Monday, July 9, 2012

බුද්ධගයා අකෘතියේ බොරුව

බුදුන්වහන්සේ හෙලදිව පහල වුවායැයි කියූ විගස සමහරුන් දුම්මලවරම අතට ගන්නේ ත්‍රිපිටකය විකෘති කරන අන්‍යාගමිකයෝ පිරිසක් කියාය. නමුත් බුදුන්වහන්සේ ඉන්දියාවේ පහල වූ බව කියූ විට එය සනාථ කිරීමට ඔවුන්ට ත්‍රිපිටක සාක්සි අවශ්‍ය නැත. මෙයනම් පුදුම කරුමයකි. කෙසේ වෙතත් මේ විමසන්නේ ඇත්තටම කවුද ත්‍රිපිටකය විකුර්ති කරන්නේ කියාය.


සිදුහත් කුමරුන් බුද්ධත්වයට පත්වී ඇත්තේ ඇසතු වෘකශයක් මූලයේදීය. එහි වාදයක් නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව ඉන්දියාවේද බුද්ධගයා අකෘති භූමියේ ඇසතු වෘක්ශයක් තිබෙන නිසාය. නමුත් එහි මව් ශාඛාව එනම් ඇතමුන් පවසන අන්දමට සිදුහත් කුමරු බුද්ධත්වය අවබෝධකරගැනිමට පිට දුන් බෝධින්වහන්සේව අශෝක රජුගේ බිරිද ක‍ටු ගසා විනාශ කරයි. දැන් පවතින්නේ ඒ විනාශ කල බෝධින්වහන්සේගෙන් පසුකාලිනව හටගත් බෝධීන්වහන්සේ නමකි. නමුත් සත්‍ය සිදුවීම මෙය නොවේ. සත්‍ය වශයෙන් සිදු වී ඇත්තේ ලංකාවෙන් ඉන්දියාවට වඩම්මන බෝධිශාඛාව ක‍ටුගසා විනාශ වීමයි. නමුත් කුමන පව්කාර කමටදෝ ඇතමුන් පවසන්නේ මෙතරම් පූජනීය හා පාරිශුද්ධ වස්තුව විනාශ වූ බවයි.කෙසේ නමුත් ලංකාවෙන් ඉන්දියාවට වැඩම්වූ බෝධිශාඛාව හුවමාරු වන අන්දම සාංචි තොරනේ සිතුවම් කිරීමට අශෝක රජු අමතක නොකලත්, එහි නිශ්චිත ගනුදෙනු ස්වරූපය දැක්වී නොමැති නිසා ඇතමුන් හරි අපූරුවට අනිත් පැත්තට සාංචිතොරන විස්තර කරයි.


කෙසේ වෙතත් ඒ පිලිබද දැනුම ඇත්තෝ විමසා බලත්වා කියා ඉල්ලමින් අපේ ප්‍රධාන මාතෘකාවට පිවිසෙමු. මේ ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානයේ විශේෂ යැයි සම්මත ස්ථාන කීපයක් ගැන හා ඒවායේ පිහිටීම පිලිබදව සලකා බලමු.


සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පිටදුන් බෝධින්වහන්සේ පිහිටි ස්ථානය හා ඒ ප්‍රදේශය පිලිබද විස්තර ත්‍රිපිටකයේ සදහන් කර තියෙනවා. මහා වග්ග පාලියේ ඒ ස්ථානය විස්තර කර තියෙන්නේ මෙහෙම,


"තේන ඛෝ පන සමයේන බුද්ධෝ භගවා උරුවෙලායං විහරති නජ්ජා නේරංජරාය තීරේ බෝධිරුක්ඛමූලේ පඨමාභිසම්බුද්ධෝ"


එකල්හි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවෙලායෙහි නේරංජනා ගං ඉවුර සමීපයෙහි වූ බෝරුක්මුල්හි අභිසම්බෝධියට පැමිණි ප්‍රථමයෙන් වැඩ වාසය කරන සේක.
(වි.මහා.පා.2.පිට)


මෙහි දැක්වෙන අන්දමට ශ්‍රී මහා බෝධින්වහන්සේ පිහිටිය යුත්තේ නේරංජනා ගං ඉවුරට ආසන්නයේය. මේ පිලිබදව තවදුරටත් අරියපර්යේෂන සූත්‍රයෙන් පැහැදිලි කරයි.
"මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් අනුත්තරවූ නිර්‍වාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා යන්නෙම් උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනෙක්හිද එහි ගියෙමි."


අ‍ටුවාවට අනුව උරුවෙලා අර්ථදක්වන්නේ උරු-වැලි ලෙසද වේල- සීමාව ලෙසත්ය. මේ පිලිබදව තවදුරටත් අරියපර්යේෂන සූත්‍රය විස්තර කර සිටින්නේ මෙසේය.
"එහි ගලායන ගඟ ඇත්තාවූද සුදූ වැලිතලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද හාත්පස ගොදූරුගම් ඇත්තාවූද ප්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දිටිමි. මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලිහිබ ප්‍රසාදය එළවන්නේය, දිය ගලා බස්නා සුදූවැලි තලා ඇති මනා තොටු ඇති ගඟද සිත්කලුය. හාත්පස ගොදූරු ගමද වෙයි, වීය්‍ර්‍යය කරණ කුල පුත්‍රයෙකුට වීය්‍ර්‍යය කිරීම පිණිස මේ ස්ථානය සුදූසුයයි (කියායි)."


 ඉන්දියාවේ පිහිටි බුද්ධගයාව යැයි නිර්මානය කර ඇති ආකෘතියේ පිහිටීම බැලූ විට එහි පිහිටීම ත්‍රිපිටකයට අනුව ඉදුරාම වැරදිය. නේරංජනාව අසල පිහිටිය යුතු ශ්‍රී මහා බෝධිය ඒ අසලකවත් පිහිටා නොමැත. ඉන්දියාවේ වන්දනාවේ ගිය ඇත්තන් එයට සාක්සි දරනු ඇත. එය දෑසින් දැක නොමැති ඇත්තන්  මෙහි දක්වා ඇති සිතියම බලන්න. බුද්ධගයා ආකෘතියේ සිට නේරංජනාව ලෙස හදුන්වන ථුල්ගු නදියට දක්වා විශාල පරතරයක් ඇත. එහෙත් සූත්‍රයට අනුව බෝධින්වහන්සේ පිහිටිය යුත්තේ නේරංජනා ගං ඉවුර අසබඩය.


 ඒඅනුව ඉන්දියාවේ ආකෘති පිහිටීම ත්‍රිපිටකයට එකග නොමැති බව පැහැදිලිය. නමුත් මේ ත්‍රිපිටකයේ සදහන් පරිදි ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ පිහිටීම හෙලදිව හිරිවඩුන්නේ මනාලෙස පිහිටා ඇති අතර සූත්‍ර දේශනාවල සදහන් අන්දමට ඒ අවට ඇති සුන්දරත්වය බිදකුදු අඩු නැත.
අරියපර්යේෂන සූත්‍රයේ සදහන් වැලිතලාවන් පිලිබද විස්තරයද සනාථ කිරීමට හිරිවඩුන්නට හැකිවෙයි.එම ප්‍රදේශය වැලිවලින් ආඪ්‍ය ප්‍රදේශයක් බවට අදටත් සලකුණු සෑහෙන ප්‍රමානයක් දැකගත හැක.


බෝධිමූලයේ ඇති වජ්‍රාසනයේ ඇතිරූ කුසතණ ශාකයද හිරිවඩුන්න ප්‍රදේශයෙන් සොයාගත හැක. විශේෂත්වය වන්නේ එම කුසතණ ශාකය ඒක දේශීය වීමය. නමුත් ඉන්දියාවේදී අපට කුසතණ ලෙස පෙන්වන්නේ ඉලුක් විශේෂයකි. ඒ ලංකාවට ආවේනික කුසතණ ඉන්දියාවේ වැවෙන්නේ නැති නිසාය.


සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වන්නේ වෙසක් මාසයේදීය(මැයි) නමුත් මැයි හා ජූනි මාසවලදී ඉන්දියාවේ බුද්ධගයා ආශ්‍රිත ප්‍රදේශයේ උශ්නත්වය 40c' වඩා ඉහලට යයි. නේරංජනාව ලෙස හදුන්වන ථුල්ගු නදින වැලි පමනක් ඉතුරු වන පරිදි සිදී යයි. ඒ නිසාම ඉන්දියන් පටෝන කඩ කාරයන් මේ මැයි මාසයේ ඉන්දියාවේ වන්දනා චාරිකා ‍රැගෙන නොයයි. බෞද්ධ ඉතිහාසයේ සදහන් අන්දමට මුචලින්ද නාග ගෝත්‍රික රජු බුදුන්වහන්සේව ආරක්ශා කරන්නේ වැස්සෙනි. එසේම පාත්තරය පා කර හරින්නේ නේරංජනා නදියේ වතුර මතය. මැයි,ජුනි මාසවල වතුර බිදක් සොයා ගත නොහැකි ඉන්දියාවේ බුද්ධගයා ප්‍රදේශයේදී මේ සිදු වීම් විය හැකිද?

 අනිත් කරුනනම් මුචලින්ද නා රජු ඉදිකල කුටියයි. එය හිරිවඩුන්නේ බුද්ධගයාව ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා ඇත. නමුත් ඉන්දියාවේ එවැනි නාග ගෝත්‍රයක් නොමැති නිසා නාග ගෝත්‍රික රජු විශාල නාගයෙක් කර ඇත. මේවා තනිකරම සුරංගනා කථාය.
බුදුන්වහන්සේ හිරිවඩුන්න ප්‍රදේශය අවට සත් සතිය ගතකල බවට සාධක බොහෝ ඇතත් ඉන්දියාවේ ඒ කිසිවක් නොමැත.


හෙලදිව මේ හිරිවඩුන්න ආශ්‍රිත ප්‍රදේශයේ ජනප්‍රවාදයන්ද බොහෝය. සිරි+වඩ්+උන්න ක්‍රමයෙන් ස යන්න හ කාරය බවට පත්වී ඇත. ඒ අනුව සිරිවඩුන්න හිරිවඩුන්න ලෙස නම් වී ඇත.
ඒ ආසන්නයේ ඇති මාමිනියාව එනම් මහ+මුනි+ආව ග්‍රාමයද ඊට නිදසුනකි.
බෝසතානන් වහන්සේ සුජාතා සි‍ටුදුවගෙන් කිරිපිඩු වලදා එම පාත්තරය නේරංජනා ගගේ පාකර හරී. ඒ පාත්තරය නේරංජනා ගග දිගේ උඩුගම් බලා ගිය බව අප දන්නා කරුනකි. වර්ථමානයේ නේරංජනාවට ඉහලින් පිහිටි ග්‍රාමය හදුන්වන්නේ උඩංගාව ලෙසය. එනම් උඩ+ගං+ආව ලෙස නිර්මානය වූවකි.
වැදගත් කරුනනම් මෙවැනි ජනප්‍රවාදයක් ඉන්දියාවේ බුද්ධගායාව ආශ්‍රයෙන් සොයා ගත නොහැකි වීමයි.


 සුජාතා සි‍ටු දේවිය පූජා කල කිරිපිඩු දානයේ සිදුවීමත් විශේෂ සිදුවීමකි. නමුත් මෙය පසුකාලීන ලියූ හින්දූන් ඒ සදහා දේව සංකල්ප ඇතුලත් කර ඇතිබව කනගා‍ටුවෙන් වුවද කිව යුතුය. සේනානි ගමේ සුජාතා සි‍ටු දේවියගේ නම ගත් කල පවා ඒම සුජාතා යන නාමය ලංකාවට ආවේනික නාමයකි. එසේම මේ කිරි ආහාර පූජාව බුද්ධකාලයටත් පෙර හෙලදිව තිබූ චාරිත්‍රයකි. මේ චාරිත්‍රය වසන් කිරීමට හින්දූන් එයට දේව සංකල්ප ඇතුලත් කර ඇති බව පැහැදිලිය.දරුවන් බිහි වීමෙන් පසුව මෙම දානය කිරිමාතාවන් සදහා දෙනු ලබන්නකි. මෙය අදටත් ලාංකීය ජනතාව සිදුකරනු ලබන පූජා විදිරමයකි. සුජාතාව යනු මෙම ගොදුරු ගමේ ප්‍රධාන සි‍ටුතුමාගේ දියනියයි. බෝසතානන් වහන්සේ බුද්ධත්වය සදහා මෙම ස්ථානය වැඩි බව ඒ ගමේ ජනතාව නොදැන සිටියා විය නොහැක. නමුත් මෙය ලියන අට්ටකථාකරු එයට වෘක්ශ දේවතාවෙක් සම්බන්ධකර එම පූජාවට දේව සංකල්ප ඇතුලත් කර ඇත.

වීර්ය වඩන ඕනෑම කෙනෙකුට සිව් පසය අවශ්‍ය වේ.ගොදුරු ගම ගැන ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවේ සදහන් කර ඇත්තේ එම අවශ්‍යතාවයි. බෝසතානන් වහන්සේට අවශ්‍ය සිව්පසය ගොදුරු ගමෙන් ලැබීම අනිවාර්ය සිදුවීමකි. මුචලින්ද රජතුමාද එයට අනුග්‍රහය නො අඩුවලබාදී ඇති බව පැහැදිලිය. ඒ අවට ඇති සෙනසුන්,ආසන,ගල් කුටි එයට හොදම නිදසුන්ය. ඒ ගල් තාක්ශනය මකුලෑව, නකාවෙහෙර, ඉසින්බැස්සගල ආදී ප්‍රදේශ වල ඇති තාක්ශනයට සමාන කම් දක්වයි. එසෙම දානමානයන් ආදියටද අනුග්‍රහය දක්වා ඇත්තේ එම ගොදුරු ගමයි. සුජාතාව කිරිපිඩු දානය සිදු කරන්නේ එදින තමන්ට වෙන්වූ දිනය නිසා යැයි පැහැදිලිය. මේ දානක්‍රමය අදටත් ජනයා අතර ප්‍රසිද්ධ සිදුවීමකි.අදටත් හිරිවඩුන්න ප්‍රදේශයේ වැසියන් ශ්‍රී මහා බෝධින් වහන්සේට ඔබ්බෙන් ඇති ගල් පොත්තක් මතට කිරිබත් දානයක්, අවුරුදු පතා පිළිගන්වනු ලබයි. එය මහාදානය යනුවෙන් හැඳින්වේ.
පුරාතනයේ සිට පැවත එන මහාදානය පිළිගැන්වීම අපට කියාපාන්නේ සුජාතාවගේ කිරිපිඞු දානය නොවේ ද? එනිසා මේ බුද්ධෝත්පත්තිය සිදුවීම හෙලදිවට අහසින් පාත්වූ අමුතු සිදුවීමක් නොවන වග පැහැදිලිය.


 දැන් අපිට වැදගත් වන්නේ ඉන්දියාවේ මේ සම්බන්ධයෙන් ඇත්තේ මොනවාද යන්න විමසීමය. ඉන්දියාවේ බෝධින්වහන්සේගේ හා නේරංජනාව නමින් හදුන්වන ථුල්ගු නදියේ පිහිටීම ත්‍රිපිටකයට අනුව ඉන්දුරාම වැරදිය. තවද නුග වෘක්ශය පිහිටා ඇත්තේද ඒ අසන ප්‍රදේශයේ නොව මදක් දුරිනි. නමුත් අදටත් මේ පිහිටීම නිවැරදිව හිරිවඩුන්නෙන් දැකගත හැක.
බුද්ධගයා විහාරය නිර්මානය කර ඇත්තේද හින්දු කෝවිලක හැඩයකටය. සියලු කෝවිල් වල පින්තූර හා බුද්ධගයාව ලෙස හදුන්වන ඉන්දියාවේ ස්මාරකය හා සැසදූ විට කිසිදු වෙනස්ක් නොමැත. එකම වෙනස නම් එහි ඇතුලත ප්‍රතිමාවහන්සේ නමක් තිබීම පමනිය. නමුත් ප්‍රතිමා තාක්ශනය පැමිනෙන්නේ පසු කාලිනව නිසා එය පුරාවිද්‍යාත්මක සාධකයක් නොවේ.


ඉන්දියාවේ බුද්ධගයාව සුද්ධන් සොයා දෙන තුරු අප දැන සිටියේ නැත. නමුත් හෙලදිව පිහිටි නියම බුද්ධගයාව සෑම ඉතිහාසපොතකම සදහන් කර ඇත.
මෙය වර්ගපූර්නිකාවේ සදහන් කර ඇත්තේ මෙසේය.
"ජය සිරිමහ බෝපුර රන්ගිරි දඹුලු දේශය,ලලාට දේශය,දෙවනත් කැර දෙමළ රුපුන් ආයේ හිස්නා වැදගත,මහානාම රජු බිසෝවර හා පිරිවර නීලගිරි ග්‍රාමය හැරපී ඊ කල වියෝතයෙන් ඒ පරලෝක ප්‍රාප්ත වැදගත...."
(ය.ගො.අ.තො. 52පිට)
මේ අදහස් කරන්නේ අනුරාදපුරය ලෙස කෙනෙකුට තර්ක කල හැකි වුවත් මේ පිහිටීම 100% ගැලපෙන්නේ හිරිවඩුන්න ප්‍රදේශයට බව පැහැදිලිය.


 මීට අමතරව පැහැදිලි සාක්සියක් වර්ගපූර්නිකාවේ සදන්ව ඇත.
"ඊ නාමයෙන් විෂකුම්භණ චෙතිය වී ඊ ජය ශ්‍රී මහා බෝ මලු වැඩහුන් භික්ශූන් උදෙසා පිදී. සගලක් සහසක් වියත් ගිය කල හු අෂ්ඨකයක් දුර නීලගිරි වෙහෙර තනා තෙරසිප් හළ තපෝ බිම කැර සිරිමා බෝ මලු භික්ශූන්ට දිනි"
(පිට51)

මේ පිලිබදව ඉතා කෙටි විස්තරයක් මාහාවංශයේ මෙසේ සදහන් කර ඇත.
"මෙහෙසිය විසින් ධූමරක්ඛ පර්වතයෙහි විහාරයක් සාදවා ථේරවාදී භික්ශූන්ට පවරා දුන්නාය"
(ම.ශා.සි.සං. පිට114)
 

මෙම බෝධින්වහන්සේට පැරණි හා පූජනීය ඉතිහාසයක් පවතී. මේ බෝධින්වහන්සේ ඉබේ පහල වූ දෙයක් නොවන බව මෙවැනි ඉතිහාසගත කරුනුවලින් සනාථ වෙයි.


සුදු බෝ අංකුරය
හබරණ හිරිවඩුන්න ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය අධිපති පූජ්‍ය විහාරහේනේ චන්ද්‍රවංශ හිමි මෙවැනි අදහස් කීපයක් රිවිර පුවත්පතට පවසා ඇත.
එම ප්‍රදේශයේ අමුතු සිසිලසක් දැනෙන බවත් ඇතැම් දිනවල රාත්‍රියේදී දේවතා එලි ගමන් කරනු දු‍ටු බවත්ය.

තවත් විස්තර කරන උන්වහන්සේ පවසා ඇත්තේ එම බෝධීන්වහන්සේ අසල භාවනා කිරීමේදී සිත සමාධිකර ගැනීමට පහසු බවත්ය.(අවසන්)
 මෙම බෝධින්වහන්සේ ප්‍රසිද්ධිය උසුලන්නේ ඇතැම් වසරවල වෙසක් මාසයේදී මතුවන සුදු බෝ අංකුරය නිසාය. විශේෂත්වය මේ බෝ අංකුරය ජීවමානව පවතින්නේ සති 7 වැනි කාලයක් පමනක් වීමය.

 තවද මේ හිරිවඩුන්න පුදබිම හදුන්වන්නේ උත්තරාරාමය ලෙසය. ඒ උත්තරාරාමය යන්න ලංකා විහාර අස්නේද සදහන් කර ඇත.
මේ හෙලදිව පිහිටි බුද්ධගයාවට ඇත්තේ ඉන්දියාවට මෙන් අහසින් කඩාපාත් වූ ඉතිහාසයක් නොවේ. එයට නොකඩවා සදහන් වන ඉතිහාසයක් පවතී. සුද්ධන් ඉන්දියාවේ පුදබිම් සොයා දෙන්න්නට පෙර අපේ මුතුන් මිත්තන් වන්දනා මාන කලේ මේ ස්ථානයන්ටය. ඔවුන්ට බුද්ධෝත්පත්තිය හෙලදිව වූ බව නොරහසක් බව මින් පැහැදිලිය.


ඉන්දියාවේදී සිදුහත් බෝසාතානන්වහන්සේ බුද්ධත්වයට පත්වූයැයි කීමට කිසිදු සාධකයක් නොමැත. කුමන හේතුවක් නිසාදෝ ඇතමුන් එය පිලිගන්නේ දොහොත් මුදුන් දීගෙනය.
නමුත් බුද්ධෝත්පත්තිය වූයේ හෙලදිව බව පැවසූ විගස ඔවුන් දුම්මලවරම අතට ගනී. ඉන් ඇතමුන් සාධක විමසයි. නමුත් ඇතමුන්ට සාධකවත් වැඩක් නැත. සාධක අවශය වූවන්ට සාධක ඇතුව සනාථ කලත් ඔවුන් එය පිලිගන්නේ නැත.

සාධක නැති ඉන්දියාව පිලිගැනීමටත් සාධක ඇති හෙලදිව ප්‍රතික්ශේප කිරීමටත් මොවුන් යොදාගන්නේ කුමන මිනුමක්ද කියා මා දන්නේ නැත.

කෙසේ හෝ ත්‍රිපිටකය අනුව ඉන්දියාවේ බුද්ධගයා ආකෘතියේ පිහිටීම ඉදුරාම වැරදිබව සනාථ කල අවසන් බව ඔවුනට දැනුම් දෙමි.



 (හිරිවඩුන්නේ ජායාරූප මීට පෙර ලිපිවල පලකල ඇත.)







10 comments:

  1. නොදන්නා කම නිසයි අහන්නේ.

    එතකොට ඇයි සැවත් නුවර, ජේතවනාරාමය, වේළුවනාරාමය අපේ හෙල දිවෙන් මතු වෙන්නේ නැත්තේ? ඇයි ඒවා ඉන්දියාවෙන් විතරක් මතු වෙන්නේ. කුසිනාරා නුවර කෝ ? අදාහන චෛත‍ය කෝ ? සප්තපන්නී ගුහාව කෝ ?

    නොදන්නා කමටයි අහන්නේ.

    ReplyDelete
    Replies
    1. අප උපන් මේ හෙලදිව බුදුන් උපන් ජන්බුද්වීපයයි පොත් දෙක කියවන්න. සියලු ස්ථාන පැහැදිලිව සනාථ කරලා තියෙනවා.

      Delete
  2. අනේ මේ විකාර ලියන්නේ නැතුව නිකන් ඉන්න.

    ReplyDelete
  3. නව සොයාගැනීම් සහ සංකල්ප මත ඉතිහාසය විෂය ගොඩනැගෙනවා. එතන දී බුද්ධිමත් භාවය ඉතාම වැදගත්. මෙතන තියන ගැටලුව අතිශයින් මෝඩ මනුස්සයෙක් ලෝක ඉතිහාසයේ වැදගත්ම සිදුවීම ගැන ලියන එක. බුද්ධ චරිතය සහ ඉතිහාසය පිළිබද ගැටලුව පසෙක තබා අඩුම තරමින් තමන්ගේ මෝඩකමවත් තේරුම් ගන්නවා නම් හොදයි.ඔබට මම කීප වරක් විවාදයකට ඇමයුම් කරනු ලැබුවා. ඔබ එයට නිසි ප්‍රතිචාරයක් දක්වන්න.නැතිනම් ශාසනය ගැන වගකීමක් තිබෙන අපිට සිද්දවෙනවා වෙන යම් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නට.

    මිස්සක කමල සිරි හිමි
    බෝධිවනය.
    ධර්මාශෝක මාවත
    මහනුවර.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එන්නම්. විවාදෙකට නෙමේ කතිකාවතකට.(ඔබ නොදන්න දේ කියලා දෙන්න) විවාදෙකට ඇවිල්ලා වැඩක් නෑ නේපාලේ සෙල්ලිපිය කියවපු ගමන් ඔබ විවාදෙන් පරදිනවා.

      ඔබ ට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව තියෙනවා වගේ. මම මෝඩයෙක් තියා පිස්සෙක් උනත් ඔබට වැඩක් තියෙනවද, ඔබ කල යුත්තේ මේ සාධක බොරුයි කියා ඔප්පු කර පෙන්වන එකයි හාමුදුරුවනේ.

      අනික ඔබවහන්සේගේ ගුරුහාමුදුරුවෝ එහෙම ඉගැන්නුවා කියලා ඒක පරම සත්‍ය නෙමේ. ඒකයි ඔබ වහන්සේට තියෙන ප්‍රශ්නේ. මෙච්චර කල් ඉගෙන ගත්ත කුණු පොඩ්ඩක් බිමින් තියලා නිදහසේ මෙනෙහි කරලා බලන්න.

      Delete
    2. Ape hamuduruwane. Mama me web site eka dakke lagadi.
      oba wahanse ekka vivada karala wadak na. Namuth
      Api - (Mama + Me web site eke samajikayo) Kamathi oba wahanse me patalila inna mithya dushtika margayen eliya pen nanda.

      Ape hamuduruwo contact karanda puluwan 4n number ekak denda puluwan nam denda

      Api katha karamu

      Delete
  4. පිළිගත හැකි සාධක ඔබ සතුව ඇති නිසා මාධ්‍ය ඔස්සේ මේ පිළිබධ කතිකාවතක් ගොඩනැගීම උචිත යැයි මා විශ්වාස කරමි. මන්දයත් එයින් සැමගේ අදහස් ලබාගත හැකි නිසාවෙනි.

    ReplyDelete
  5. ආනන්ද ස්ථවිර අටකලම්පන්නJune 12, 2013 at 5:23 AM

    බුද්ධාගම තියෙන්නෙ බදා ගන්න නෙමෙයි, බෙදා ගන්න. සමාජවාදයේ මුල් ගුරුවරයා බුදු හාමුදුරුවෝ. දානෙ කකා පංසලේ ලැගල හිටියෙ නෑ. හිරාන් කොලුවො, උඹ ලියපන් බන් ඇට්ටි හැලෙන්න.

    ReplyDelete
  6. ලොකු සාදු දුන්නු සිව්ර ට පින් සිද්ද වෙන්න දානෙ ගිල ගිල ලොකු සාදු දුන්න පොත් ටික කට පාඩම් කරපු අපේ සමහර හාමුදුරුවො ගොල්ලට මෙව දිරව ගන්න අමරුයි තමයි. ඒ අතරේ දුන්නු දේ ගිලගෙන අපිටත් නාරස්සන ගිලින්න කියන සම හරකුන් ට වැඩිය අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු විදිහට අහෙන පේන දේ ගවේෂණාත්මක විදිහට බලලා අර ගන්න හරි බැහර කරන්න හරි පුලුවන්නම් ඒක තමයි ආර්‍යය සග ගුනය. අපිට ඕනේ විවාද නෙවෙයි. පිලිගන්න පුලුවන් සාදකයි හාමුදුරුවනේ.

    ReplyDelete
  7. sadu sadu apith enawa hamuduruwane

    ReplyDelete