Sunday, November 25, 2012

සබ්බාසව සූත්‍රය


සතර මඟ සතර ඵලයන්ට පත්වීමෙන් නිවන් අවබෝධ කර ගැනීම යනු මෙතෙක් කලක් විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වූ තම සිතින්ම පූර්ණ ලෙස මිදී නිදහස්වී චිත්ත පාරිශුද්ධත්වයට පත්වීමයි. අනන්ත අප‍්‍රමාණ වූ කාලයක් විඤ්ඤාණ තත්ත්වයෙන්ම ක‍්‍රියාත්මක වූ තමාගේ සිත පිළිබඳව මනා ලෙස තේරුම්ගෙන විඤ්ඤාණය හැසිරෙන ආකාරය පිළිබඳ යථා පරිදි දැන හඳුනාගෙන විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින තමන්ගේම සිත උපකාර කරගෙන ඒ විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධයයි. මේ  සඳහා  වෙනත්  සිතක්  පහළ  වන්නේ    නැත.  මිනිසකු  ලෙස  උපත  ලැබූ  මේ ආත්මභාවයේදීම මනස මෙහෙයවා, මනසින් කල්පනා කර,උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් යථා පරිදි සම්පූර්ණ කරගෙන තමාම තමාගෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධ කර ගැනීමයි.
මම, මගේ ආත්මය යැයි දැඩිව ගත් සත්ත්ව, පුද්ගල දෘෂ්ඨියකට පත්වීමෙන් ඇතිවන, නැතිවන, එකතු කරන, එකතු කළ දේ ගෙවී යන නියත හැසිරීම් රටාවකට එකම හේතුව කිළිටි වූ සිතින් නිරතුරු චිත්තජ ශක්තීන්, විඤ්ඤාණ ශක්තීන් (බීජ) එකතු කර ගබඩා කිරීමයි. මේවාට අපි කර්ම බීජ යැයි ද නම් කරමු. මේ ආකාරයෙන් විඤ්ඤාණ එකතු කරන විඤ්ඤාණ ශක්තීන් (බීජ) හොඳ, යහපත් හෝ නරක, අයහපත් ආකාරයේ ඒවා විය හැකිය. ඒවා අපි පින් පව් අකුසල් යැයි නම් කරමු. ඒවා කිනම් ආකාරයක හෝ චිත්තජ ශක්තීන් වුවත් මෙම බීජ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යාමට පමණක් නියත වශයෙන්ම හේතු කාරක වෙයි.

හොඳ, නරක, පින්, පව්, අකුසල් යැයි අප නම් කරන ලෝභ, අලෝභ, ද්වේෂ, අද්වේෂ, මෝහ, අමෝහ යන ගති ලක්ෂණයන් මිස වෙනත් කිසිම ආකාරයක චිත්තජ ශක්තියක්, කර්මජ බීජයක්  කිසිම   සත්ත්වයෙකුට, මිනිසෙකුට,දෙවියෙකුට හෝ ප‍්‍රාණියෙකුට තම විඤ්ඤාණයෙන් නිපදවීම එකතු කර ගැනීම කළ නොහැකිය. සංඛාර කරමින් සංඑකතු කර, චිත්තසංථානයේ තැන්පත් කර ගැනීමේ ක‍්‍රියාවලිය මේ ඉහත දැක්වූ  ගතිගුණ  එකතු  කිරීමයි.  ජීවත්වන  හැම  සත්ත්වයෙකුගේම,  ප‍්‍රාණියෙකුගේම, භූතයෙකුගේම,  දෙවියෙකුගේම  විඤ්ඤාණයේ  එකම  රාජකාරිය  නිරතුරුවම  මෙවන් චිත්ත ශක්තීන් (බීජ) එකතු කරමින් ඒවා චිත්තසංථානයේ ගබඩාකර, භාවිතයට ගතහැකි ලෙස පවත්වාගෙන යාමයි. මෙලෙස එකතුකළ ගබඩා කළ චිත්තජ ශක්තීන් (බීජ) ඵල විපාක දීමෙන් මතු මතුත් උපතක් බිහිවෙයි. කර්මජ බීජ චිත්තසංථානයේ පවතින තුරාවට මතු උපතක්ද    නියත ලෙසින්ම අනිවාර්යයෙන්ම   ඇතිවෙයි.යම් මිනිසෙකු චිත්තසංථානයේ    ගබඩා  වී  පවතින  චිත්තජ  ශක්තීන්,   කර්මජ බීජ  සළාහැර යම් ක‍්‍රියාමාර්ගයකින්  අවසන්  කරගත  හොත්    මිනිසාට  මතු  උපතක්  ලැබීමට  කිසිම ආකාරයකින් හේතුවක් ද නැත. චිත්තජ ශක්තීන් අලූතින් එකතු කිරීමද නවත්වා අතීතයේ එකතුකර ගබඩාකර ගත් කර්මජ බීජ ද සම්පූර්ණයෙන්ම සළාහැර ශුද්ධ පවිත‍්‍රවීමෙන් ම මතු උත්පත්තිවලින් ද නියත වශයෙන්ම වැළකිය හැකිවෙයි. එයම නිවන් අවබෝධයයි.
බුද්ධ ධර්මයේ කෙළෙස් ලෙස කුණු ලෙස පෙන්වා වදාළ මෙම කර්මජ බීජ,චිත්තජ ශක්තීන්, පින් හෝ පව් යන කුමන ආකාරයේ ඒවා වුවත්, නියත වශයෙන්ම ඒවා සංසාර ගමන දික්කරන සංසාර සාගරයේ සත්ත්වයා අතරමං කරන විඤ්ඤාණයේම ආහාර ලෙස භාවිතා කල හැකි දේවල්ය.

හැම පෘථග්ජන පුද්ගලයෙකුම විඤ්ඤාණයෙන් කටයුතු කරනතාක් කල් මෙසේ තමන්ම එකතුකර, ගබඩාකර ගත් කර්මජ ශක්තීන් නිසා සංයෝජන දහයකින්ම සංසාරයට බැඳී සංසාර ගමන යයි. ඒ බැඳුනු බැමිවල යම්කිසි සාරවත් බවක්, වටිනාකමක්, සුරක්‍ෂිත බවක් දකිනා නිසාම තව තවත් ඒ බැමි දහයම තදකර ගැනීමට, සියලූ ආකාර වූ ලෞකික ක‍්‍රියාකාරකම් ද කරති. මේ බැමි දහයම ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම, තම තමන්ගේ කැමැත්තෙන්ම, චන්දරාගයෙන්ම එකතුකරගත්, බැඳගත් බැමිය. පෘථග්ජන පුද්ගලයෙකු උපන්දා පටන් මරණ මොහොත දක්වාම හැම උත්සාහයක්, වීර්යයක්ම ගන්නේත්, හැම දුකක්ම විඳින්නේත්, පව්කම්, පින්කම් කරන්නේත් මේ බැමි දහයම තව තවත් තරකර, මතු උපතක් ලැබීම සහතික කර, විඤ්ඤාණ පැවැත්ම සුරක්‍ෂිත කර ගැනීමේ එකම බලාපොරොත්තුවෙනි. එවැනි බලාපොරොත්තු පැවැත්වීම විඤ්ඤාණයේ නියත ගති ලක්ෂණයයි. එයම අවිද්‍යාවයි, තණ්හාවයි.

මේ සංයෝජන දහයම, බැමි දහයම බැඳී ඇත්තේ ඒ ඒ සත්ත්වයාගේ, පුද්ගලයාගේ සිත තුළමය. විඤ්ඤාණ තත්ත්වයේ පවතින සිතෙහිමය. මේ අනුව මේ සංයෝජන දහයෙන් මිදීම මිදී බැමි දහයම ගළවා ලෙහා දමා නිදහස් විය යුත්තේද තම සිතෙන්මය. එසේ නිදහස් විය හැකි වන්නේත් ඒ ඒ සත්ත්වයාටමය. මිනිසෙකු ලෙස මනසක් ලැබ උපත ලත් මේ ආත්මභවයේ දී මේ පිළිබඳව අසා දැන තේරුම් ගෙන ලබාගත් යථාවබෝධයෙන්ම ක‍්‍රියාකල හොත් නිවන් අවබෝධ කර ගැනීම යනු පැතුමකට සීමා කර, කල් දැමිය යුතු දෙයක් නොව අද තමා තමාටම අත්විඳ ගතහැකි සත්‍යයකි. මිනිසෙකුට හැර වෙනත් කිසිම ප‍්‍රාණියෙකුට, සත්ත්වයෙකුට මේ උතුම් ධර්මය අසා දැන තේරුම් ගෙන ඒ අනුව ප‍්‍රතිපත්ති පුරා කටයුතු කරන්නට හැකි ආකාර වූ මනසක් ලබා ඔවුන් උපත ලබා නැත. මේ අනුව මිනිසත් බවටම උරුම වූ ශක්තිය මේ හැකියාව ප‍්‍රායෝජනයට ගෙන උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් අප‍්‍රමාදව අසා දැන තේරුම් ගන්නටම මිනිසත් බවෙහි ජීවත් වන සුළු කාල පාරාසේදී උපරිම ලෙස උත්සාහ කළ යුතුය.

හැම මිනිසෙකුටම මනසින් කල්පනා කර, මනස මෙහෙයවා, තේරුම්ගත හැකි ආකාරයෙන් බුදුපියාණන් දේශණා කර වදාළ නිවන් මාර්ගය අනුපුබ්බංගම වූ මාර්ගයකි. එනම්  ක‍්‍රමානුකූලව  අනුගමනය  කළයුතු  අනුපූරක  මාර්ගයකි.  අද  බොහෝ  දෙනෙකු විශේෂයෙන්ම බෞද්ධයින් යැයි කියා ගන්නා අය මේ අනුපුබ්බංගම නිවන් මාර්ගයේ මුල, මැද, අග නිවැරදිව තේරුම් ගෙන කටයුතු කරන බවක් නම් පෙනෙන්නට නැත. කුමක් හෝ කරන්නන් වාලේ කරනු මිස බුදුපියාණන් දේශණාකර වදාළ නිවැරදි නිවන් මඟ අනුගමනය නොකරන හේතුව නිසාම සංසාරයේ අතරමං වීමට කටයුතු කරති. උතුම් මිනිසත් බව ලබා උපන් මේ අවස්ථාවෙන් නිසි ඵල ප‍්‍රයෝජන ලබාගන්නට දැනුමක් තේරුමක් නැතිවම කාලය අපතේ යවති. මේ නිසාම නිවන් දැකීම යනු අද බෞද්ධයින්ගේ පැතුමකට පමණක්ම සීමා වූ දෙයකි.

නිවන් දැක ගන්නට, නිවන් අවබෝධ කර ගන්නට මේ මිනිස් ආත්මභාවයේදීම යම් මිනිසුන් පිරිසක් අවංකවම කටයුතු කරයි නම් ඒ අයගේ දැන ගැනීම සඳහා ඒ අයට මඟ අනුගමනය කර, නිවන නිදහස අත්විඳ ගැනීම සඳහා මඟ පෙන්වීමක් කිරීමට බුදුපියාණන් සූත‍්‍ර ධර්ම කිහිපයකම දේශණාකර වදාළ අනුපුබ්බංගම නිවන් මාර්ගය නිවැරදිව පැහැදිළි කර දීම අපේ යුතුකමක් සේ සළකමු.
සබ්බාසව සූත‍්‍රය කවුරුත් අසා ඇති ඉතාමත් සරළ ලෙස නිවන් මඟ පියවරෙන් පියවර විස්තර කළ මජ්ක්‍ධිම නිකායේ මුළින්ම ඉදිරිපත් කල සූත‍්‍රයකි.

සබ්බාසව සූත‍්‍රයට අනුව, අංග හතක් අනුපිළිවෙලින් සම්පූර්ණ කරගත යුතුයි.
01.      ආසවා දස්සනා පහාතබ්බා
02.      ආසවා සංවරා පහාතබ්බා
03.      ආසවා පටිසේවනා පහාතබ්බා
04.      ආසවා අධිවාසනා පහාතබ්බා
05.      ආසවා පරිවජ්ජනා පහාතබ්බා
06.      ආසවා විනෝදනා පහාතබ්බා
07.      ආසවා භාවනා පහාතබ්බා යන මේ අනුපූරක නිවන් මාර්ගයයි.

මේ අනුපූරක නිවන් මාර්ගය තවත් තැනක සංයෝජන දහයකින් මිදීමේ මාර්ගයක් ලෙසද පෙන්වා වදාරා ඇත.
01.      සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වීම.
02.      විචිකිච්චාවෙන් මිදී නිදහස් වීම.
03.      සීලබ්බතපරාමාසයෙන් මිදී නිදහස් වීම.
04.      කාම රාගයෙන් මිදී නිදහස් වීම.
05.      ව්‍යාපාද පටිඝයෙන් මිදී නිදහස් වීම.
06.      රූප රාගයෙන් මිදී නිදහස් වීම.
07.      අරූප රාගයෙන් මිදී නිදහස් වීම.
08.      මානයෙන්, මඤ්ඤතාවෙන් මිදී නිදහස් වීම.
09.      උද්ධච්චයෙන්, කුක්කුච්චයෙන් මිදී නිදහස් වීම.
10.      අවිද්‍යාවෙන් මිදී නිදහස් වීම.
යනුවෙන් දේශණාකර වදාළේ ද, දස සංයෝජනවලින් ද අනුපිළිවෙළටම නිදහස් විය යුතු බව පෙන්වා දීමටයි. තවත් සූත‍්‍ර දේශාණවකදී සුනේථ, ධාරේථ, චරාථ යනුවෙන් පියවර තුනක් පෙන්වා වදාරා ඇත.
සංච්ච විභංග සූත‍්‍රයේත්, මහා චත්තාරෝ සූත‍්‍රයෙත්, ධම්මචක්කපවත්වන සූත‍්‍රයේත් දේශණා කර පෙන්වා වදාළ පරිදි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ද අනුපිළිවෙලටම අනුපුබ්බංගම  නිවන්  මාර්ගය  ක‍්‍රමානුකූලව  අනුගමනය  කිරීමෙන්  පමණක්  සම්පූර්ණ කරගත යුතු බව පැහැදිළිවම පෙන්වා වදාරා ඇත.

මේ ලෙසින් ප‍්‍රකාශ කර පෙන්වා දුන් අනුපුබ්බංගම නිවන් මාර්ගය අද බොහෝ ගිහි පැවිදි අය දන්නවා යැයි සිතා සිටියත් ඒ අය ක‍්‍රියාකරන ආකාරයෙන් නම් පෙනෙන්නේ පළමු පියවර අතහැර, දෙවන තුන්වන පියවරයන් හෝ අගටම පෙන් වූ පියවර හෝ අනුගමනය කරනු මිස පළමු පියවර ගැන සිතා බලන්නටවත් ශක්තියක් ලැබී නැති බවයි.
හැම සූත‍්‍ර දේශාණවකදීම පැහැදිළිව පෙන්වා දුන් ආකාරයට මුල්ම පියවර වන්නේ දස්සනේන සංපන්න වී, දස්සනේන පහාතබ්බා කිරීමයි. මෙයම සුනේථ අසා දැනගත යුතුදේ ලෙසින් ද, ”ධම්මෝ සංදිට්ඨිකෝයනුවෙන් ධර්මානුකූලව සංදැක ගැනීම ලෙසින් ද, ”සම්මා දිට්ඨිලෙසින් සංවලින් සම්පූර්ණ ලෙස මිදෙනා ආකාරය අසා
දැනගත යුතු බවද ඉතා පැහැදිළිවම දේශණාකර ඇත.
යෙ ධම්මා හේතුප්පබවා
තේ සං හේතුං තථාගතෝ ආහ 
තේසං චයෝ නිරෝධෝ
ඒවා වාදී මහා සමණෝ
හේතුඵල ධර්මය පටිච්චසමුප්පාද ධර්මයඉදපච්චයතාවය යන නම් වලින් බුද්ධ භාෂිතයේ  පෙන්වා  වදාළ  සං  (එකතුකිරීමේ)  ක‍්‍රියාවලියට  මුල්  වූ  හේතුඵල  ධර්මය පිළිබඳව තේරුම් ගෙන සංනිරෝධ කිරීම ඒ භගවත් ශ‍්‍රමණයන් වහන්සේගේ දේශණාව වන බව මෙයින් මනා ලෙස ප‍්‍රකාශ වෙයි. ඒ අනුව දස්සනේන පහාතබ්බායන පළමුවන පියවර සම්පූර්ණ කර ගැනීම සඳහා,

01.හේතුඵල ධර්මය,පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිව අසා තේරුම් ගැනීම.
02.ද්වතාවය-සංඛතයකම  -  හැම  සංකල්පනාවකම  ඇති  අන්ත දෙක, දෙපැත්ත දැක ගැනීමේ ශක්තිය ලැබීම.
03. අනිච්ච, දුක්ඛ,  අනත්ථ යනුවෙන් දේශණාකර  වදාළ  ති‍්‍රලක්ඛණය නිවැරදිව තේරුම් ගැනීම.
යන    පියවර තුන පළමුකොට   සම්පූර්ණ කරගැනීමෙන්  චතුරාර්ය  සත්‍යය අවබෝධය සඳහා පදනම දමා ගැනීමයි. මේ කරුණු ගැන අසා දැන මනා අවබෝධයක් ලැබීමෙන් ම, සක්කාය දිට්ඨීයෙන් මිදී, විචිකිච්ඡුාවෙන් මිදී, සිලබ්බත පරාමාසයෙන් ද වෙන් වී සෝවාන් මාර්ග ඵලයට පත්වීම සිදුවෙයි.

හේතුඵල ධර්මතාව අසා දැන තේරුම් නොගෙන ද්වතාවය නැමති පැවැත්මෙහි ඇති නැතිවෙන අන්ත දෙක තේරුම් නොගෙන මේ සංසාර ගමන නැමති රිය ගමන ගැන හෝ මෙහි නියත ස්වභාවය වූ අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය ගැන හෝ නිවැරදිව තේරුම් ගත නොහැකිය. මේ කරුණු තුන පිළිබඳව යම්කිසි යථාවබෝධයක් ලැබීමෙන් ම පමණක් චතුරාර්ය සත්‍යයේ මූලික අංගයන් ද එනම් දුක්ඛ සත්‍යයද අවබෝධ කරගත හැකිවෙයි.

ජීවිත කාලයක් තුළම සිල් රැුකීම හෝ සිල් වතක් සමාදන් වීම හෝ ධූතාංගයන් රැකීම මෙන්ම මුළු ජීවිත කාලයම භාවනා කිරීමෙන් කාලය ගෙවා දැමීමත්, ‘‘දස්සනේ පහාතබ්බා’’ යන මුල් පියවර සම්පූර්ණ කර ගැනීමක්් නම් සිදු නොවේ. පළමු පියවර ලෙසින්       පෙන්වා        වදාළ  දස්සනේන    පහාතබ්බා          සම්පූර්ණ කරනොගෙන නිවන් අවබෝධයද සිදු නොවන බව හැම බෞද්ධයෙකුම නිවැරදිව තේරුම් ගත යුතුය. සීල, සමාධි, ප‍්‍රඥා යනු නිවන් මගේ ප‍්‍රධාන අංගයෝයි. සංවරවීම, සංසිඳුවීම, සම්මාවීම යනු ද මේ ප‍්‍රධාන අංගයෝ තුනම වෙන වචනවලින් සම්පූර්ණ කිරීමකි. මේ අංග තුනම සම්පූර්ණ කරගත හැකි වන්නේ සංදැකගත හැකි වුවහොත් පමණි. දස්සනේන සංපන්නෝයනුවෙන් ද ධම්මෝ සංදිට්ඨිකෝයනුවෙන් සම්මා දිට්ඨියයනුවෙන් ද සුනේථයනුවෙන් ද බුද්ධ භාෂිතයේ ප‍්‍රකාශකර පෙන්වා වදාළේ සංදැක සංතේරුම් ගැනීම සංඑකතුකර ගන්නා ආකාරය නිවැරදිව දැක ගැනීමෙන් ම සංවර වී, සංසිඳවා, සම්මා වී නිවන් අවබෝධය කරගත හැකි බව පෙන්වා දීමටයි. පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම ඇසා දැන සෝතාවධානේ පඤ්ඤා සුතමයේ ඥාණංයන තත්ත්වයට පත්වී, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබීමටත්, සෝතාපන්න මාර්ග ඵලයට පත්වීමටත් මිනිසෙකුට උපකාරවන දස්සනේන පහාතබ්බා වීම පළමුවන පියවරයි.

ත‍්‍රිපිටකය හෝ වෙනත් බෞද්ධ ඉතිහාසය පොත් පත් හෝ කියවා ඇති හැම මිනිසෙකුම තේරුම්ගත යුතු වැදගත්ම දෙයක් නම් එදා බුදුපියාණන් වැඩසිටි කාලයේත්, අරහතුන්  වහන්සේලා  වැඩසිටි  යුගයේත්  බුදුපියාණන්  හමුවට    දස  දහස්  ගණන් විවිධාකාර මිනිසුන්ට බුදුපියාණන් මුලින්ම පන්සිල් සමාදන් කරවීමක් හෝ තිසරණයෙහි පිහිටුවීමක් හෝ නොකළ බවයි. මිනිස්සු බුදුපියාණන් ඉදිරියේ වැඳ නමස්කාර කර, එකත්පසව ඉඳගෙන, පරම පවිත‍්‍ර ධර්මයම ශ‍්‍රවණය කළහ. පැයක් දෙකක් ධර්මය ශ‍්‍රවණය කළ බොහෝ මිනිසුන් එතනින් නැගිට්ටේ සෝවාන් මාර්ගඵලයට ද පත්වීමෙන්ය. මේ මාර්ගඵලයට පත්වීම සිදු වූයේ දස්සනේන සම්පන්නෝ වීම නිසාම මිස සිල් රැකීමෙන් හෝ භාවනා කිරීමෙන් කර්මස්ථාන වැඞීමෙන් නම් නොවේ. බුදුපියාණන් මිනිසුන්ට දේශණා කර වදාළේ හේතුඵල ධර්මය, ද්වතාවය හා ත‍්‍රිලක්ඛණයයි. මේ මූලික කරුණු තුන පැහැදිළි කර දුන් පසුව ලැබූ ධර්මාවබෝධය නිසාම සෝවාන් මාර්ගඵලයට පත්වීම සිදුවිය. උපමා කතා, උපහැරණ කතා, චරිත කතා මෙන්ම විවිධ පරිවාර කතාද ගෙනහැර දැක්වූයේ හේතුඵල ධර්මය, ද්වතාවය, ත‍්‍රිලක්ඛණය විග‍්‍රහකර විවරණය කරදීම සඳහාමය.

හේතුඵල ධර්මය දේශණා කිරීමෙන් ද, ද්වතාවය පෙන්වා පැහැදිළි කර දීමෙන් ද, අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය පැහැදිළි කරදීමෙන් ද බුදුපියාණන් පෙන්වා වදාළේ  මේ  ලෞකික  පැවැත්මෙහි,  ජීවත්වීමෙහි  ඇත්ත  ස්වරූපය,  සත්‍ය  ස්වභාවය, යථාභූතඥාණයෙන් මූලික කරුණු පහදා දීමයි. මේ පැවැත්ම තුළ, ජීවත්වීම තුළ, අතරමංවී, මංමුළාවී, සැප ප‍්‍රිය මධුර දේම සොයායමින්, දුකම උරුම කරගන්නා දුක්ම විඳිමින්, සංසාර රිය ගමනක් යනවා මිස වෙනත් අර්ථයක්, වටිනාකමක් ඇති යමක් නොකරන බව පෙන්වා පැහැදිළි කරදීමට ම ධර්මය දේශණා කළ සේක.

මේ සංසාර ගමන, රිය ගමනට හේතුකාරක වූ තමන්ගේම හැසිරීම් රටාව නිවැරදිව තේරුම්ගත් මොහොතේ පටන්ම තමන්ම සාරයි කියා මෙතුවක් කල් තම කැමැත්තෙන්ම එකතු කළ ඒ හේතුන්ගේම චිත්ත ශක්තීන් නිපදවීමෙන්ම කර්මජ බීජ රැුස්කිරීමෙන් ම නිදහස් වීමට  ඕනෑකමක්, ශක්තියක්, හැකියාවක් අවබෝධයක් ලැබීම අරිය මාර්ගයට සම්ප‍්‍රාප්ත වීමයි.

නිවන් අවබෝධ කරගන්නට උපකාර වන උතුම් පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය නිවැරදිව අසා දැනගත හැකි වන්නේ කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම පමණි. කළ්‍යාණ මිත‍්‍රයා යනු කෙළෙස් කුණු සළාහැර, කළු නසන්නට මඟ කියා පැහැදිළි කරදෙන උත්තමයායි. කුණු සළාහැර, කෙළෙස් නසා හැර, කුණු එකතු කිරීමෙන් ද, කුණු භාවිතා කිරීමෙන් ද වැළකී, පාරිශුද්ධතාවයට පත්වන්නට තවත් මිනිසෙකුට නිවැරදිව මඟ කියා පැහැදිළි කර විග‍්‍රහ කරදිය හැකි වන්නේ කළ්‍යාණ මිත‍්‍රයෙකුටම පමණි. අප‍්‍රමාණ දුක්විඳින ලෝක සත්ත්වයා කෙරෙහි හටගත් අනුකම්පාවෙන්ම ඒ ලෝක සත්ත්වයා විඳින දුක් දැක ඒ දුකෙන් ඔවුන්වත් නිදහස් කිරීමේ එකම බලාපොරොත්තුවෙන් නිවන් මඟ කියා පැහැදිළි කරදිය හැකි වන්නේ    මඟ  අත්විඳ  ගත්,  මඟනැණ  පහළ  වූ,  පූර්වභාග  නුවණ  පහළ  වූ  අරිය උත්තමයෙකුට ම පමණි.

මේ සංසාර රිය ගමන පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකගත් රිය අරිය කළ අරිය උත්තමයෙකුටම පමණක් අනෙකුත් පෘථග්ජන මිනිසුන්ටත් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබාදීමටත් පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබාදීමටත් පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය කියා පැහැදිළි කර නිවැරදිව තේරුම් කර දෙන්නටත් ශක්තිය හා හැකියාව ඇත. එවන් උත්තමයෙකු ලෞකිකත්වයේ ඇති නිසරු බව, නොවටිනා බව, අනාථ බව, අනිච්ච බව, නිවැරිදිවම තේරුම්ගෙන ඇති නිසා ලෞකිකත්වය සංවර්ධනය කිරීම සඳහා හෝ වෙනත් ලෞකික යහපතක් පිණිස හෝ යමක් දේශණා නොකරති.

කළ්‍යාණ මිත‍්‍රයෙකු ලෙසින් අනිකුත් ලෝක සත්ත්වයාට ධර්මය දේශණා කරන්නේ කිසියම්  ආකාරයකින්  තමන්ට  ආපසු  යම්  ප‍්‍රතිලාභයක්  බලාපොරොත්තුවෙන්  හෝ වචනයකින්වත්  කිර්තියක්,  ප‍්‍රශංසාවක්,  ප‍්‍රසිද්ධියක්,  බලාපොරොත්තුවෙන්  හෝ  රජ සිටුවරු සතුටු කිරීම පිණිස හෝ වෙනත් ලෞකික, භෞතික වශයෙන් ලැබිය හැකි කිසියම් ප‍්‍රතිලාභයක්   බලාපොරොත්තුවෙන් හෝ   නොවේ. චතුරාර්ය          සත්‍යය අවබෝධකරගත් එවැනි අරිය උත්තමයෙකු උතුම් බුද්ධ ධර්මය දේශණාකර ලෝකයාට පැහැදිළි කර දෙන්නේ තමන් අවබෝධකරගත් සත්‍යයන් පින්වත් දෙව් මිනිසුන්ට ද අවබෝධ කර දී නිවන් මඟ හෙළි පෙහෙළි කරදීමේ පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබාදීමේ එකම බලාපොරොත්තුවෙනි.

පොතපත කියවාගත් උගත්කමෙන් හෝ තවත් කෙනෙකුගෙන් අසා දැන කියාගත් දේ අනුව හෝ පෘථග්ජන පුද්ගලයෙකු කරනු ලබන දේශණාවකින් තවත් පෘථග්ජන පුද්ගලයෙකුට කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් නොලැබෙයි.පරතෝඝෝෂක ප‍්‍රත්‍යයද නොලැබෙයි. පොත පත කියවා හෝ උගතුන්ගෙන් අසා දැනගත් දේ අනුව හෝ කරනුලබන දේශණා අනුමානයෙන්ම කරන දේශණා මිස ප‍්‍රකාශ මිස තමන්ම අත්විඳගත්, අත්දැකගත් සත්‍යයයන් ප‍්‍රකාශ කිරීම නොවේ. මේ ලෞකිකත්වය තුළම යම්කිසි වෙනස්කමක්  ඇති    කරගන්නට   සුගතියට පත්වන්නට ඒවා  උපකාර වුවත්, ලෞකිකත්වයෙන් මිදී ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට නම් ඒවා උපකාර නොවේ.
බාහිර පෙනුමෙන්, හැසිරීමෙන් හෝ ගිහි පැවිදිකම නිසා හෝ අරිය උත්තමයෙකු හා පෘථග්ජන පුද්ගලයෙකු අතර ඇති වෙනස බාහිර ලෝකයට පහසුවෙන් තේරුම් ගන්නටද අපහසුය. නිවන් අවබෝධ කර ගන්නට අවංකවම උත්සාහ දරණ නිවන් මඟ සොයන කෙනෙකුට අරිය උත්තමයෙකු තෝරා බේරා හඳුනාගත හැකි වන්නේ ඔහු දේශණා  කරන  ධර්මය  ඇසුරෙන්ම  පමණි.  නිවන්  අවබෝධ  කරගන්නට  අවංකවම උත්සාහ  නොකරන   පිළිබඳ  විශ්වාස  නොකරන  ලෞකිකත්වයෙන්  සුවයම  පතන බොහෝ මිනිසුන්ට අරිය උත්තමයෙකුගේ වටිනාකම හෝ ඒ දේශණා කරන උතුම් ධර්මය තේරුම් ගන්නට ශක්තියක් නැත. එවන් මිනිසුන් පරම පවිත‍්‍ර ධර්මයද දකින්නේ සැප සම්පත් විනාශකරන, පැවැත්මට විරුද්ධ වූ විනාශකාරී දෙයක් ලෙසින් පමණි.



-නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි-
නිවැරදි නිවන් මග ත්‍රිපිටකයේ සූත්‍ර දේශණා ඇසුරින්
(පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි)

No comments:

Post a Comment