Thursday, November 1, 2012

මහා කෝළ සන්නි යකුගේ අවතාර දහ අටෙන් උපන් පහතරට දහ අට සන්නිය


අතීතයේ ලාංකීය ජන ජීවිතය සරල එකක්‌ විය. ඒ සඳහා සුවිශේෂී සංස්‌කෘතික පදනමක්‌ පැවතුණි. එසේ පැවතුණු සංස්‌කෘතියෙන් ලද වැදගත් දායාදයකි ගුප්ත විද්‍යාව. දේශීය නර්තන සම්ප්‍රදායන්හි දක්‌නට ලැබෙන ශාන්ති කර්ම ගුප්ත විද්‍යාව අනුව බිහිවුණි. යක්‍ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ යනාදී අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් ඇතිවන්නා වූ අපල උවදුරු දුරුකොට සෙතක්‌ ශාන්තියක්‌ උදාකරගැනීමේ පරම අභිලාසයෙන් යුතුව ශාන්තිකර්ම සමාජයේ සිදුකරන ලදී. තවද වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, හදි හූනියම්, ඔල්මාදගති, පිස්‌සු වැටීම් වැනි නොයෙකුත් රෝග පීඩාවන්ගෙන් අතමිදීම උදෙසා ශාන්තිකර්ම සිදුකරන ලදී. මෙහිදී පහතරට සම්ප්‍රදායේ එන යක්‌ තොවිල් වැදගත් වේ. ඒ අතර,

i. දහඅට සන්නිය හෙවත් සන්නි යකුම

ii. රටයකුම හෙවත් රිද්දියාගය

iii. සූනියම් යාගය

iv. මහසොහොන් සමයම

යනාදී යක්‌ තොවිල් ප්‍රධාන තැන් ගනු ලැබේ.

මෙලෙස පවත්වනු ලබන යක්‌ තොවිල් අතරින් "දහඅට සන්නිය හෙවත් සන්නි යකුමට" වැදගත් ස්‌ථානයක්‌ හිමිවේ. දේශීය වෛද්‍ය ශාස්‌ත්‍රයේ සඳහන්ව තිබෙන මූලික සන්නි රෝග මූර්තිමත් කිරීම සඳහා සන්නි යක්‍ෂයන්ගේ අවතාර උපයෝගී කොට ගෙන ඇත. මෙහිදී මහා කෝළ සන්නි යකුගේ අවතාර දහඅට සන්නි වශයෙන් හඳුන්වති. සන්නි යනු හුදෙක්‌ම රෝග විශේෂයකි. මෙපරිද්දෙන් සන්නි යකු මුල් කර ගනිමින් ගොඩනැගුණු දහඅට සන්නිය හෙවත් සන්නි යකුම ශාන්ති කර්මයේ කතා පුවතද වැදගත් වේ. එය කෙටියෙන් දක්‌වතොත් මෙසේය. කතා පුවත

දඹදිව විශාලා මහනුවර රජ කළ සංඛපාල රජු තම රාජ්‍යයේ ආරක්‍ෂාව පතා සටනකට යැමට සූදානම් වූ මොහොතේ තම බිසව වූ ආයුපාලා කුමරිය දරුගැබක්‌ පිළිසිඳගෙන සිටි බැවින් ඒ පුවත රජතුමා වෙත නොදන්වා රහසක්‌ව තබා ගන්නා ලදී. අනතුරුව රජු යුද්ධය සඳහා පිටත්ව ගිය විට දේවියට හටගත් දොළක්‌ මහ ඇමැතිගේ මාර්ගයෙන් සන්සිඳුවා ගත්තේය. එසේ හටගත් දොළ මී අඹ කෑමට උපන් එකක්‌ විය. මී අඹ ඵල නොදැරූ අවාර කාලයක්‌ වුවද මුළු රාජ්‍යය පුරාම ඇවිද මී අඹයක්‌ සොයා ගෙනවිත් බිසවගේ දොළ සන්සිඳවීය. මේ අතර තුරදී එම නුවරම තවත් එක්‌ ස්‌ත්‍රියකට බිසවට උපන් දොළම ඉපිද බිසවගේ මී අඹය ඉල්ලා සිටි නමුත් එය නොලැබීමෙන් කෝපයට පත් වූවාය. එසේ බිසව කෙරේ ඇති කරගත් කෝපයෙන් රජු යුද්ධයට ගොස්‌ එන පෙරමග රැක සිට රජුහට මුසා බස්‌ පවසා රජුව මුළා කොට බිසව පිළිබඳ රජු තුළ වෛරයක්‌ ඇති කළේය. මේ පුවතින් මහත් උදහසට පත් වූ රජු දේවිය ගස්‌ දෙකක බැඳ දෙපළු කරන ලදී. මෙහිදී බිසවගේ කුසෙහි පිළිසිඳගෙන තිබූ කළලය බිඳී එක්‌ කොටසක්‌ බිසවගේ ඇඟෙහිත් අනෙක්‌ කොටස බිමටත් වැටී ගියේය. අනතුරුව කළලයේ වෙන් වූ කොටස්‌ යුවළ සුළඟින් එකතු වී දරුවෙක්‌ උපන්නේය. එසේ උපන් දරුවා බිසවගේ මෘත දේහයේ ඇට, ලේ, මල් ආදිය ආහාරයට ගෙන සංඛපාල රජුගෙන් පළි ගැනීම උදෙසා විෂ ගුලි 18 ක්‌ තනන ලදී. පසුව එම ගුලි රැගෙන ජලය ඇති ස්‌ථානයක්‌ වෙත පැමිණ ගුලි පසෙක තබා දිය බීමට ගිය මොහොතේ සක්‍ර දේවේන්ද්‍රයා එම ගුලිවලට මී බිඳු දමා දහඅට සන්නි යකුන් ඉපැද්දවූ බව කතා පුවතෙහි සඳහන් වේ.

දහඅට සන්නිය ශාන්ති කර්මය ආරම්භ කරනුයේ දෙවි දේවතාවුන්ට හා යක්‍ෂයන්ට මල් පහන් පිදීමෙන් අනතුරුව කරනු ලබන "දේව වන්දනාව" හෙවත් යහනට කවිකියා නැටීමෙන් අනතුරුවය. නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යනාදී දෙවිවරුන් යහනට වැඩමකරවා ඉන් අනතුරුව දිෂ්ටි මන්තර කියමින් යකුන්ට ආරාධනා කරනු ලබයි. පසුව සන්නි යකුමේ විචිත්‍ර නර්තනාංග රඟ දැක්‌වීම සිදු කෙරේ. "හැන්දැ සමයමේදී පහතරට නර්තන සම්ප්‍රදායේ ශාස්‌ත්‍රීය පද සුරල් නටනු ලැබේ. යටකී ආකාරයට දහ අට සන්නියේ පුද ලබන යකුන්ට ආරාධනා කිරීම පූර්වයෙන් සිදු වුවද එක්‌ එක්‌ පිදේණියට කවි කියා යක්‍ෂයන් කැඳවීම අනතුරුව සිදුකරනු ලැබේ. මෙහිදී කළුයකා, රීරි යකා, සූනියම් යකා යන යකුන් යාග මඩලට පැමිණෙති. අනතුරුව සූනියම් යක්‍ෂණියන්ගේ අවතාර වන තරුණියක්‌, බඩදරු මවක්‌, දරුවා සමග මවක්‌ යන අවස්‌ථා ඉදිරිපත් කරති. පසුව "පැදුරේ දැපවිල්ල" නම් කවි ගායනා සහිත නර්තනාංග කහිපයක්‌ ඉදිරිපත් කරති. යටකී අංගයේදී පන් නෙළීමේ ජන ගායනා, ගායනා කරනු ලබන අතර මෙතුළින් ජන නැටුම් සිහිගන්වයි.

තවද දහඅට සන්නිය ශාන්ති කර්මයේ වැදගත් අවස්‌ථාවක්‌ වනුයේ පාලි නැටීමයි. ලිඡ්ඡවී රජ දරුවන් මෙන් ඇඳුම් ඇඟලාගත් ඇදුරෝ කවි ගායනා කරමින් නටනු ලැබේ. මෙය කුමාර පෙළපාලිය යනුවෙන් හැඳින්වේ. ලී නැටීම සිදුකරනුයේ පෙළපාලිය නැටීමෙන් අනතුරුවය. ප්‍රධාන වශයෙන් පාලි දොළොසකි. එනම්,

1. පන්දම් පාලිය

2. කඩු පාලිය

3. කුකුල් පාලිය

4. සළු පාලිය

5. අඟුරු පාලිය

6. කලස්‌ පාලිය

7. මුගුරු පාලිය

8. අතු පාලිය

9. කුමාර පාලිය

10. දුම්මල පාලිය

11. මල් පාලිය

12. කෙන්ඩි පාලිය

යනුවෙනි.

පාලි නැටීමේදී පාලි නාමයේ සඳහන් වන ආකාරයට උපකරණයක්‌ අතැතිව නර්තනයේ යෙදීම සුවිශේෂී වේ. දෙබස්‌ කවි ගායනා, හාස්‍ය යනාදී ගුණාංග සමුදායක්‌ මෙතුළින් විෂද කෙරේ. කෙසේ නමුත් මෙම පාලි පහතරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශයන්හි ගුරුකුල අනුව යම් යම් වෙනස්‌කම් දක්‌නට ලැබේ. "මහ සොහොන් පිදේණිය" හා "ප්‍රේත පිදේණියට "දිෂ්ටි මන්ත්‍ර කීම පාලි නැටීමෙන් අනතුරුව සිදුකෙරේ. සන්නි යකුමේ මීළඟට ඉදිරිපත් කරනුයේ "මහ සොහොන් සමයම" දෙකොන විලක්‌කුවයි. මෙම නර්තනාංගය මහා සොහොන් යක්‍ෂයා උදෙසා සිදුකරනු ලබයි.

මින් අනතුරුව දහඅට සන්නියේ එන සුවිශේෂිතම නර්තනාංගය රඟ දැක්‌වේ. එනම් පුරාවෘත කතාවේ සඳහන් වන ආකාරයට සන්නි යකුන් දහඅට දෙනා විශාලා මහ නුවර ඇතිකරනු ලැබූ රෝග බිය සම්බන්ධවයි. අනතුරුව සන්නි යකුන්ගේ උපත පිළිබඳ කවි ගායනා මගින් ඉදිරිපත් කරයි. පසුව පිළිවෙළින් එක්‌ එක්‌ සන්නියට අදාළව සන්නි යකුගේ යාග මඩලේ නර්තනයේ යෙදෙයි. කාලය පුරාවට නොයෙකුත් ඇදුරු පරපුරුවලින් දහඅට සන්නි යකුන් පවත්වාගෙන ඒමේදී ඒවායේ විවිධ වෙනස්‌කම් සිදුව ඇත. එහිදී ගරුකුල හා නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශ වශයෙන් නිර්මාණය වූ දහඅට සන්නි එකිනෙකට සුළු වෙනස්‌කම් ඒවායේ නම්වල දක්‌නට ඇත. "ගිනිජල්" නමින් එන සන්නිය හා " අග්නි සන්නිය" යනු එකම සන්නියකි. කෙසේ වෙතත් ඇතැම් පළාත්හි ගුරුකුල මෙම සන්නි දෙකම නටනු දක්‌නට හැකිය. දහඅට සන්නියේ එන සන්නි යක්‍ෂයන් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදාගත් ආකාරය සන්නි උපත් කතා පුවතේ සඳහන් වන්නේ මෙසේය.

මළකඳ ඇතුළෙන් ඉපදුන කුමරෙකි

උනද සෙලෙස්‌මා වෙන් එක ගොල්ලකි

වායු, පිතෙන් එහි හටගත් සෙනගකි

අතුරු නගරයෙන් හටගත් සෙනගකි



ඉසේ ලෙඩට පස්‌ දෙනෙක්‌ සදා ගති

කඳේ ලෙඩට පස්‌ දෙනෙක්‌ සදා ගති

සන්ධි වලට දහ අටට බෙදා ගති

දවසට දහසක්‌ මිනී මරා ගති

යනුවෙන් සඳහන් වී ඇත.

1. භූත සන්නිය

වාතය හා පිත කිපීමෙන් ඇඟ සීතල වී ඇතිවන අතපය අමාරුව සිහිනෙන් බිය වීම, ආහාර අරුචිය, බඩ පෙරලවීම, ඇඟ පත කැසීම යනාදී රෝග ලක්‍ෂණ පහලව ඇත්නම් භූත සන්නිය මගින් ඊට සුවයක්‌ ගෙනදෙනු ලබයි. යටකී රෝග ලක්‍ෂණ භූත සන්නිය රඟ දක්‌වන නළුවා කවි ගායනා තුළින් ඉදිරිපත් කරනු ලබයි.

අඳුරු දිගින් අයිලක්‌ සර සාලා

සොඳුරු විලස සැරසිලි නිම කරලා

ඇදුරු කියන කවි මන්තර අසලා

බූත සන්නි පුදගත් ලෙඩ හැරලා

2. අභූත සන්නිය

වාතය මුල් කරගෙන අභූත සන්නියට මුල්වන රෝග ලක්‍ෂණ පහළ වන බවට විශ්වාසයක්‌ පවතී. තවද සන්නිය රඟ දැක්‌වීමේදී පළඳිනු ලබන වෙස්‌මුහුණෙන්ද එය විෂද වේ. නිරතුරුවම "බුදු අම්මෝ දනවෝ දනවෝ" යනුවෙන් උඩපනිමින් කෑ ගසති. අභූත සන්නිය පවනට බඳු වේගයෙන් රඟ මඩලට පැමිණෙන අතර එහිදී කේසර ගමන සුළඟේ සංකේතය වශයෙන් පෙන්වා දෙනු ලබයි.

වාත ගුවන් තල බැස ඇවිදිල්ලා

බීත කරයි ටු නයින් අල්ලා

ශීත කරයි ඇඟ යමින් ඇවිල්ලා

අභූත සන්නිය එයි පුද ඉල්ලා

3. අමුක්‌කු සන්නිය

කුස තුළ හටගන්නා රෝග තත්ත්වයක්‌ පිළිබඳව අමුක්‌කු සන්නියෙන් පෙන්නුම් කෙරේ. වමනය යැම, බඩ බුරුලෙන් යැම, යනාදී රෝග ලක්‍ෂණ දක්‌නට ලැබේ. මේ සියලු ලෙඩ රෝග අමුක්‌කු සන්නිය නිසා හටගන්නා බව විශ්වාස කෙරේ. පිළිකුල උද්දීපනය කරනු ලබන සන්නියකි.

පපුවේ ගිනිජල් නිබඳ කරන්නේ

නෙත් කෙ රතුවී හිස රිදවන්නේ

රුචි නැති කෑමට බඩ පෙරලන්නේ

අමුක්‌කු සන්නිය ලෙඩ දැන ගන්නේ

4. වෙඩි සන්නිය

හාස්‍ය රසය උත්දීපන කෙරෙන විකට ස්‌වරූපයක්‌ පෙන්නුම් කෙරෙන සන්නියකි. අතීතයේදී මුගුරක්‌ අතැතිව පැමිණි වෙඩි සන්නි යකුගේ අතෙහි වර්තමානයේදී දක්‌නට ලැබෙනුයේ බෙහෙත් කොටන තුවක්‌කුවකි. සන්නිය මගින් නිරන්තරවම හාස්‍ය මුසු විකට සංවාදයේ දෙන අතර ප්‍රේක්‍ෂකයා සිනහ ගන්වයි. වෙඩි සන්නියෙන් නිරූපිත රෝග ලක්‍ෂණ වශයෙන් කන යට ගෙඩි හටගෙන ඉන් ලේ සාරය වහනය වීම, මුහුණ ගිනි ජාලාවකින් වෙළුන අයුරක්‌ දැනීම, දැත දෙපයේ දහදිය දැමීමයි. පරුෂ ගතිය, නපුරු ඉස්‌මතු කෙරෙන දැස්‌ වලින් යුතු වෙඩි සන්නි යකාගේ මුහුණ කොළ පැහැයෙන් යුක්‌තය. මුව රැඳුණු දත් කිහිපයක්‌ද දක්‌නට ලැබේ.

නඩි අරගෙන තුන් මංසල ඉන්නේ

උඩ අර මුගුරක්‌ පුරන දරන්නේ

ගඩු නංවා ඇඟ සලිත කරන්නේ

වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ

5. වාත සන්නිය

මෙම සන්නිය තුළින් සුව නොවන හිසරදය, ඉදිමුම, ඇඟ වේළුම, අත් පා සීතලව හන්දි රිදුම, කොරබව යන රෝග ලක්‍ෂණ නිරූපණය වේ. වාත රෝගියකුගේ ලක්‍ෂණ පෙන්වමින් වේදිකාවට පිවිසේ.

ඈත විශාලා නුවර උපන්නේ

වාත කෝපයෙන් ලෙඩ කරවන්නේ

සීතල අතපය සන්දි රිදෙන්නේ

වාත සන්නි පුද ඉල්ලා එන්නේ

6. ගොළු සන්නිය

ගොළු බව සාතිව අභිනය තුළින් පිළිබිඹු කරයි. සුව නොවන බඩේ අමාරුව, එළිය වැටෙන විට නිදිමත ගතිය යන රෝග ලක්‍ෂණ පෙන්වීමට උත්සාහ කරන ගොළු සන්නිය රඟ දැක්‌වීමේදී ගොළු බව පෙන්වීමට නළුවා උත්සුක වෙයි. මුඛය වටා වූ රැලිවලින් ගොළු බව නිරූපණය වේ. දෙකන් විශාලව, නළල රැලි තුනකින් යුක්‌තය.

කළු ඇඳගෙන සිහිනෙන් පෙනුනෝතින්

කළු පාටින් බත් ගොටු දෙක දීපන්

රළු නෑ රේවත මුණි අත දැනගන්

ගොළු සන්නිය කළ ලෙඩ හැර පලයන්

7. බීරි සන්නිය

බීරි පුද්ගලයකු බීරි බව වැටහෙන ආකාරයට ප්‍රේක්‍ෂකයා ඉදිරියේ බීරි සන්නිය රඟ දක්‌වයි. මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ බිහිරි බවයි. පළඳිනු ලබන වෙස්‌ මුහුණෙහි බියකරු දත් නොමැති අතර මුහුණ පියවී ඇත. දෙඇස්‌ මනාව විවෘතව පවතී. දෙකන් වලට පහළින් දක්‌නට ඇති රේඛා දෙකින් බිහිරි බව පෙන්නුම් කෙරේ. කන බිහිරි නිසාවෙන් ඇති වන සංවාදයන් නැවත නැවතත් ප්‍රකාශ කිරීම මෙහි හාස්‍ය උත්පාදක බවයි.

බිහිරි සන්නි පුද ඉල්ලා ආ විට

රීරි පුලුටු ගොටු දෙක දෙන් දැතට

රේවත මුණිදුගෙ අනුහස්‌ බලයට

බිහිරි සන්නි කළ ලෙඩ නැත අද සිට

8. කණ සන්නිය

මෙමගින් නිරූපණය කරනු ලබන චරිතය අන්ධයෙකුගේ විලාසයක්‌ පෙන්වයි. එමෙන්ම හණ දණ්‌ඩක්‌ අතින් දරා සිටී. ශරීරය කැසීම, හිසරදය, සිහිමද ගතිය කණ සන්නියේ රෝග ලක්‍ෂණ වශයෙන් සැලකේ.

වන පිළියෙන් අතපය කොට වීමට

උණ ගිනිජල් ඇස්‌දෙක නොපෙනීමට

එන කළකිරි ගොටු දෙන්නේ දැතට

කණ සන්නිය කළ ලෙඩ නැත අද සිට

9. ගිනිජල් සන්නිය

සන්නිය මගින් උණ රෝගියකුගේ චරිත ලක්‍ෂණ පෙන්නුම් කරයි. රෝගයේ අසාධ්‍යභාවය පෙන්වීම, කෙඳිරීම, උඩුකය පොරෝනයකින් වසා සිටීම දක්‌වන අතර හිසරදය, ආහාර අරුචිය, බඩ පෙරළවීම යනාදිය සන්නියෙන් පෙන්නුම් කෙරෙන රෝග ලක්‍ෂණයන්ය.

උණ ගිනියම් ඇඟ යට වෙව්ලිල්ලා

කන බොන දේවල් රුචි නොකරල්ලා

දින නෑ කරමින් කන්දෙක විල්ලා

ගිනිජල් සන්නිය එයි පුද ඉල්ලා

10. මූර්තු සන්නිය

සන්නිය මගින් මුහුණේ එක ඇසක්‌ ද, කටේ එක්‌ පැත්තක්‌ ඇදයක්‌ සහිතව දක්‌වා ඇත. සිහි නැතිවීම මෙම සන්නියේ ප්‍රධාන රෝග ලක්‍ෂණයයි. සන්නියට ආවේණික කවි ගායනා සහිතව සන්නි යකා රඟ මඩලට පැමිණේ. මුර්ජාව සහ වාතයෙන් හට ගන්නා රෝගයක්‌ සන්නි යකුගෙන් පෙන්නුම් කරයි. එය පැළඳ සිටින වෙස්‌ මුහුණෙන් දැකගත හැකි වෙයි. අනෙකුත් සන්නි මුහුණුවලට වඩා මේ සන්නියේ වෙස්‌ මුහුණෙහි ඇස්‌ වෙනස්‌ය. දෙඇස්‌ දිගටි වන අතර දත් මද වශයෙන් පෙනෙන අයුරින් මුඛය වැසී ඇත.

පැණිරස කෑමට විරුද්ධ වේයා

සෙම් පිත් නාඩිය පටලව තේයා

වාත නාඩි සීග්‍රව ගම නේයා

මූර්තු සන්නි කළ ලෙඩ අප තේයා



ගුවන් තලේ සත් මතට ගිහිල්ලා

රජුන් සමග වෙසමුණි දොර සොල්ලා

අගුල්ලාපු දොර යතුරු උගුල්ලා

මූර්තු සන්නි යකු එයි පුද ඉල්ලා



11. දෙමළ සන්නිය

ද්‍රවිඩ ලක්‍ෂණ පිළිබිඹු කෙරෙන සන්නියකි. මෙම සන්නිය තුළින් නිතර හිස කැසීම, බඩේ රුදාව, වමනය යන ගතිය යනාදී රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි.

සියලු දොaෂ වල ගොටු ගෙන දෙන්නේ

ඇඹුල සඳුන් දිය ගොටු ගෙන දෙන්නේ

නැඹුල තෙදැති පුල්වන් දෙවියන්නේ

දෙමළ සන්නි කළ ලෙඩ හැර යන්නේ

12. නාග සන්නිය

නාගයකුගේ විලාසය පෙන්වන ඇඳුමකින් සැරසී නාගයකුගේ පෙනය සහිත වෙස්‌ මුහුණක්‌ පැළඳ සිටී.

මේදව ඇඟපත සන්නි රිදී මෙන

වේග වෙලා ඇත් දෙක රතු වීගන

රෝග මුළා කරමින් මොර ගා එන

නාග සන්නි එයි පුද ඉල්ලා ගෙන

13. ගුල්ම සන්නිය

බඩේ රුදාව නිතරම ඇතිබව පෙන්වන මෙම සන්නියෙන් ගුල්ම පණුවා මගින් හටගන්නා සියලු ලෙඩ රෝග පෙන්නුම් කරයි. සන්නි යකුගේ මුහුණ වෘත්තාකාර වන අතර ලා කහ පැහැතිය. කන්දෙක දෙසට මුඛය පළල්ව ඇත. මුව දෙපසින් විහිදුණු දළ දෙකක්‌ද පිහිටා තිබේ. ගෝලාකාර ඇස්‌ වලින් රෝගී භාවය පෙන්නුම් කෙරේ.

ගුල්ම සන්නි පුද ඉල්ලා ආ විට

ඇල් හාලේ බත් ගොටු දෙති දැතට

පුල්වන් සුරුඳුගෙ අනුහස්‌ සිහි කොට

ගුල්ම සන්නි කළ ලෙඩ නැත අද සිට

14 කොර සන්නිය

එක්‌ පාදයක්‌ කොර ගසමින් එක්‌ අතක්‌ සොත්ති කරමින් හිඟන්නෙකු මෙන් කරළියට පැමිණෙයි. අත් පා කොර වූ අම්බගාතයකුගේ විලාසය පෙන්වන වෙස්‌ මුහුණක්‌ පැළඳ සිටී. සන්දි රුදාව, සන්දි කොරවීම යනාදී රෝග ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. දකුණතට යමගුරක්‌ හා වමතට අතුකැටියක්‌ ද ඇත.

සුරතින් යවමුගුරක්‌ ගෙන අල්ලා

වමතින් අතුකැටියක්‌ ගෙන අල්ලා

පරොසින් රෑ සිහිනෙන් අල්ලා

කොර සන්නියෙ යකු එයි පුද ඉල්ලා

15. වෙව්ලුම් සන්නිය

බියට පත්ව උණ රෝගයෙන් පෙළෙන ස්‌වභාවයක්‌ පෙන්වයි. අතෙහි ඇඟිලිවල නියපොතු සපමින් බිම වැටි වැටී දඟලමින් රංගනයේ යෙදේ.

ශීත කරයි ඇඟ යටින් ඇවිල්ලා

ඇති නිතර නියපොතු හැපිල්ලා

බීත කරමින් වැටි වැටි දැඟලිල්ලා

ශීතල සන්නිය එයි පුද ඉල්ලා

16. දේව සන්නිය

ගම්රටවල් පාළු කරමින් ගම්වලට වැදී මිනිස්‌ සිරුර ලෙඩකර දමයි. ඇඟපත රුදාව ඇති කරවයි. තවද සත් වසකින් මියයන රෝගයක්‌ ඇති කරවයි. මෙය විශාලා මහනුවර ඇතිවූ අභිගාතන රෝගය යෑයි විශ්වාස කෙරේ. තේජාන්විත බවින් යුක්‌ත ශාන්ත මුහුණකින් දේව සන්නිය යුක්‌ත වේ. දේව සන්නිය හොඳ හා නරක යන දෙඅංශයටම හේතු වේ. දේව සන්නිය නැටීමෙන් සියලුම වස්‌ දොස්‌ මඟහැරී යන බවත්, සමාජයට සෙතක්‌ ශාන්තියක්‌ අත්වන බවත්, විශ්වාස කෙරේ. සන්නියෙහි මුහුණ අනෙකුත් සන්නි මුහුණු වලට වඩා වෙනස්‌ය. මුව රන්වන් පැහැයෙන් යුක්‌තය. හිසට ඔටුනක්‌ පළ¹ ඇත.

අහසේ පොළොවේ සැම දෙවියන්නේ

මෙරටට සැමතැන දිවැස්‌ බලන්නේ

නරලොව උවදුරු දුරු කරවන්නේ

නර ලෙඩ දුරලන් සන්නි යකුන්නේ

17. පිස්‌සු සන්නිය

මනස විකෘතියට පත්වූ උමතු රෝගියකුගේ ස්‌වභාවය පෙන්නුම් කරයි. සෑම විටම බිය වූ බවක්‌ පෙන්වයි. හඬලා සිනාසේ නිරන්තරයෙන් ශරීරයේ පලු නැගීම, ඔක්‌කාරය, බඩේ අමාරුව, පිස්‌සු ස්‌වභාවයෙන් ඇවිදීනම් මෙම සන්නියේ රෝග ලක්‍ෂණයි.

පිත් කිපෙමින් ඔල්මාද කරන්නේ

තන්කිලාප ඇඟ ගඩු නන්වන්නේ

තිස්‌ පැය සිහිනෙන් බිය කරවන්නේ

පිස්‌සු සන්නිය අතු ඉල්ලා එන්නේ

18. කෝළ සන්නිය

උගුරේ ගෙඩි සෑදීමත් යටිබඩේ කැක්‌කුමක්‌, නරක හීන පෙනීමත් කෝළ සන්නියේ රෝග ලක්‍ෂණ වේ. මෙම සන්නියේ මුහුණ දෙආකාරයකින් පෙන්වයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ කෝළ දහඅටක්‌ ගැන සඳහන් වේ.

කෝළ වෙලා උඩ බිම බලමින් නේ

ලීල නොකර බඩ ලෙස කරවන් නේ

දැල උගුරේ ගෙඩි දෙක හටගන් නේ

කෝළ සන්නි පුද ඉල්ලා එන් නේ

මෙපරිද්දෙන් දහඅටක්‌ වූ සන්නි අවසානයේ දහඅට සන්නි යකුන්ගේ නායකයා වන මහා කෝළ සන්නි යක්‍ෂයා පැමිණේ. හිස මත ගොක්‌කොළ ඔටුන්නකි. ඔටුන්නෙහි නයිපෙණ පහකි. කළු හා සුදු මුසු වූ සේලයක්‌ යටිකයටද කළු පැහැති ලොම්වලින් යුතු සැට්‌ටයක්‌ උඩුකයටද ඇඳ ඉන වටා කෙසෙල් හා ගොක්‌කොළ වලින් සාදන ලද හතරැස්‌ තට්‌ටුවක්‌ද පැළඳ සිටී. යක්‍ෂයා ආතුරයා දෙසට යන මග බාධාවකි. නාථ, පත්තිනි, සමන් දෙවිවරුන්ගේ ආඥව අනුව මුර සෙබළු මෝල් ගස්‌ දෙකක්‌ කතිර හැඩයට තබා අල්ලා ගෙන යකාට යන්නට නොදෙති. සැර පරුෂ බලෙන් යැමට තැත් කරන යකු පසුව කෙසෙල් හා කැවිලි වර්ග දෙන බව කියා යැමට අවසර ඉල්ලයි. අවසානයේ මේ කඩවත බුදුරදුන්ගේ කඩවතක්‌ බව මුර බටයෝ පවසති.

අනතුරුව බුදුරදුන්ගෙන් සන්නසක්‌ ගෙන පැමිණියොත් යැමට අවසර දෙන බව කියූ පසු යකා තල් පතක්‌ ගෙන කකුලේ ඇඟිල්ල මත තබා දෙයි. එය පිළිගැනීමට නොහැකි බවත්, ගරු සරු ඇතිව දියයුතු බවත් මුරබටයෝ පවසති. පසුව යකා දණහිස උරහිස නාසය මත තබා සන්නස භාර දී ඒ කිසිම ක්‍රමයකට එකඟ නොවීම නිසා අවසානයේ හිස මත තබා භාර කරයි. එවිට සඳහන් දෙය කියවන ලෙස පවසා සිටී. ඒ මොහොතේ යක්‍ෂයා හඬන්නටත් පටන් ගනී. බුදුන් වහන්සේ තමන්ට මනුෂ්‍ය ලොවට යැමට අවසර දී ඇතත්, නරබිලි ගැනීම තහනම් කර ඇති බවත් යකු පවසා සිටී. මනුලොව රෝගීන් වෙනුවෙන් දොළ පුදගෙන රෝග දුරු කිරීමට බුදුන් නියමකර ඇතැයිද පවසයි. පසුව යක්‍ෂයාගේ නපුරු ස්‌වභාවය අඩුවී යයි. මුර භටයෝ ඔහුට කඩදොරින් යැමට අවසර ලබා දෙයි.

ආතුරයා වෙත පැමිණෙන යක්‍ෂයා තමාට කැපකර දෙන දොළ පිදේනි සියල්ල ඉන බැඳ තටුවට අසුරාගෙන කුකුළෙකුද බිලි පුදට දුන්විට එයද රැගෙන ආතුරයාට සෙත්පතා යකු නික්‌මයයි. පින්බර වැයීමෙන් පසු සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නිමාවට පත්වේ.


එච්. බී. එල්. හේවගේ
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
(උපුටා ගැනීම දිවයින පුවත්පත)

No comments:

Post a Comment