Tuesday, July 17, 2012

ඉසිපතනමිගදා ආකෘතියේ බොරුව

බුදුන්වහන්සේ පස්වග මහණුන් උදෙසා තමන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ ඉසිපතනාරාමයේ බව සාසන ඉතිහාසයේ සදහන්ය. මේ ඉසිපතනාරාමය ගැන සලකා බැලීමේදී ඉසිපතනාරාමයන් දෙකක් අපට මේ වකවානුවේදී මුන ගැසේ. ඉන් එකක් පිහිටා ඇත්තේ ඉන්දියාවේය, අනිත් එක පිහිටා ඇත්තේ හෙලදිවය. මේ අතුරින් කුමන ස්ථානය නිවැරදි ස්ථානයද කියා හදුනාගැනීම අවශ්‍ය වේ. ඒ අතුරින් ඉන්දියාවේ ඉසිපතනාරාමය බොහෝ ප්‍රසිද්ධ ස්ථානයකි. එ අන් කිසිවක් නිසා නොව අද බොහෝ ජනයා ඇදී යන්නේ ඉන්දියාවේ ඉසිපතනාරාමය වැදීමටය. 

මිනිසුන් මෙසේ ‍රැවටීම පුදුම විය යුතු දෙයක් නැත. මක්නිසාදයත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉතිහාසය හෝ ත්‍රිපිටකය හෝ අ‍ටුවා පිලිබදව ගවේශකයන් නොවන නිසාය. තම පරම්පරාවෙන් හෝ කවුරුන් හෝ කියූ දෙයක් නිසා හෝ කිසිම සෙවීමක් නොකර පොත් කටපාඩම් කරගෙන ‍රැල්ලට කියන්නම් වාලේ බුද්ධෝත්පත්තිය වූයේ ඉන්දියාවේ යැයි කියයි. බුද්ධෝත්පත්තිය ඉන්දියාවේ නිසා ඉසිපතනාරාමය ඇත්තේද ඉන්දියාවේ කියා වන්දනා නඩ සමග තරගෙට ඉන්දියාවේ වන්දනාවේ යයි. කෙසේවෙතත් මෙහිදී සනාථ කර පෙන්වන්න යන්නේ නියම නිවැරදි ඉසිපතනාරාමය පිහිටියේ කුමන ස්ථානයේද කියාය.


හෙලදිව තුල ඉසිපතනාරාමය පිහිටි ස්ථානය අද හදුන්වන්නේ ඉසින්බැස්ස ගල ලෙසය. මේ ඉසින්බැස්සගල ප්‍රදේශයට එම නම ලැබුනේ කෙසේද යන්න ඕනම කෙනෙකු දන්නා කරුනකි. ඉසින්+බැස්ස+ගල=ඉසින්බැස්සගල. ඉසිවරුන් බසින ලද ස්ථානය යන්න මුල් කරගෙන ඉසින්බැස්සගල යන නම ලැබූ බව ජනප්‍රවාදයේ දැක්වේ. එය ඉතා ප්‍රසිද්ධ කරුනකි. ඉසින්බැස්සගල විහාරයේ ස්වාමීන්වහන්සේ පවා එය අනුමත කරයි.


බුදුන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනය කල ස්ථානය හැදින්වූ සම්පූර්ණ නම ඉසිපතනමිගදායයි. එසේ හැදින්වීමට හේතුවූ සාධකය ඉතා පැහැදිලිව අ‍ටුවාවේ මෙසේ සදහන් කර ඇත.
"සෘෂිහු මෙහි බසින නිසාද මෙතැනින් නගින නිසාද ඉසිපතනය නම් විය. තවද මුවන්ට අභය පිණිස දුන් හෙයින් මිගදාය නමින් ද හදුන්වයි"
(ම.නි.කථා-2,201 පිට)


එසේනම් මේ විස්තර කරන්නේ කුමන ස්ථානයේ පිහිටීම ගැනදැයි අමුතුවෙන් කිවයුතු නැත. ඉසින්බැස්සගලට නම ලැබුනු හැටි ජනප්‍රවාදයට යේ එදා සිටම අද දක්වා පවතී. මේ අ‍ටුවාවේ කියන විස්තරය හා හෙලදිව ඉසින්බැස්සගලට ජනප්‍රවාදයේ එන කථාව එකිනෙකට සමානය. අනිත් කරුනනම් මේ සෘෂීන් බසින නිසා (පතනය නිසා) ඉසිපතනය වූවා නම් ඉන්දියාවේ ඉසිපතනය යැයි හදුන්වන ස්ථානයේ සෘෂීන් බසින්නේ හෝ නගින්නේ කොතනින්ද? එහි භූගෝලීය පිහිටීම එසේ සැකසී ඇද්ද යන්න ගැටලුවක් මතුවේ. මේ අ‍ටුවා ලීවේ අපි නොවේ. මේවා ලියූ පුද්ගලයන් මේ ඉසිපතනාරාමයේ පිහිටීම හදුන්වන ආකාරය අනුව ඉන්දියාවේ ඉසිපතනමිගදා ආකෘතියේ පිහිටීම ඉදුරාම වැරදිය.එම පිහිටීම නිවැරදි ලෙස ගැලපෙන්නේ හෙලදිව පිහිටි ඉසිපතනමිගදායටය(ඉසින්බැස්සගල). ඉසින්බැස්සගල ආශ්‍රිත ප්‍රදේශය අ‍ටුවාවේ පවසන අන්දමේ මුවන් පමනක් නොව මොනරුන් වැනි වනසතුන්ගෙන්ද නො අඩු ප්‍රදේශයකි.


පුදනකොටම කාපි යකා කියන්නා මෙන් ඉසිපතනාරාමයේ පිහිටීම ගැන සදහන් කිරීමේදීම ඉන්දියාවේ ආකෘතියේ පිහිටීම වැරදි බව සනාථ වෙයි.එය නැවත පුන පුනා කිවයුතු නොවේ. කෙසේ වෙතත් එක කරුනකින් නොනැවතී තවත් දේ සොයා බැලිය යුතුය.


බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී බෝ මැඩ අවට ප්‍රදේශයේ කාලයක් ගත කර ඉසිපතනාරාමය බලා වැඩම කරන අතර තුර මුන ගැසුනු පුද්ගලයෙකු ලෙස උපක ආජිවකයා හැදින්විය හැක. බුදුන්වහන්සේ හා උපක ආජිවකයා අතර ඇත්වූ කථාබහේදී බුදුන්වහන්සේ තමන්වහන්සේ කාසිනා නුවර බලා වඩින බව උපක ආජිවකයාට පවසා ඇත.
"මම දම්සක් පැවැත්වීමට කාසිනා නුවර බලා යමි.අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමා දහම් බෙරය ගසන්නෙමි"(වි.පි.ම.ව.17 පිට)
පසුව උපල ආජිවකයා " හිස සලා කුඩා මගකට බැස වංගහාර ජනපදයට ගිය බව" මහාවග්ගපාලියේම දැක්වේ. උපක ආජිවකයා ගියබව සදහන් කරන වංගහාර ජනපදය පිලිබද විස්තරයද අමතක කල නොහැක මක්නිසාදයත් මේ සිදුවීම ඉසිපතනාරාමය හා සම්බන්ධ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවූවක් නිසාය. මේ වංහාර ජනපදය පිලිබද සෙවීමේදී සී.බඩ්ලිව් නිකල්ස් මහතාගෙන් ඉගියක් ලැබේ.(පුරාතන හා මධ්‍යතන ශ්‍රී ලංකාවේ එතිහාසික ස්ථාන විස්තරය, 222 පිට). එනම් එතුමා රජරට ප්‍රදේශයේ තිබූ වංගාවට්ටකගල්ල නම් විහාරයක් පෙන්වා දෙයි. උපක ආජිවකයා ගිය වංගහාර ජනපදය හා මෙම රජරට පිහිටි විහාරස්ථානයද වංගාවට්ටකගල්ල වීම අපූර්වතම ගැලපීමකි. එසේනම් මේ පවසන්නේ ඒ අතරම මග හමුවූ උපක ආජිවකයාගේ සනාථ කිරීමයි.


අපදන්නා තවත් කාරනයක් නම් තපස්සු බල්ලුක වෙලද දෙබෑය විසින් කේශ දාතු තැන්පත් කල සාදන දාගැබයි. එය කිසිදු තර්කයක් නොමැතිව හෙලදිව පිහිටි බව සනාථ වෙයි. එමෙන්ම තිරියාය ප්‍රදේශයෙන් හමුවන "තොපශ" යනුවෙන් සදහන් කර ඇති සෙල්ලිපි සාධක නිසාත් එම තපස්සුබල්ලුක වෙලද දෙබෑයන් හෙලදිව විසූ හෙලයන් බව තහවුරු වේ. පූජනීය ස්ථානයන් තහවුරු කරගන්නවා සේම ඒ ස්ථාන හා සම්බන්ධ පුද්ගකයන්ගේ විස්තර හා සනාථ කිරීම්ද අපට සොයා ගත හැක.


කෙසේ හෝ අවසානයේ බුදුන්වහන්සේ ඉසිපතනාරාමය පිහිටි ස්ථානය ආසන්නයට පැමිනි අතර එය පස්වග තවුසන් දු‍ටු ආකාරය මෙසේ විස්තර කර ඇත.
"ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ පිලිවෙලින් සැරිසරා වඩිනා සේක. බරණැස් නුවර ඉසිපත නම් වූ මෘගදායයෙහි පස්වග මහණුන් වෙත වැඩි සේක. පස්වග මහණහු වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දු‍ටුවාහුය. දැක , උන් උන් කතිකාවක් කලාහුය. ඇවැත්නි, මේ ශ්‍රමන ගෞතම තෙමේ එයි. ප්‍රත්‍ය බහුල කොට ඇත්තේ, ප්‍රධන් වීර්ය වැඩීමෙන් පිරිහුනේ, ප්‍රත්‍යයයන්ගේ බහුල භවයට පෙරලුනේය. ඒ ශ්‍රමණ ගෞතම තෙමේ නොම වැදිය යුත්තේය. උපස්ථාන නොකට යුතුය. පා සිවුරු නොපිලිගත යුතුය. එසේ නමුත් කැමති නම් හිදනු පිනිස අසුනක් එලවිය යුතුය......................................"


මේ විස්තරයට අනුව බුදුන්වහන්සේ ඉසිපතනමිගදායට වඩින බව පස්වග තවුසන් දුර සිටම දැක තිබේ. බුදුන්වහන්සේව දුරදීම දු‍ටු මේ පස්වග තවුසන් බුදුන්වහන්සේ කෙසේ පිලිගනිම්දෝ කියා කතිකා කර ඇති බවද අ‍ටුවාව මනාව විස්තර කර තිබේ. මෙසේ බුදුන්වහන්සේ වඩින බව දුර තියා දැන ගැනිමටනම් ඉසිපතනාරාමයේ පිහිටීම තැනිතලා ස්ථානයක නොව තරමක් උස් ස්ථානයක විය යුතුය. ඒ ස්බාවික පිහිටීම අද ඉසින්බැස්සගල පැහැදිලිව දැක ගත හැක. අශෝක රජතුමාද මේ හෙලදිව පිහිටි ඉසිපතනමිගදායේ ආකෘතියක් ඉන්දියාවේද පිහිටවා ඇති බව සැවොම දන්නා කරුනකි. නමුත් එය පැහැදිලිව ආකෘතියක් පමනක් මිස ස්බාවික පිහිටීමක් නොවේ.
බුදුන්වහන්සේ හා පස්වග තවුසන් මුන ගැසුනු ස්ථානය සිහිවීම සදහා පසුකාලයේදී අශෝක රජු විසින් සම්මුඛ නම් චෛත්‍යයක් ක
රවා ඇති බව පැහැදිලිය. එම දාගැබ කිරීමේදී හෙලදිව ඉසිපතානාරය ආශ්‍රිතයේ තිබූ දාගැබේ පිහිටීම ඇසුරු කරගෙන ඇති අතර හෙලදිව පිහිටි නිවැරදි දාගැබේ නටබුන් අදටත් ඉතිරිව පවතී. පස්වග තවුසන් වැඩ සිට ඇත්තේ අද අරහත් ගුහාව යන නමින් හදුන්වන ස්ථානය ඇසුරු කරගෙනය. නමුත් මෙම බුද්ධෝත්පත්තියේ සත්‍යතාව යටයාමත් සමග එම අරහත් ගුහාවට වෙනත් අර්ථකතන දී ඇති බව කනගා‍ටුවෙන් වුවද කිවයුතු වුවත් අදවන විට පස්වග තවුසන් වැඩසිටියේ එම ලෙනේම බව  පැහැදිලිව හදුනාගෙන ඇත.

මෙසේ ඉසිපතනමිගදායට පැමිනි බුදුන්වහන්සේ පස්වග තවුසන් උදෙසා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලදී. ඒ දේශනාව අකනිටා බඹලොව දක්වා ඇසුනු බවත් අකනිටා බඹලොව දක්වාවූ සියලු දේව සමූහයා සාදුකාරදුන් බවත් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ පැහැදිලිව දක්වා ඇත. බුදුන්වහන්සේ ඉසිපතනාරාමයේ සිට දේශනා කල දම්සක්පැවතුම් සූත්‍රය දිව්‍ය හා බ්‍රහ්ම ලෝකයන්ට ඇසෙන්නටනම් ඉතා දියුනු හා පැහැදිලි සන්නිවේදන හැකියාවක් ඉසිපතනමිගදායට තිබිය යුතුය. මීට කලකට පෙර නාසා ආයතනය විසින් ලෝකේ හොදින්ම සන්නිවේදනය කල හැකි කිරණ ශක්තියක් පිහිටි ස්ථානයක් සොයාගෙන තිබුනි. එම ස්ථානය ලෙස නාසා ආයතන හදුන්වා දී තිබුනේ හෙලදිව පිහිටි ඉසින්බැස්සගල ප්‍රදේශයයි. එනම් අතීතයේ ඉසිපතනමිගදාය පිහිටි ප්‍රදේශයයි. මේ නාසා ආයතන කල තහවුරු කිරීම සිදු කරන ලද්දේ අද ඊයෙක නොවන නිසා මෙය කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් යැයි කිසිවෙකුට කිව නොහැක. නමුත් අවාසනාවකට ඉන්දියාවේ ඉසිපතනය යැයි හදුන්වන ආකෘති ප්‍රදේශයට තියා මුලු ඉන්දියාවටම එසේ වූ අසිරිමත් කිරන ශක්ති පිහිටා නොමැත. බුදුන්වහන්සේ දිව්‍ය හා බ්‍රහ්මලෝකයන්ටද ඇසෙන්නට දම්සක් පැවතුම් සූත්‍රදේශනාව දේශනා කලේ සන්නිවේද තාක්ශය දියුනුම ස්ථානයේ සිටද එසේ නැතිනම් කිසිදු කිරන ශක්තියක් නොමැති ස්ථානයකද යන්න දැන් ඔබට තීරණය කල හැක.
මෙසේ වූ සාධක වලින් නොනැවතී තවදුරටත් මේ ආශ්‍රිත ප්‍රදේශය හා සම්බන්ධ සිදුවීම් පිලිබද අවධානය යොමු කල යුතුය.
මේ ඉසිපතනමිගදාය ආශ්‍රිත ප්‍රදේශය හා සම්බන්ධ තවත් වැදගත් චරිත දෙකක් අපට හදුනා ගත හැක. ඔවුන් යක්ක ගෝත්‍රයට අයත් සෙන්පතිවරු දෙදෙනෙකි. නම් වශයෙන් හැදින්වූ කල සාථගිර හා හේමවතයි.



මේ සාථාගිරි හා හේමවත පිලිබද අ‍ටුවාවේ විස්තර කර ඇත්තේ මෙලසය.
"මේ ආකාරයෙන් බෝසතුන් ඉපදීමේ දී ද, අබිනික්මණෙහි දී ද, බුදු බවට පත්වීමේහි දී ද පස්වග මහණුන් අමතා වටතුනකින් හා දොලොස් ආකාර වූ උතුම් දහම් සක දේශනා කරන කල්හි ද පොලව සෙලවීම හා පෙරනිමිති පෙලහර ද ඒ දෙදෙනාගෙන් සාතාගිරි පළමුව දු‍ටුවේය. ඊට හේතුව දැනගත් සාතාගිරි සහ පිරිස් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් දෙසුම ඇසුවද මගපල කිසිත් නොලැබීය. ඒ කවර හෙයින්ද? ඔහු දහම් අසන විට හේමවත සිහිව, මාගේ සහායකයා පැමිණියේ ද නැත්දැයි පිරිස් දෙස බලා ඔහු නොදැක , මෙබදු විසිතුරු වැටහෙන සුලු භාග්‍යවතුන් වහන්සේ දේශනය ඇසීමට නොලැබීමෙන් මා යහලුව රවටනු ලැබී යැයි සිත අවුලට පත්විය"(සු.නි.කථා. 207 පිට)
 

මෙහි සදහන් අන්දමට සාතාගිරි බුදුන්වහන්සේගේ දේශනාවට සම්බන්ධ වූ වී ඇති අතර හේමවත පිලිබදවද සදහන් වේ. එසේනම් මේ සාතාගිරි හා හේමවත යන යක් සෙන්පතිවරුන් සිටිය යුත්තේ ඉසිපතනමිගදාය ආශ්‍රිත ප්‍රදේශයේය. මේ චරිත පිලිබදව සදහන් වන්නේ ඉන්දීය ඉතිහාසයේද නැතහොත් හෙලදිව ඉතිහසයේද යන්න සොයා බැලිය යුතුය. මොවුන් දෙදෙනා යක්ක ගෝත්‍රිකයන් දෙදෙනෙකි. නමුත් ඉන්දියාවේදී අපට යක්ක ගෝත්‍රයක් හමුනොවේ. පුරාණ රාමායනය ලියූ ඉන්දීය කතුවරයාත් මහාවංශය ලියූ ඉන්දීය ජාතික කතුවරයාත් හෙලදිව යක්ක නැතහොත් අසුරයන් පිලිබදව සදහන් කර ඇත. ඒ නිසා මේ යක්ක සෙන්පතියන් දෙදෙනා සිටිය යුත්තේ හෙලදිව මිස ඉන්දියාවේ නොවේ. අනිත් කරුනනම් ඉන්දියාවේ මෙවැනි යක්ක ගෝත්‍රිකයන් නොමැති නිසා පසු කාලීන පොත පත ලියූ ඇතමුන් මේ සාථාගිරි හා හේමවත අමුනුශයයන් කර ඇති බවද කනගා‍ටුවෙන් වුවද කිව යුතුය. නමුත් තවත් අපේ මුතුන් මිත්තන්ට අපහාස කිරීමට අවශ්‍ය නැත. මොවුන් දෙදෙනා  අමනුශ්‍යයන් නොවන හෙලදිව සිටි යක්ක නම් ගෝත්‍රිකයට අයත් සෙන්පතිවරු දෙදෙනෙකි. අපිට ඉන්දියාවේ දඹදිව ගැන සුරංගනා කථා කියන්නන් මෙන් එසේ, මෙසේ විය හැකි ලෙස අනුමාන අවශ්‍ය නැත. මේ සාතාගිරි හා හේමවත පිලිබද තවත් සාක්සි තිබේදැයි සොයා බැලිය යුතුය. සාධක පිලිබද සෙවීමේදී අපට ගලේ කෙටූ අකුරු නොහොත් සෙල්ලිපි අමතක කල නොහැක. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ශිලා ලේඛන සංග්‍රහයෙන් මේ සදහා සනාථ කිරීමක් සියලු ලියකියවිලි සමග හමුවේ.
ඒ සෙල්ලිපිය මෙසේය.
"පරුමක වෙශමණ පුත පරුමක ශතශ ඣිත පරුමකලු පුශය ලෙණෙ ශගිකෙ." (I.C .I 2 පිට)
මෙහි පැහැදිලිවම සාතගිරි යනු වෙශමණ හෙවත් වෙස්සනගේ පුතෙකු බව පෙන්වා දෙයි
තවත් සෙල්ලිපියක සාතාගිරිගේ දුවනිය වූ පුශයා ගැන සදහන් කරන්නේ මෙසේය.
"පරුමක ශත ඣිත පුශය ලෙණෙ ශගිකෙ."

 සාතාගිරි හා හේමවත යනු සෙන්පතිවරුන්ය ඔවුන්ගේ ගෝලයෙකු ගැන සදහන් සෙල්ලිපික්ද මෙසේ දැක්විය හැකිය. මේ සාතාගිරිගේ ගෝලයෙකු වූ කශබ ගැනය.
"පරුමක ශතහ බත කශබශ ලෙණෙ" 

කශබ යන මොහු සාතාගිරිගේ පමනක් නොව හේමවතගේද ගෝලයෙකු බව සෙල්ලිපියේ සදහන් කරන්නේ මෙසේය.
"පරුමක ශත පරුමක හෙම ච බත කශබශ ලෙණෙ ශගිකෙ"
මේ සාතාගිර හා හේමවත පිලිබද විස්තර ඇතුලත් සෙල්ලිපි හමුවන්නේ හෙලදිව වෙනත් ප්‍රදේශයකින් නොව ඉසින්බැස්සගල ආශ්‍රිත ප්‍රදේශයෙන්මය. එනම් අද ඉසින්බැස්සගල අයත් වන්නේ මැදවච්චිය ප්‍රදේශයටය. මෙම මැදවච්චිය යාබද නගර වන්නේ හොරොව්පතානයි. හොරොව්පතානේ බෙරවාගම පිහිටා ඇත්තේ සාතාගිර යක්ක බලප්‍රදේශය බව පැහැදිලිය. සාතාගිරි හා හේමවත සෙන්පතියන්ගේ ශිලාලේඛන හමුවන්නේද මේ ප්‍රදේශයෙන්ය. ඉසින්බැස්සගල හෙවත් ඉසිපතනමිගදායට සාතාගිර හා හේමවත පැමින ඇත්තේ එම ප්‍රදේශයේ සිට බව පැහැදිලිය. මෙතරම් අපූර්ව වූ ගැලපීමක් සහිත ඉතිහාසයක්  පිහිටන්නේ නියම නිවැරදි ඉසිපතනමිගදාය පිහිටි හෙලදිව මිස අන් කවර රටකද?

බුදුන්වහන්සේගේ දේශනාව අසා සෙන්පතියන් ඇතුලු අනිකුත් පිරිස සෝවාන් වූ බව අ‍ටුවාවේ පෙන්වා දෙයි.
"කවර හෙයින්ද? මෙසේ දුකින් මිදේ යැයි කිසිවෙක් ඉතිරි නොකොට පහදා දෙමින් අරහත් බව කුලුගන්වා දේශනය නිමකරන ලද බැවිනි. දේශනාව අවසානයෙහි  යක් සෙන්පති දෙදෙනා යකුන් දහසක් සමග සෝවාන් ඵලයෙහි පිහිටියහ" (සු.නි.කථා. 222 පිට)

අ‍ටුවාවේ දැක්වෙන පරිදි ඔවුන් සෝවාන් ආර්යශ්‍රාවකයන්ය. නමුත් ඉන්දියාවේ බමුනන් මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන්ව අමනුශ්‍යයන් කිරීම කෙතරම් ඛේදනීයද.
මෙවැනි උතුම් චරිතගාතනය කිරීම මහාභාරතයට ආවේනික ලක්ශනයයි. නමුත් අදපටන් නැවත එසේ නොවනු ඇත. ඔවුනට හිමි නියම ස්ථානය ලැබෙනු ඇත. මේ සියලු සාධක අනුව, මීට ඉහත පලකල "සාථාගිරි'' නම් සෙල්ලිපි ඇසුරු කරගත් ලිපියට සහ ත්‍රිපිටකයට හා අ‍ටුවාවට ගැලපිමත් අනුව කිසිදු තර්කයක් නොමැතිව සාතාගිර හා හේමවත සෙනවියන් දෙදෙනා හෙලදිව සිටි බව ඉතාම පැහැදිලිය.

එසේම ඉසිපතනමිගදායේ වැඩ සිටි බුදුන්වහන්සේ ප්‍රධාන භික්ශූන්වහන්සේලාගේ ශාරීරික සුවතාවය සු‍රැකීම සදහා වෛද්‍ය උපාසිකාවකගේ අධීක්ශනයට යොමු වී තිබූ බව විනය පිටකයේ(වි.මහ.වග.භෙ.පිට 555) සදහන් වෙයි.ඈ පමනක් නොව ඇගේ ස්වාමිපුරුශයාද මහාසංඝරත්නය කෙරෙහි පැහැදුනු උපාසක සුප්පිය ලෙස හදුන්වා දී ඇත.මේ දෙදෙනාම හදුන්වා දී ඇත්තේ සුප්පිය යන නාමයෙනි එනම් ප්‍රිය භාවය,ප්‍රසාද ගුනය පෙන්වා දීමට යෙදූ නාමයකි.එනම් අනුවර්ත නාමයකි. මැයගේ නියම නම සිරිපලිය වේ. මේ සුප්පිය හෙවත් සිරිපලිය උපාසිකාවද සාතාගිහි,හේමවත මෙන්ම ඉසිපතනමිගදායට සමීප චරිත වෙයි. මොවුන් හෙලදිව විසූ බවට හා සංඝයාවහන්සේලාට ලෙන් පූජාකර ඇති බවට ශිලාලේඛන අනුව තහවුරු වේ.
ඉ.උපසික ශරිපලිය ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ
(උපාසිකා සිරිපලියගේ ලෙණ ආ නො ආ සතර දිගින් වඩින සංඝරත්නයට පූජා කරන ලදී.)
එසේම මැය වෛද්‍ය උපාසිකාවක් බවටද ශිලා ලේඛන තහවුරු කරන්නේ මෙසේය.
"උපශික ශිරිපලිය ලෙණෙ අගත අනගත වෙදදශ ශගශ දිනෙ"

මෙවැනි සාධක ඔස්සේ ඉසිපතනමිගදාය හා සම්බන්ධ වෛද්‍ය උපාසිකාවද හෙලදිව විසූ බව තහවුරු කර ගත හැක.

ඉසිපතනමිගදාය හා සම්බන්ධ වැදගත් චරිත ලෙස ගත හැකි උපක ආජිවකයා, තපස්සු භල්ලුක වෙලද දෙබෑය,පස්වග තවුසන්,සුප්පිය උපාසිකාව, සාතාගිරි හා හේමවත සෙන්පත්වරුන් වැනි චරිත හෙලදිව ඉසින්බැස්සගල ආශ්‍රිත ප්‍රදේශයෙන් සාධක සහිතව හෙලදිව විසූ බව මනාව සනාථ කල හැක.
හෙලදිව තුල පවතින සාධක මෙසේ සනාථ කිරීමේදී ඉන්දියාවෙන් අපිට හමුවන්නේ මොනවාද යන්න විමසා බැලිය යුතුය. ඉන්දියාවේ අශෝක රජු විසින් නිර්මානය කරල ලද ගඩොල් ආකෘතිය හැරුනු විට බුදුන්වහන්සේ එහි වැඩ සිටි බවට හෝ ඉහත සදහන් චරිත එහි විසූ බවට කිසිදු සාධකයක් නොමැත. අවම වශයෙන් අශෝක ලිපි හැරුනු කොට එකදු ලිපියකුදු සොයා ගැනීමට නොහැක. එසේනම් ඉන්දියාවේ ඉසිපතනමිගදායේ යැයි පවසන ස්ථානයේ බුදුන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කල බව පවසන්නේ කෙසේද? හෙලදිව බුදුන්වහන්සේ වැඩ නොසිටි බව පවසන්නේ කෙසේද?යන්න
ගැටලුවකි.

සූත්‍රදේශනාව සදහා රුවන් ගිර මුදුනේ විවෘත කුටියක් සහිත විශේෂ බුද්ධාසනයක් තිබූ බවට සාධක තවමත් හෙලදිව ඉසින්බැස්සගල විහාරයෙන් සොයා ගත හැකි අතර අද එම ස්ථානයේ දාගැබක් ඉදිකර ඇත. එම කුටිය සෑදීම උපකාර කර ගත් ගල් කනු තවමත් විහාර භූමියේ පවතී. එසේම අට්ඨකතාව පෙන්වා දෙන බුදුන්වහන්සේ සිරි පාදය තැබීමට යොදාගත් ගල් පුවරුව බෝධිය අසල තවමත් සු‍රැකිව පිහිටා තිබේ. එම බුද්ධාසනයට අයත් පා පුවරුව රුවන් ගිර මුදුනේ තිබී පසු කාලයේ බෝධිය අසල තැන්පත්කල බව විමසීමකදී දැනගත හැකි වී ඇත. බුදුන්වහන්සේගේ සිදුවීම් වලදී විශේශ අනුග්‍රහයක් දෙන ශ්‍රද්ධාවන්ත පිරිසක් වන නාග ගෝත්‍රියකයන්ගේ සංකේතයක් වන නාග ගල් පුවරුද මෙම ඉසින්බැස්සගල විහාර භූමියෙන් සොයාගත හැක.විහාර භූමියේ එකලග සුමටව කල සන්සුන් ඉරියව් ඇත්තන්ගේ පහසුව සදහා ගලෙන් වෙන්කරන ලද පිය ගැටපෙලක්ද දක්නට ලැබේ.

මෙතරම් සාධක ඉසින්බැස්සගලට තිබුනද ඉන්දියාවේ ඉසිපතනමිගදා ආකෘතියට ඇත්තේ මොනවාද? සාතාගිර, හේමවත, සුප්පිය, උපක ආජීවක වැනි උපාසක උපාසිකාවන්ගේ චරිත ඉන්දියාවේ තිබූ බව සනාථ කරන්නේ කෙසේද?


බුද්ධෝත්පත්තිය හෙලදිව යැයි කට අරින ඕනම අයෙකුට ඉතා දැඩි වාග්ප්‍රහාරවලට මුහුන දීමට සිදුවන බව පොදු කරුනකි. එහෙත් ඔවුනට ඉන්දියාවේ සාධක ඇතුව සනාථ කිරීමටද නොහැක. සනාථ කිරීම්වලදී යොදාගන්නා සෙල්ලිපි බ්‍රහ්මීය ආක්ශර ලෙස හදුන්වා ඔවුන් හොද හැටි ඇද නා ගනිති. කනින්හැම් සොයාදුන් අශෝක ලිපි ශාක්‍යන්ගේ කියා පල කලද ඒවා කියවා බැලීමේදී හා අක්ශර විමසීමේදීද ඔවුන් අසරන වන්නේ ඔවුන්ටම නොදැනිමය. නමුත් බැන බැන සිටිනවා විනා වෙනයම් හෝ දෙයක් ඔවුනට කල නොහැක. බුදුන්වහන්සේ හා සම්බන්ධ සියලුම උරුමයන් පිහිටා ඇත්තේ හෙලදිවය එය කිසිවෙකුට නැතයැයි කියා කිව නොහැක. නමුත් ඉන්දියාවට කිසිදු සාධකයක් නොමැති උවත් බුද්ධෝත්පත්තිය වූයේ ඉන්දියාවේ යැයි කීමට සමහරු මොහොතකුදු පැකිලීමක් ඇති කර නොගනී. එයට හේතුව දන්නේ ඔවුන්ම පමණි. අපට කල හැක්කේ අපෙන් ගිලිහී ගිය අපේ උරුමය යට යාමට නොදී මතු කිරීමය. ඉසිපතනමිගදාය පිලිබද මෙසේ සනාථ කිරීම් කලේ විමසා බැලිය හැකි අන්තගාමී නොවූවන්ට උපකාරක් පිනිසමය.

ත්‍රිපිටකය,අ‍ටුවාව,සෙල්ලිපි අනුව ඉසිපතනමිගදාය හෙලදිව පිහිටි බව අපනම් සනාථකර අවසන්ය. එසේනම් බුද්ධෝත්පත්තිය ඉන්දියාවේ කියන ඇත්තන්ටද මේ ආකාරයෙන් සනාථ කිරීම් කරන මෙන් අභියෝග කරමි.



ඉසින්බැස්සගල විහාරය ආශ්‍රිත විඩියෝ පටන නැරඹීමට
http://www.youtube.com/watch?v=04dYo4tXYN0&feature=relmfu


(පුන්‍යානුමෝදනාව මූකලන්ගමුවේ පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේට)

2 comments:

  1. ඉතා වැදගත් ලිපියක් මේ සෙල් ලිපි සඳහන් වන ස්ථාන දක්වන්න පුලුවන්නම් බොහොම පින්

    ReplyDelete
  2. ගොඩාක් පින් දැනුම බෙදා ගත්තට. අර NASA ආයතනයේ පරීක්ෂනය ගැන සබැඳියක් තිබුනා නම් වඩාත් අගනේයි

    ReplyDelete