ආරම්බය හා පැවැත්මත් පෙන්වා වදාල අමාමෑණී වූ බුදුපියානන් වහන්සේ දේශනා කල ධර්මය අද යටපත් කොට තිබේ. මෙම විනාශයේ බරපතලකම කෙසේදැයි හදුන්වා දෙතොත් නියම දහමෙන් ඈත් වීමෙන් ලෝක සත්ත්වයාට මේ දෙරණේ ජීවත්වීමේ අයිතිය මෙන් ම හුස්ම පොදක්වත් ගැනිමට බැරි තත්ත්වයක අද අද උදා වෙමින් පවතී. සිතිවිලිවලින්, වචනයෙන්, ක්‍රියාවෙන් මේ ත්‍රිත්වයටම ලබා දෙන දූෂිත සියලු දෑ විශ්වය කෙසේවත් ඉවසන්නේ නැත.එහෙයින් ඒ සියලු දූෂිත දෑ වලකා ඉතා දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට විශ්ව ශක්තිය සූදානමෙන් සිටී. එය මොනම කෙනෙකුටවත් කෙසේවත් වලකාලිය හැකි තත්ත්වයක් නොවේ. එහෙයින් මේ ගැන මනාව මෙනෙහි කොට පංචශීලී ප්‍රතිපදාවේ නිවැරදි අන්දමට යෙදීමට දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇති බව පෙන්වා දිය යුතුය.බුද්ධ ධර්මයේ ප්‍රධාන ඉගැන්වීම් හාස්‍යයට, උපහාසයට ලක් වෙමින් පවතින මෙවැනි යුගයක බුදුරජානන් වහන්සේගේ ගුණයන්ට මෙන්ම සත්‍ය උරුමයන්ටද පහර දෙමින් ජනතාව මුලා කිරීම ද කාට වුවත් ගැලපෙන සුදුසු කාර්යක් නොවන බව සිහියේ තබා ගැනීම වඩාත් ඥානාන්විත ක්‍රියාවක් වනු ඇත. ඒ හෙයින් සම්බුද්ධ ශාසනය රකින,‍ රැකෙන මේ පුණ්‍ය භූමිය ‍රැක ගැනීමට බෞද්ධ හැම දෙනාම එකාවන්ව ධර්මානුකූලව අධිෂ්ඨාන ශක්තිය උපදවා ක්‍රියා කල යුතු යුගයක් වශයෙන් මේ කාල වකවානුව තුළ ක්‍රියා කල යුතු බව පෙන්වා දිය යුතුය.
 

මේ බව සනාථ වන බව සංකේත පහකින් පෙන්වා ඇති අතර ඒ පිලිබද විග්‍රහයක් මෙ මගින් ඉදිරිපත් කෙරේ. මේ සංකේත අන්තර්ජාලයේ 'සීනිවුස්' වෙබ් අඩවියේ පල විය. එම සංකේතවලට මවිසින් සැපයූ අර්ථකථන පහත සදහන් වේ.
මෙම සංකේතයෙන් පෙන්නුම් කෙරෙන්නේ රාග,ද්වේශ,මෝහ තුනෙන් යුක්තව උප්පත්ති ලබා ඇති බවය. එහි ඇලී,බැදී, ඇමිණී පහේ රමණය වැරදි ලෙස පරිහරණය කිරීම සිදු කරන බව මින් අදහස් කෙරේ.
මෙම සංකේතයෙන් පෙන්නුම් කරන්නේ ලෞකික සම්පත් විදීම සදහා විශ්ව සම්පත් විනාශ කරමින් අධික තණ්හාවේ බැදී හිරවී පැටලී ගැලැවිය නොහැකි අයුරින් ග්‍රහනය කර ගෙන සිටීමය.
මෙම සංකේතයෙන් පෙන්නුම් කරන්නේ විශ්වයේ උපරිමයට බොරුවෙන්,තණ්හාවෙන් දියුණුවේ දොර‍ටු වසා ඇති බවය. එපමණක් නොව තුනෙන් දෙකක් පමණ වැනසී ඉතුරු අය මුල පටන් ක්‍රමයෙන් සාධාරණ අන්දමින් උදාරත්වයට පත්වන බවක් මින් පෙන්නුම් කෙරේ.
විශ්ව ගවේෂණ,තොරතුරු සංනිවේදන ජාලය ඇන සිටීම. එමෙන්ම ගමනාගමනය ද සම්පූර්ණයෙන් අඩපණ වීමෙන් සිදුවන ජාත්‍යන්තර සබදතා ඉවත් වීමේ ලක්ෂණයක් මෙම සංකේතයෙන් පෙන්නුම් කෙරේ.
මෙයින් පැහැදිලිවම නිවන් මග පෙන්නුම් කෙරේ. බුද්ධ,ධම්ම,සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිවැරදිව වර්ධනය වන අයුරු දැකගත හැකිය. තුනෙන් දෙකක් විනාශයෙන් ඉතිරි පිරිස් නිවන් මග කරා ඇදී යයි. බෝසත්වරුන්ගේ පහල වීමක්ද සිදුවන බව මෙම සංකේතයෙන් පෙන්නුම් කෙරේ.

මෙසේ සංකේත අනුසාරයෙන් පෙන්වා දී ඇති ලෞකික කල්ප විනාශයෙන් ආරක්ශාව සදහා භාවිතා කිරීමට විනාශයෙන් ආරක්ශාව සදහා භාවිත කිරීමට ගාථාවක් ද එම වෙබ් අඩවිය මගින් පෙන්වා දී තිබිණි. එහි දක්වා ඇති ගාථාව මෙසේය.
 


"ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝ හි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
එතේන සච්චෙන ජයස්සු මයිහං"

මෙම ගාථාව ආරක්ශාව සදහා භාවිතා කර ඇත්තේ දු‍ටුගැමුණු මහ රජතුමාය. එතුමා භාවිතා කල ගාථාව මේ අවස්ථාවට යොදා ගැනුණේ කිසියම් විශේෂ සිද්ධියක සබදතාවක් නිසා බව පෙනේ. දු‍ටුගැමුණු මහරජතුමා පිලිබදව මහාවංශය කර ඇති විකෘතිය ප්‍රකෘතියට පත් කර බැලුවහොත් පෙනී යන්නේ එතුමා අනාගතයේ ලොව පහලවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ බවය. මේ බව 'මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබූ දු‍ටුගැමුණු මහරජාණෝ' යන ග්‍රන්ථයේ පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් දු‍ටුගැමුණු මහරජතුමාගේ මෙත් බෝසත් භාවය වසන් කිරීමට කරන ලද උත්සහය නිසා එතුමාගේ යථා තත්වය මෙතෙක් කලක් වැසී තිබිණි. එහෙත් එතුමාගේ සත්‍ය තත්ත්වය විමසා බැලීමේ දී කොතරම් උදාර පුද්ගලයෙක්දැයි තේරුම් ගැනීමට මේ කරුණු විග්‍රහ කර බැලීමෙන් පෙනී යයි. මෙහිදී මේ කරුණු සනාථ කිරීම සදහා වැදගත් සාධකයක් වශයෙන් ලිපියේ
හලින් ඇති ලේඛනය ඉදිරිපත් කල හැකිය.

එම ලේඛනය පහත් පරිදි කියවා ගත හැක.

දෙවනපිය මහරජස ගමණි අබයස පුත තිශයස ලෙණෙ සිතගුහෙ අගත අනගත චතුදිශ ශගශ

එම ලේඛනයට අනුව දු‍ටුගැමුණු මහරජතුමා හදුනා ගැනීමට පුලුවන. එතුමාගේ නියම නාමය දු‍ටුගැමුණු නොවේ. එම ලේඛනය එතුමාගේ උප්පත්ති නියම නාමයෙන් ලේඛන ගත වී ඇත. එතුමාගේ නියම නාමය ඇතුලත් එම ලේඛනයේ විශේෂ අභිධාන නාමයක් දැකගත හැකිය. එය "දෙවනපිය" යනුයි.මෙයට විවිධ තේරුම් ද ඇත. එහෙත් කිසි තැනක එහි නියම අඩංගු වී නැත. දෙවනපිය යන්නෙහි ඉතා ගැඹුරු තේරුමක් ඇත. එය ලැබෙන්නේ නිරුක්තිවලට අනුව විග්‍රහ කර බැලීමෙනි. ඒ අනුව එහි තේරුම අර්ථ දැක්විය යුත්තේ මෙසේය.
                       

"දෙ" යන්නෙන් පෙන්වා දෙන්නේ ධර්මතාවට අනුව උප්පත්තිය ලබන බවය. ඊලග "ව" යන්නෙන් පැහැදිලි වන්නේ වට්ට වීමයි. එනම් අටේ වට්ටයයි. එසේම ඊලග "න" යන්නෙන් අර්ථවත් වන්නේ අභ්‍යන්තර හා බාහිර නාමයයි. එනම් භෞතික කයක් අත්කර ගෙන මමත්වයෙන් ඉපදීමයි. අවසාන "ය" යන්නෙන් අර්ථවත් වන්නේ යථාර්ථයයි. ඒ අනුව මහාවංශය වසන්කර පෙන්වා දී ඇති ආකාරයට ගෞතම බුදුරදුන් හමුවේ විවරණ ලැබුවේ මෙම යථාර්ථය තේරුම් ගත් ගමණි අබය මහා රජතුමා බව ධ්වනිත කෙරේ.

ඉහත කී අදහස තහවුරු කිරීම සදහා ඉහත ලේඛනය අගට විශේෂ සංකේත දෙකක් ඇතුලත් කොට ඇති බව එම ලේඛනය දෙස බැලීමෙන් පෙනී යයි. ඉන් පලමු සංකේතයෙන් පෙන්නුම් කරන්නේ සිව්හෙලයේ ආඥා
චක්‍රය පැතිරවීම සදහා මහා රාජ්‍යත්වයට පත් වූ වගයි. එය යුද්ධයකින් පත් වූ බලහත්කාර කමේ රාජ්‍යත්වයක් නොවේ. එය සිව් හෙළයේම කැමැත්තෙන් බුද්ධ දේශයනට අනුව ධර්මතාවට අනුව සිදු වූ විශේෂ සිද්ධියකි.ඊලග අනෙක් සංකේතයෙන් පෙන්වා දෙන්නේ කාලය, දීපය, දේශය, කුලය, මව් ‍තෝරා බේරා ගෙන මෙතේ බෝසතාණන් සේ ඉපද ලොව්තුරා බුද්ධත්වයට පත්ව එකල ලෝකවාසී සත්ත්වයාට නිවන් මග පෙන්වා පරිනිර්වාන ධාතුවෙන් පිරිනිවන බවයි.

බුදු දහම අනුව සියලු සිදුවීම් යම් ධර්මතාවන්ට අනුව සිදුවන බව පෙනේ. එම සිදුවීම්වලට නිභයව මුහුණ දීමට සියලු දෙනා දහමට යොමු වී දැහැමි දිවි පෙතක් ගත කල යුතු වෙයි. එබැවින් ඉදිරියේ දී උදාවන කාල වකවානුවට මුහුණ දීමට ධර්මානුකූල ප්‍රතිපදාවේ නිවැරදි සේ යෙදීමට අප සියලු දෙනා වග බලා ගත යුතුය.


මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි.

 


(මෙම ලිපිය 2011 නොවැම්බර් මස 10වැනි බ්‍රහස්පතින්දා දින සිරිදෙසුම පුවත් පතේ පල වූ අතර ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් මෙසේ මෙහි පල කරන ලදී)

No comments:

Post a Comment