Monday, November 26, 2012

සංවරත්තේන සීලං (ආසවා සංවරා පහාතබ්බා)


අනුපුබ්බංගම  නිවන්  මාර්ගයේ  දෙවන  පියවර  වන්නේ  සංවරේන  පහාතබ්බා යනුවෙන් දේශණා කළ සංවරත්වයට පත්වීමෙන් සීලයේ පිහිටීමයි. තම ක‍්‍රියා, වදන්, සිතිවිලි යන තුන්දොරම පාලනය කරගත හැකි වන්නේ තමන්ගේම ඉන්ද්‍රියයන් හයම සංවර  කරගැනීමෙනි.  විඤ්ඤාණය  හැම  විටම  උත්සාහ  දරන්නේ  ඉන්ද්‍රියයන්  හයම උපකාරයෙන් ලෝභ-අලෝභ, ද්වේෂ - අද්වේෂ, මෝහ-අමෝහ ගති ලක්ෂණ එකතුකර විඤ්ඤාණයේ ආහාර සඳහා ඒවා ගබඩා කර ගැනීමටයි. මේ එකතු කරන ආහාර එකතු කිරීමෙන් වැළකී, එකතු කිරීමෙන් වෙන්වී, වාරණය කිරීම සංවරත්වයට පත්වීමයි. මෙහිදී කළ යුතු දේ නිවැරදිව තේරුම් නොගත්තොත් ඉන්ද්‍රියයන් සංවර කරගත නොහැකිය. අපි ඉන්ද්‍රියයන් හයම ආයතන හයක් ලෙසද නම් කරන්නේ මේ ආයතන හයෙහිම එකම රාජකාරිය එකතු කිරීම නිසයි. ආයතන යනු එකතු කරන - අයකරන තැන් යන තේරුමයි.

අද සම්මත භාෂාවෙන් සංවරයන පදයෙන් අදහස් කරන සංවරවීමත්, බුද්ධ භාෂිතයේ සංවරේන පහාතබ්බායනුවෙන් වදාළ සංවරවීමත් යන ක‍්‍රියාමාර්ග දෙක අතර විශාල වෙනසක් ඇත. ඉන්ද්‍රියයන් හය හරහාම විඤ්ඤාණය එකතු කරන ගතිගුණ, ගති ලක්ෂණ දැකගත්තේ නැතිනම් සංදිට්ඨිකෝ් නොවුයේ නම් සංවර විය නොහැකිය. මේ  නිසා  මුල්  පියවර  නිවැරදිව  තේරුම්  නොගෙන  ධම්මෝ  සංදිට්ඨිකෝ  නොවී, දස්සනේන  සම්පන්නෝ  නොවී,  සං  දැකනොගෙන  සංවර  වීමක්  ගැන  සිතීමටවත් නොහැකිය. සංවරත්වයට පත්විය හැකි වන්නේ හේතුඵල දහමට බහා ගළපා ඉන්ද්‍රියයන් හරහා එකතු කරගන්නා ගති ලක්ෂණයන් වල ආදීනව හා ආනිසංස නිවැරදිව දැක ගැනීමෙන් ම පමණි.

 භාවනා කිරීමට, විපස්සනා අනුපස්සනා   කිරීමට, සමාධි ගත වීමට පෙර සංවරත්වයට පත්ව, සීලයේ පිහිටා කටයුතු කළයුතු යැයි බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළේ මේ ආකාරයෙන් සංවරත්වයට පත්වීමයි. සංවරඑකතු කිරීමෙන් වැළකී, සංවරත්වය තුළින්ම පිහිටන සීලයේ පිහිටා කටයුතු නොකළ හොත් සමාධියක පිහිටා, එකදිගටම සමාධිගත වී සමාපත්තියක පිහිටීමටද නොහැකිය. මේ අනුව ඵල සමාපත්තියට පත්වීම සඳහා සංවරත්වය තුළින්ම පිහිටන සීලය මිස සිල්වතක් සමාදන් වී, සිල් රැුකීමෙන් ලබන ලෞකික ශික්ෂණය ප‍්‍රමාණවත් නොවේ.
නිවන් අවබෝධ කර ගන්නට අවංකවම උත්සාහ දරණ සෑම කෙනෙක්ම සංවර සීලය  නැමති  බුද්ධ  භාෂිතයේ  පෙන්වා  වදාළ  වදන්වල  ධර්ම  අර්ථයම  නිවැරදිවත්, යථාපරිදිත් තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. විපස්සනා නුවණ පහළ කර ගැනීමටත්, සමාපත්තියට පත්වීමටත්, සම්මා අංගයන් නිවැරදිව තේරුම් ගෙන, ”සංවලින් පූර්ණ ලෙස මීදි නිදහස්ව නිවන් අවබෝධ කරගන්නටත් මිනිසෙකුට හැකියාව ලැබෙන්නේ යථාවබෝධයෙන්ම පිහිටන සංවර සීලයේ පිහිටා කටයුතු කිරීමෙන් පමණි. ජීවිතයක් පැවැත්වීම සඳහා විඤ්ඤාණය එකතුකරගන්නා ආහාර, ලෝභ-අලෝභ, ද්වේෂ - අද්වේෂ, මෝහ-අමෝහ සියල්ලම එකතු කිරීම, ”සංයන පදයෙන් බුද්ධ භාෂිතයෙහි ගෙන හැර දැක්වීය. මේ ලෙස ඉන්ද්‍රියයන් හරහා එකතු කර ගන්නා සංඑකතු කිරීමෙන් වැළකී, ”සංවරවීම සඳහා සංනිවැරදිව දැක ගත යුතුය. නිවැරදිව සංදැකගත හැක්කේ හේතුඵල දහමට බහා ගළපා බලා සත්‍යය දැක ගැනීමෙන්ම පමණි. සම්මායනු මෙසේ ඉන්ද්‍රියයන් හරහා එකතු කරගන්නා ලෝභ - අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ - අමෝහ එකතු කිරීමෙන් ද, ගබඩා කිරීමෙන්ද, භාවිතා කිරීමෙන්ද වැළකී මිදී නිදහස් වීමයි. කර්ම බීජ ලෙසින් පෙන්වා වදාළ මෙම චිත්ත ශක්තීන් එකතු කිරීම නවත්වා අතීතයේ එකතුකර,ගබඩාකර පවතින සියලූ කර්ම බීජද සළාහැර, ප‍්‍රහාණය කර ඒවා භාවිතයෙන් ද වැළකී, මිදීනිදහස් වීම නිවන් අවබෝධ කර ගැනීමයි.

බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ සංවර සීලයයනු යම් කිසි සිල් වතක් සමාදන්වීම හෝ සිල්වතක් රැුකීම හෝ ධූතාංගයක් රැකීම හෝ කරමින් කල්ප ගණනක් කාලය ගත කළත්  සම්පූර්ණ  කර  ගත  හැකි  සංවර  සීලයක්  නොවේ.  ඉන්ද්‍රියයන්  හරහා  එකතු කරගන්නා ගති ලක්ෂණයන් පිළිබඳව යථාභූත ඥාණයෙන්, යෝනිසෝමනසිකාරයෙන් නොදැක,  සං  නොදැක,  සිල්වතක්  සමාදන්  වීමෙන්  හෝ  සිල්වතක්  රැුකීමෙන්  හෝ ධූතාංගයක් සමාදන් වීමෙන් හෝ නිවනට උපකාරවන සංවර සීලයේ නොපිහිටන බව නිවැරදිවම තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.
 යං සමාදානං තං වතං - සංවරත්තේන සීලං

යන  පදයේ  බුදුපියාණන්  වතක්  සමාදන්  වීමෙහිත්  සංවර  වී  සීලයේ  පිහිටා  කටයුතු කිරීමෙහිත්, වෙනස්කම් ඉතාම පැහැදිළිව ප‍්‍රකාශ කර වදාළ සේක. මේ අනුව සමාදන් වී රකින සිල්වතක් සංදැක, සංවර වී, සංවරත්වය තුළින් පිහිටන සීලයත් යන දෙක එකක්ම නොව දෙයාකාර දෙවිධියක ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුය. එකක් සමාදන් වී
තාවකාලික වෙන්වීමකි. අනික පූර්ණ යථාවබෝධයෙන් සම්පූර්ණයෙන් ම වැළකී, වෙන් වී නිදහස් වීමකි.
  
එදා බුදුපියාණන් වැඩසිටි යුගයේ ජන්බුද්වීපයේ පැවති ආගම් හැට ගණනකම මූලික හරය වූයේ යම් සිල්වතක්, ධූතාංගයක් සමාදන් වී ඒ වත, ඒ සීලය රැුකීම පරම ආහාරය කොට එයම පරම විමුක්තියට පත්වීමේ එකම මඟ ලෙසින් තේරුම්ගෙන ක‍්‍රියා කිරීමයි. නිගණ්ඨ වත ගැන නිගණ්ඨයින් කල්පනා කළේ විමුක්තිය සඳහා වූ එකම සිල්වත එයම ලෙසයි. බුදුපියාණන් වසර හයක්ම එදා ජන්බුද්වීපයේ පැවති සියලූ ආගම්වල විවිධ ආකාර වූ සිල්වත්, ධූතාංග, ප‍්‍රායෝගිකවම අත්හදා බලා ඒ කිසිම වතකින් හෝ සිල්වතක් රැකීමෙන් හෝ ධූතාංගයකින් හෝ නිවන, ප‍්‍රඥා විමුක්තිය නොලැබෙන බව අධ්‍යයනය කර, පර්යේෂණ කර යථාවබෝධය ලබාගත් බව බ‍්‍රහ්මජාල සූත‍්‍රයේ පෙන්වාදුන් කරුණු වලින්ම මනා ලෙස ඔප්පුවෙයි. මේ කිසිඳු ආගමක, කිසිඳු සිල්වතක, ”සංවරවීමෙන් ලබන සංවරත්වයෙන් පිහිටන ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳ දැනුමක් හෝ ඉගැන්වීමක් හෝ නොතිබූ බව දුටු බුදුපියාණන් සංවර සීලයේ පිහිටුවා ක‍්‍රියාකිරීම ම පමණක් නිවනට, පූර්ණ විමුක්තියට මඟ බව නිවැරදිවම පෙන්වා වදාළහ. බුදුපියාණන් වැඩසිටි එකල ඇදහූ සියලූ ආගම්වල හරය වූ සිල්වතක් රැකීම, ධූතාංගයක් රැකීම මෙන්ම විවිධ ආකාර වූ වතක පිහිටා කටයුතු කිරීම හෝ වතක් සමාදන් වීම මේ ලෞකිකත්වය තුළම අතරමං වෙන, සංවරත්වයට බාධාවන් වන වතක් රැුකීමක්ම පමණක් බව දැක සීලබ්බත පරාමාසයෙන් ද වෙන්වී, මිදී නිදහස්වීම නිවන් දැකීමට අත්‍යාවශ්‍ය වූ සංයෝජනයකින් මිදීමක් බවද ප‍්‍රකාශ කර වදාළ සේක. සිල්වතකම එල්ලී, සිල්වත්කම පරම ආහාරය කොට, එකම විමුක්ති මාර්ගය  කොට,  දැඩි  දෘෂ්ඨියකට  පත්වීම  දෘෂ්ඨිගතවී  කටයුතු  කිරීම,  යම්  බැඳීමක් සංයෝජනයක් මිස සංවරත්වයට පත්වීමක් නොවන බවද දේශණා කළ සේක. සියලූ දෘෂ්ඨි වලින් මිදී, සියලූ වත් වලින් මිදී නිදහස් වීමම නිවන ලෙස ද දේශණා කළ සේක. සම්මා (සං+මා) දෘෂ්ඨියෙහි පිහිටීම යනු එකතු කරගත් සියලූ ගති ලක්ෂණ වලින් පූර්ණ ලෙස මිදී නිදහස් වීමයි.
මේ ප‍්‍රකාශය ගැන කලබල නොවී, ඉවසීමෙන් විමසා බලා, කිහිප වරක් කල්පනා කර මනස මෙහෙයවා තේරුම් ගත යුතුය. මජ්ක්‍ධිම නිකායේ එන නිවාපම සූත‍්‍රයෙත්, චුල්ලහත්ථිපදෝපම සුත‍්‍රයේත් තවත් සූත‍්‍ර දේශණා රාශියකමත් ඉතාම සරළ ලෙසත්, ඉතාම පැහැදිළි ලෙසත් බුදුපියාණන් පෙන්වා වදාළේ යථාවබෝධයෙන් පිහිටන සංවර සීලය පිළිබඳවයි. මෙය සමාදන් වීමෙන් හෝ සමාදන් කරවීමෙන් හෝ පිහිටිය හැකි සීලයක් නොවේ. ලැබූ ධර්මාවබෝධය නිසාම සංවර වී පිහිටන සීලය පටිවිරතෝ හෝතිනැතහොත් වෙන්වී, වාරණය කිරීම බව එහිදී ප‍්‍රකාශ කර ඇත.

පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝහෝති
අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝහෝති
අබ‍්‍රහ්මචරියා පහාය බ‍්‍රහ්මචාරි හෝති
මුසාවාදං පහාය මුසාවාද පටිවිරතෝහෝති
පිසුනාවාචා පහාය පිසුනාවාචා පටිවිරතෝහෝති
පරුෂාවාචා පහාය පරුෂාවාචා පටිවිරතෝහෝති
සම්ඵප්ප‍්‍රලාපං පහාය සම්ඵප්ප‍්‍රලාපා පටිවිරතෝහෝති
යනු සංවරත්වයෙන් සීලයේ පිහිටීමයි.
මෙතැන පටිවිරතෝ හෝති යනු යම් සමාදන්වීමක් පමණක්ම නොවේ. සීලයක් රැක අත්කරගත හැකි දෙයක් නොවේ. සංදිට්ඨික තත්ත්වයට පත්වී සංදැක, එකතු කිරීමේ ආදීනව හා ආනිසංස තේරුම් ගෙන සම්බන්ධයෙන් මිදී, නොබැඳී, නොඇලී රති- විරති කර, පටි ගළවා සංවර වීමයි. ධම්මෝ සංදිට්ඨිකෝ වී, දස්සනේන සම්පන්නෝ වී, සම්මා දිට්ඨිය තේරුම් ගැනීමෙන් ම පමණක් පටිවරතෝ හෝති යන තත්ත්්වයට ද පත්විය හැක. සිල් රැුකීමෙන් හෝ වතක් සමාදන් වීමෙන් හෝ පටිවිරතෝ හෝති යන තත්ත්වය පූර්ණ කරගත නොහැකිය. විශුද්ධි මාර්ගය ගුරු කොට ගැනීම නිසා එදා සිට අද දක්වාම හැම බෞද්ධයෙකුම සික්ඛාපදං සමාදියාමියැයි වතක් සමාදන් වී සංවර වීමට උත්සාහ දැරුවත් සංනොදැක, සංවරත්වයට පත්වීමක් නම් සිදුනොවේ.
බුදුපියාණන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ වූ ආසවා සංවරා පහාතබ්බායන්න  අද  හෝ  යම්  බෞද්ධයෙකුට  නිවැරදිව  තේරුම්  ගන්නට  හැකියාව,  ශක්තිය ලැබුණහොත් සීලබ්බත පරාමාස නැමති සංයෝජනයෙන් ද මිදී, සංවරත්වයෙන් සීලයෙහි ද පිහිටා නිවන නිදහස සඳහා ප‍්‍රතිපත්ති පුරාගත හැකිවෙයි.

"සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥාණං" යනුවෙන් බුද්ධ වචනයෙන්ම විස්තර කළේ සංවරත්වයට පත්වී, සීලයේ පිහිටිමක් මිස සීලයෙන් සංවර වීමක් ගැන නොවන බවද ඉතාම පැහැදිළිය.
පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්වැනි සිල්වතක් රැුකීිම, සීලයක් සමාදන් වී යහපත් ජීවිතයක් ගත කිරීම මිනිසෙකු වූ හැම කෙනෙකුටම ප‍්‍රයෝජනවත් සමාජයට සුවදායක ක‍්‍රියාවකි. සිල්වතක් රැකීම, සීලයක් සමාදන් වී කටයුතු කිරීම වැළැක්වීමේ හෝ එය නරක, නුසුදුසු දෙයක් යැයි පෙන්වා දීමට හෝ කරන උත්සාහයක් මේ ප‍්‍රකාශවල නැත. යහ පැවැත්මක් සඳහා සුචරිත සමාජයක් සඳහා ලෞකික සමාජ සම්මත සැප වි`දීම සඳහා සිල්වත් රැකීම බොහෝ සේ උපකාර වෙයි. බුදුපියාණන් නිවන් මඟ සොයා පැහැදිළි  කර  දෙන්නට  පෙර  අනන්ත  අප‍්‍රමාණ  කාලයක  පටන්  මිනිස්  ඉතිහාසයේ පෙහෙවස් සමාදන් වීම කරගෙන ආ බව ඉතාම පැහැදිළිය. දස රාජ ධර්මයෙන් රජකළ සියලූම රජවරුන්ගේ ලෞකික සැපත සඳහා පන්සිල්, අටසිල් රැුකීමද අනිවාර්යය අංගයක් විය. මහාමායා දේවියද සිද්ධාර්ථ උප්පත්තිය සිදුවන අවස්ථාවේ පවා අටසිල් සමාදන්ව සිටි  බව  බුද්ධ  ඉතිහාසයේ  පෙන්වා  දී  ඇත.  බෞද්ධයින්ට  පමණක්  නොව  හැම මිනිසෙකුටම පන්සිල්, අටසිල් වැනි සීලයක් රැකීම ලෞකික පැවැත්ම යහපත් කරගැනීම සඳහා මහෝපකාරී වේ. ඒ නිසා සිල් රැකීම, සිල්වතක් සමාදන් වීම වැරදි ක‍්‍රියාවක් හෝ නුසුදුසු ක‍්‍රියාවක් යැයි පෙන්වා දීමේ උත්සාහයක් කිසිසේත්ම මෙහි නැත.

බුදුපියාණන් සොයා දැන, පෙන්වා වදාළ උතුම් නිවන් අවබෝධකර ගැනීමේ එකම බලාපොරොත්තුවෙන්  ක‍්‍රියා  කරන  ලෞකිකත්වයෙන්  සඳහටම  මිදෙන්නට  තීරණය කරගත් මිනිසෙකුට නම් සීල්වතක් රැුකීමේ, සීලයක් සමාදන්වීමේ සම්මත ක‍්‍රියාවෙන් ඉදිරියට ගොස් සංවරත්වයෙන් සීලයේ පිහිටා කටයුතු කිරීමේ ක‍්‍රියාමාර්ගයන් තේරුම් ගෙන ඒ අනුගමනය කළ යුතු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කිරීම මෙහි එකම උත්සාහයයි. ඒ නිසා සිල්වතක් රැුකීම හා සංවරත්වයෙන් සීලයේ පිහිටීම යන ක‍්‍රියාමාර්ග දෙකෙහි වෙනස නිවැරදිව දැන හඳුනා, ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමෙන්ම පමණක් සීලයේ පිහිටා කටයුතු කිරීම නිවන් අවබෝධ වීමට උපකාර වන එකම මඟ බවද දැකිය යුතුයි. මෙම ප‍්‍රකාශය බුද්ධාගමෙහි පෙන්වා දෙන සිල් රැුකීම, සිල් සමාදන්වීම වෙනස් කිරීමට හෝ ඊට විරුද්ධ වීමට හෝ කරන ප‍්‍රකාශයක් හෝ උත්සාහයක් නොවන බව තේරුම් ගෙන සංවරත්වයෙන් සීලයේ පිහිටා කටයුතු කිරීමේ නිවැරදි මඟට පිවිස නිවන් මඟ හෙළි පෙහෙළි  කරගැනීමට  අතරමං  වී  යන  සංසාර  ගමනෙන්  සඳහටම  අත්මිදෙන්නට ක‍්‍රියාකරන අතළොස්සකට හෝ නිවැරදි මඟ පෙන්වා පැහැදිළි කරදීමේ එකම අරමුණෙන් කරන සත්‍ය ප‍්‍රකාශයක් පමණක් බවද සළකත්වා.

සාසන ළදරුවන් පළමු කොට පන්සිල්, අටසිල්, දසසිල් ආදී සීල සමාදන් වී, සිල් රැක ඒ තුළින් යම් ශික්ෂණයක් ලබා දෙවනුව පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම අසා සුත්වාන සංවරේ        පඤ්ඤා       සීලමෙයේ          ඥාණං යන    උතුම්  තත්ත්වයට   පත්විය යුතුමය. සම්මතයෙහි ඇලී කටයුතු කරනවාට වඩා යථාභූතඥාණයෙන් මේ ගැන කිහිපවරක් සිතා ඇත්ත     ඇති    සැටියෙන්     තේරුම්ගෙන කටයුතු කරන්නට හැම        මිනිසෙකුටම සත්‍යාවබෝධය ලැබේවා.

එදා බුදුපියාණන් වැඩි සිටි යුගයේ ධර්මය ශ‍්‍රවණය කරන්නට බුදුපියාණන් ඉදිරියේ වාඩි වූ කිසිවෙකුටත් පළමු කොටම බුදුපියාණන් පන්සිල්, අටසිල් හෝ වෙනත් කිසිම සීලයක් සමාදන් නොකරවූ බවත්, තිසරණයෙහි නොපිහිට වූ බවත් ඉතාම පැහැදිළිය. නමුත් ධර්ම දේශණාව ශ‍්‍රවණය කිරීමෙන් පසුව වාඩි වී සිටි තැනින් නැගිට්ටේ සංවරත්වයේ, සීලයේ පිහිටා, තිසරණ සරණ ගිය මඟඵලලාභී උත්තමයකු ලෙසින්ය. ත‍්‍රිපිටකයේ හැම තැනකම පෙන්වා ඇති මේ සත්‍යය හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. මිනිසුන් කිහිපදෙනෙකු නොව නිවන් අවබෝධ කරගත් මඟඵල ලැබූ කෝටි ගණනක් මිනිසුන්ට එදා මේ මඟ මිස වෙනත් මඟක් ඒ සඳහා සරණ නොවීය. කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයද ශ‍්‍රවණය කිරීමෙන්ම මාර්ග ඵල අවබෝධයට අත්‍යාවශ්‍ය වන අංගයක් සම්පූර්ණ කරගන්නවා මිස සිල්වතක් රැුකීම ඒ සඳහා අවශ්‍ය අංගයක්  ලෙස  ත‍්‍රිපිටකයේ  නම්  කොතැනකවත්  පෙන්වා  වදාරා  නැත.  නොපැකිළ නොබියව මේ අදහස් ලෝකයා වෙත පැහැදිළි කරදිය යුතුවන්නේ පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසා දැන, පිරිසිදු නිවන් මඟ අත්විඳින්නට පින් ඇති මිනිසුන්ට ද සිතා බලන්නට අවස්ථාව උදාකර දීම සඳහාමය. මං මුළා වූ අතරමං වූ මිනිසුන්ට ද සිතා බලා කටයුතු කරන්නට නිවැරදි මඟ පෙන්වා දීම සඳහාමය.


නිවැරදි නිවන් මග ත්‍රිපිටකයේ සූත්‍ර දේශණා ඇසුරින්
පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

No comments:

Post a Comment