Saturday, November 3, 2012

ගිරිහඬු සෑය

ඇසතු බෝ මූලයේදී සම්බුද්ධත්වයට පත්වූ ගෝතම බුදුන්වහන්සේ සති කීපයක් බෝ මැඩ අවට ප්‍රදේශයේ වැඩ සිටියහ. මේ කාලය අතර තුරදී වෙලෙන්දන් දෙදෙනෙකු විසින් බුදුන්වහන්සේට පූජා කල විලද හා මී පැණි පූජාවක් පිලිබද බෞද්ධ ඉතිහාසයේ සදහන් වේ. ඒ වෙලදුන් දෙදෙනා නමින් ත්‍රප්‍රෂ්‍ය සහ වල්ලික හෙවත් තපස්සු සහ භල්ලුක විය. මොවුන් දෙදෙනා ඉතිහාසගත වන්නේ බුදුන් හා දහම් සරණගිය පලමු උපාසකයන් දෙදෙනා ලෙසය. තපස්සු භල්ලුක වෙලදුන් දෙදෙනා බුදුන්වහන්සේ කෙරෙහි පැහැදී උන්වහන්සේගෙන් පූජනීය යමක් ඉල්ලා සිට ඇති අතර එහිදී බුදුන්වහන්සේ හිස පිරිමැද කේශධාතූන් ස්වල්පයක් ලබා දී ඇත. බුදුන්වහන්සේගෙන් ලැබුණු කේශධාතු රන් මංජුසාවක තැන්පත් කර ගත් ඔවුන් තම ගැල් පන්සීයත් ‍රැගෙන මධ්‍යදේශය පසු කර ගමන් කර ඇත.

ගමන් වෙහෙස නිවාගැනීමට මදක් නැවතුනු ඔවුහු කේශධාතු තැන්පත් කර තිබූ මංජුසාව ඒ ප්‍රදේශයේ තිබූ උසම ස්ථානයේ තැන්පත් කර ඇත. තම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමෙන් පසුව නැවතත් ගමනට පිටත්වීමට සූදානම් වී මංජුසාව ගැනීමට සූදානම් වූ අතර කිසියම් හේතුවක් නිසා එය සෙලවීමටවත් ඔවුනට නොහැකි විය. අවසානයේදී වෙලද දෙබෑයන් විසින් ගල් ‍රැගෙන එය වටකර දාගැබක් නිර්මානය කර අතර එය මැතකාලීන ලෝකයේ ඉදිකල පලමු දාගැබ විය.එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. එනමුදු මෙම ජනප්‍රවාදය බොහෝ දුරට සාධාරණය වන්නේ එක් ස්ථානයකටය. එමෙන්ම ඒ ස්ථානය පුරාවිද්‍යාත්මකවද සනාථ කරහැකි ස්ථානයකි. එම ස්ථානය නමින් නිතුපත්පානය.

වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය.එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.


මේ කේශධාතු තැන්පත්කල දාගැබ පිලිබද පූජාවලියේද සදහන් වේ.දහතුන්වන සියවසට අයත් පූජාවලියෙහි සඳහන් වන අන්දමට, ලක්දිව නැගෙනහිර වෙරළෙහි තිරියාය නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටි ස්ථූපය නිමවන ලද්දේ තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා විසිනි. ඔවුන් විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ අවස්ථාවේදී උන්වහන්සේගෙන් ලැබුණු කේශධාතූන් තැන්පත් කොට මෙම ස්ථූපය ඉදිකළ බවද පූජාවලියෙන් කියැවේ.මෙම තිරියාය වටදාගෙය වර්ෂ 1951 දී කණින ලදී. ඉන් පසු වර්ෂ වල එහි සංරක්‍ෂණ කටයුතු සිදුවිය. එහිදී සත්වැනි අටවැනි සියවස්වලට අයත් සංස්කෘත සෙල් ලිපියක් හමුවිය. එහි සඳහන් පරිදි මෙම ස්ථූපයේ පෞරාණික නාමය වූයේ ගිරිකණ්ඩි චෛත්‍යයයි. පූජාවලියේ සඳහන් පරිදිම බුදුරජාණන් වහන්සේට ප්‍රථම දානය පිරිනැමූ ත්‍රප්‍රෂ්‍ය සහ වල්ලික (තපස්සු සහ භල්ලුක) යන වෙළෙඳුන් විසින් මෙම ස්ථූපය කරවන ලද බව එහිද සඳහන්ව ඇත. ඒ අනුව පොත අනුව මෙන්ම ගල අනුවද තිරියායේ පිහිටි මේ දාගැබ පුරාවිද්‍යාත්මකව සනාථ වන්නේ අන් රටවල් පරදවමිනි.


තිරියාය වටදාගෙයට යන පියගැට පෙළ දිගේ කඳු මුදුනට පැමිණි විට සමුද්‍රය හොඳින් දර්ශනය වේ. කණින විට තිරියාය වටදාගෙයි වට මළුව අඩි 79 ක විෂ්කම්භයකින් යුක්ත විය. එහි මධ්‍යයෙහි පිහිටි ස්ථූපයේ විෂ්කම්භය ආරම්භයේදී අඩි 24 අඟල් 9 ක් විය. පසු කාලයේදී විශාල කළ විට එය අඩි 32 ක් අඟල් 6 ක් වී ඇත.ස්ථූපයේ පාදයේ සිට අඩි 3 අඟල් 6 ක් දුරින් වූ ගැටියක් මගින් එහි මළුව බාහිර කොටසට වඩා උස්කොට බැඳ තිබී ඇත. ඇතුළු වටයට අයත් ගල්කුළුණු සිටුවා ඇත්තේ ස්ථූප පාදයේ සිට අඩි 3 යි අඟල් 3 ක් දුරිනි. බාහිර ගල්කුළුණු වටය පාදයේ සිට අඩි 16 ක් දුරින් පිහිටියේය.

ඇතුළු කුළුණු වටය පාදයේ සිට අඩි 12 අඟල් 9 ක් දුරින් පිහිටියේය. ඇතුළු වටයෙහි කුළුණු දහසයක් විය. එයින් එකක් හැර අනෙක් සියල්ල අසල පිහිටි ශිව දෙවොලක් තැනීමට භාවිතා කොට ඇත. දෙවන වටයට අයත් කුළුණු තිස්දෙකකි. එකක උස අඩි 14 යි. අඟල් 6 කි. මෙම කුළුණු වල ඉහ සහ කඳ තනි කළුගලින් නිමැවී ඇත. තිරියායේ පිහිටි කඳු බෑවුමේ ඇති ගල්ගුහා දෙකක බ්‍රාහ්මී සෙල්ලිපි ලියා ඇත. ඒ අතරින් එක් ලිපියක් ක්‍රිස්තු පූර්ව යුගයේද අනෙක් ලිපිය ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේද භාවිත වූ බ්‍රාහ්මී අක්‍ෂරයන්ගෙන් ලියා ඇත.එහි ඇති ලේඛනය ලියා ඇත්තේ වටදාගෙයට අඩි 200 ක් පමණ දකුණින් වූ ගලක් මතය. ගල්තලාවේ අඩි 20 ං අඩි 5 පමණ වූ ප්‍රදේශයක් වසා මෙම සෙල්ලිපිය ලියා ඇත. එහි පේළි එකොළහකි. ස්වභාවික විපත් හේතුවෙන් සෙල්ලිපිය ගෙවී ඇත. එබැවින් ඇතැම් තැන් කියැවීම දුෂ්කරය. අකුරක ප්‍රමාණය අඟල් 1 1/2 සිට 2 දක්වා වේ. මෙම අක්‍ෂර සත්වැනි සියවසට අයත් පල්ලව ග්‍රන්ථ අක්‍ෂරයන්ට සමානය.

ලක්බිමින් හමුවූ සංස්කෘත ලිපි ස්වල්පය ලියැවී ඇත්තේ මෙම අක්‍ෂර වලිනි. එකල සෙල්ලිපිවල දිනය හා කාල පරිච්ඡේදය දැක්වීම විරලය. තිරියායට සැතපුම් හයක් පමණ දකුණින් වූ කුච්චවේලියේ සංස්කෘත ලිපිය ලියා ඇත්තේ මෙම තිරියාය ලිපියට මදක් කලින් වු අක්‍ෂර වලිනි. තිරියාය ගිරි ලිපිය ගද්‍යයෙන් ව්‍යාකරණ දෝෂ රහිතව සංස්කෘත බසෙහි ප්‍රවීණයකු අතින් ලියැවී ඇත. ලිපිය ආරම්භ වන්නේ සමුදුරෙහි ගමන් ගන්නා වෙළෙඳ කණ්ඩායමක් පිළිබඳ විස්තරයකිනි. අනතුරුව ගිරිකණ්ඩි චෛත්‍යය පිළිබඳ දීර්ඝ වර්ණනාත්මක විස්තරයක් වෙයි. පසුව සිද්ධස්ථානය වැනීමෙන් තමන් රැස්කරගත් පින් හේතුවෙන් ලෝකයා භව දුකින් මිදේවා යන කතුවරයාගේ දැහැමි ප්‍රාර්ථනාව වෙයි.අනතුරුව සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවයි.

තිරියාය ගිරි ලිපියෙහි පෙළ අනුව පරණවිතාන මහතාගේ ඉංගී‍්‍රසි පරිවර්තනයෙහි සිංහලානුවාදය මෙසේය

"අවිරත භක්ති ඇති හදවත් සහිත වූ නිමල ගුණැති , දානයට පළමුවැන්නන් වීම වීමේ පින කැමති වූ (වන්) විසින් ....අසදෘශ ශාස්තෘන් වූ ශාක්‍ය රාජ තිලක වූ සුගත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ....උතුම් ලෙස ධාතූන් ලබාගත්තා වූ ...සම්මුඛයෙහි .....සමුද්‍ර යාත්‍රා කිරීමෙහි දක්‍ෂ වූ මිලදී ගැනීමෙහි හා විකිණීමෙහි නියුක්ත වූ නා නා විධ රුවල් යාත්‍රා විශේෂයන්හි පුරවන ලද භාණ්ඩ සන්දර්ශණයක් (හිමි වූ ) වෙළෙඳ ගණයන් කුසල් හේතුවෙන් ස්වකීය (ඥාති) වූ මිත්‍ර දේවතාවෙකු විසින්......පැමිණීමට ....සමුද්‍රය ගෙවා ...උපශාන්ත වූ (තමන් තුළ ) කුළුගැන්වුණු (විවිධ) යහ ගුණයන්ගෙන් හෙබි සියලු වෙළෙඳ ගණයන් විසින් කරන ලද මෙන් (එහි) පැමිණි නුවරුන් ඇතුළුව නොඅඩු පී‍්‍රතියෙන් යුතුව උතුම් ගිරිකණ්ඩික චෛත්‍යය යැයි ලොවේ හැඳින්වුණු එය පූජාවන් කරන ලද , මනොඥ මළුබිම් සහිත වූ දැහැමි මිනිස් සමූහයන් විසින් නිති භක්තියෙන් වන්දනා කරනු ලබන ඒ උතුම් ගිරිකණ්ඩික චෛත්‍යය වැඳ..ප්‍රකාශිත වූ මහාමුනි ....දෙවියන් කින්නරුන් විසින් ගෞරව කරනු ලැබීමට යෝග්‍ය වූ අවලෝකිතේශ්වර යැයි හැඳින්වෙන ශාස්තෘන් වූ බෝධි සත්වයන් නිති නිවසන ......භාග්‍යවතුන් වහන්සේ .....ඒ ගිරිකණ්ඩික චෛත්‍යය මමද ......මිහිරි වදන් ඇති මුනිවරයාද පාපයත් චෛතසික වේදනාවනුත් ඉවත්කරන ...අති සුකුමාර සිරුරැති භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණා භරණයන්ගේ දීප්තියෙන් අලංකාර වූ ශරීර ප්‍රභාවයක් ඒකාන්තයෙන් ලබන්නා වූ එහි, ඒ උතුම් ගිරිකණ්ඩ චෛත්‍යය මමද වඳින්නෙමි. ...දිවඟනන් අහස් ගඟින් ලත් නෙළුම් පත්‍ර වලින් කළ බඳුන්වල සුවඳපැන් දරමින් සිය අත්වල කුසුම් තුවරලා මිණිපහන් සහ උපහාරයන් ගෙන සුලලිතව සුරපුරෙන් බැස භාග්‍යවතුන් වහන්සේට සතුටින් වන්දනා කරන උතුම් ගිරිකණ්ඩි (ක චෛත්‍යය) අනන්ත අනුගාමික දෙවිවරුන් පිරිවරාගත් සුරරජු ද අති මනොඥ වූ සුරසක් , බෙර.......නදවමින් සුරතුරුවල හටගත් නව කුසුම් ගඩොවල් විසුරුවමින් දිනපතා මහසෙල මත වන්දනා කළේය. එහි සිය ගණන් ඇති ගෞරවයට යෝග්‍ය වූ , සිංහලෙන්ද්‍රයා සහ ඔහුගේ ජනතාව විසින් සකස් කරන ලද.....දුක නිවාරණය කරන ......ආර්ය සමූහයන් විසින් වඳිනු ලබන ගිරිකණ්ඩියෙහි පිහිටුවන ලද බුදුන්ගේ ධාතුව මමද වඳීමි. සියලු තිමිර පහකරන භාග්‍යවතුන් වහන්සේගේ...ගිරිකණ්ඩි චෛත්‍ය සිද්ධස්ථානයට නැඹුරු වුණු මනස ඇතිව....කිනම් හෝ පිනක් ඇති කරන ලද ද එයින් ලෝකයේ භවදුක් ප්‍රහීණ වේවා . ත්‍රපුස්සක සහ වල්ලික යන වෙළෙඳ ගණයන් විසින් පිහිටුවන ලද ගිරිකණ්ඩ චෛත්‍යය සියලු සංසාකර ධර්මයෝ අනිත්‍යයහ."



තිරියාය ස්ථූපය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව වඩාත් තහවුරු වන්නේ එය නිසැකවම කේශධාතු නිධන්කළ ගිරිහඬුසෑය බවයි. පුරාවිද්‍යාත්මක වශයෙන් තිරියායේ පිහිටි ගිරිලිපිය අපට වැදගත් වන්නේ එහි, ස්ථූපයේ පැරැණි නාමය ‘ගිරිකණ්ඩ චෛත්‍යය’ බව දැන ගැනීමට උපකාරී වන බැවිනි. පළමුවැනි විජයබාහු රජ විසින් ගිරිකණ්ඩක නම් ආරාමයක් පිළිසකර කරවන ලද බව විහාර නාමාවලියකද සඳහන්ව ඇත. පණ්ඩුකාභය වෘත්තාන්තයේ ද ගිරිකණ්ඩ නම් ප්‍රදේශයක්ද එනම් වූ කන්දක් පිළිබඳවද සඳහන් වේ. පණ්ඩුකාභය කුමරු තම පළමු කඳවුර පිහිටවූයේ ගිරිකණ්ඩ පබ්බතයේය.ඔහුගේ එක් මාමණ්ඩියක වුයේ ගිරිකණ්ඩ ප්‍රදේශය පාලනය කළ ගිරිකණ්ඩ සිවය.
                                    
කුමරු විසින් සිය මාමණ්ඩිය ගේ දියණිය තම අනාගත රැජින ලෙස දිනාගැනීමේ වෘත්තාන්තයට පසුබිම් වූයේ ගිරිකණ්ඩ ප්‍රදේශයයි. බුද්ධඝෝෂ හිමියන් විසින්ද ගිරිකණ්ඩ විහාරයක් හා එහි පිහිටි චෛත්‍යයක් පිළිබඳව සඳහන් කොට ඇත. ඔහුගේ එක් මාමණ්ඩියක වුයේ ගිරිකණ්ඩ ප්‍රදේශය පාලනය කළ ගිරිකණ්ඩ සිවය. කුමරු විසින් සිය මාමණ්ඩිය ගේ දියණිය තම අනාගත රැජින ලෙස දිනාගැනීමේ වෘත්තාන්තයට පසුබිම් වූයේ ගිරිකණ්ඩ ප්‍රදේශයයි. බුද්ධඝෝෂ හිමියන් විසින්ද ගිරිකණ්ඩ විහාරයක් හා එහි පිහිටි චෛත්‍යයක් පිළිබඳව සඳහන් කොට ඇත. ඔහුගේ එක් මාමණ්ඩියක වුයේ ගිරිකණ්ඩ ප්‍රදේශය පාලනය කළ ගිරිකණ්ඩ සිවය. කුමරු විසින් සිය මාමණ්ඩිය ගේ දියණිය තම අනාගත රැජින ලෙස දිනාගැනීමේ වෘත්තාන්තයට පසුබිම් වූයේ ගිරිකණ්ඩ ප්‍රදේශයයි. බුද්ධඝෝෂ හිමියන් විසින්ද ගිරිකණ්ඩ විහාරයක් හා එහි පිහිටි චෛත්‍යයක් පිළිබඳව සඳහන් කොට ඇත.

තිරියාය ගිරිලිපියෙහි පස්වැනි පෙළෙහි එන "ගිරිකණ්ඩක චෛත්‍යය අවලෝකිතේශ්වරගේ නිවහනකි" යන පාඨය විශේෂ අවධානයට යොමුවිය යුතුව ඇත. මෙම අවලෝකිතේශ්වර නම් මහායාන බෝධිසත්වයන් වන්දනාමාන කිරීම පැරැණි ලංකාවේ ප්‍රචලිතව පැවතුනේය. එහෙත් සාහිත්‍ය ග්‍රන්ථකරණයේදී සහ සෙල්ලිපිවල ඔහු සඳහන් වන්නේ ලෝකේශ්වර ලෝකේශ්වරනාථ හෝ නාථ යනුවෙනි. වර්තමානයේ නාථ යනුවෙන් ව්‍යවහාර වෙයි. එබැවින් සත්වන හෝ අටවන සියවසේ තිරියායේ පැරැණි ආරාමය මහායානික, නොවූයේ නම් මහායානයට නැඹුරු වූ බව එයින් අනාවරණය වෙයි. සෙල්ලිපියෙහි එන කර්තෘගේ ප්‍රාර්ථනාව අනුව ඔහුද නිසැකවම මහායානික වූ බව පැහැදිලිය. තිරියාය මෙන්ම අසල වූ කුච්චවේලී සෙල්ලිපියද මහායානික වන බැවින් එම කාලයෙහි මහායානික පිරිස් ලක්දිව නැගෙනහිර වෙරළබඩ බලවත්ව සිටි බවට සාධක ඇත. ඒ නිසාම මහාවිහාරික ආභාෂයට රචිත මහාවංශයේ මෙන්ම ලලිත විස්තරයද උපුටා දක්වන විද්වතුන් වෙලද දෙබෑයන්ගේ සිහුවීම ඉන්දියාවට ඈදා ඇත.


මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය. මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය.ගිරිහඬුසෑයේ වත්මන් විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමිපාණෝය.

හිරිවඩුන්න ප්‍රදේශයේදී බුද්ධත්වයට පත්වූ බුදුන්වහන්සේ මුනගැසුනු වෙලද දෙබෑයන් විසින් තිරියායේ මෙම සෑය ඉදිකල බව ජනප්‍රවාද අනුව පමනක් නොව පුරාවිද්‍යාත්මකවද සනාථ වේ. එමෙන්ම මේ ස්ථානය ලෝ ප්‍රකට කරුනකි. නමුත් සමහරුන් විසින් මෙම වෙලද දෙබෑය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මේ සෑය ඉදිකල බවට හුදු මතයක් ප්‍රකාශ කරති. මහාවංශ සරනං ගච්චාමී කියනවුන් එසේ කීවද එය සනාථ කල නොහැක. එපමණක් නොව එය ඔවුන්ටම පිලිගත නොහැකි කාරණයක් වනුයේ විජයගේ පැමිණීමට පෙර මෙරට ජනාවාස නොවූයේය යන මිත්‍යාව ඔවුන් හිස් මුදුනෙන් පිලිගෙන සිටීමය. ජනාවාස නොවූ රටකට වෙලදුන් පැමිනෙන්නේ කුමණ් කරුනක් ඉ‍ටුකරගන්නට දැයි ඇසිය යුත්තේ ඔවුන්ගෙන්මය.

කෙසේ වෙතත් ලෝකයේ පලමුවන දාගැබට හිමිකම් කියන්නේ මේ හෙලදිවයිනයි. දැන් එය සනාථ වී අවසානය.වර්තමානයේ නිදහස් නිවහල් ප්‍රදේශයක් වන තිරියාය බෞද්ධ උරුමය සුරැකීම අප සියලු දෙනාගේ අයිතිය හා වගකීම වනු ඇත. තිරියාය ගිරිලිපිය අනුව පාරිශුද්ධත්වය පිළිබඳව මහත් කීර්තියක් ඉසිලූ ගිරිකණ්ඩක චෛත්‍යය ජීවමාන බුදුරජාණන් වහන්සේ ස්මරණය පිණිස යෝග්‍ය වූ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පූජණීය පුණ්‍යභූමියක් ලෙස සදාකල් පවතිනු ඇත.

 (ඇතැම් ඡායාරූප ලංකාදීප පුවත්පතෙන් උපුටාගන්නා ලදී)

No comments:

Post a Comment