Sunday, June 17, 2012

ඉතිහාසය වෙනස්‌ කළ වළං කටු කැබැල්ලක්‌

ඉතිහාසය වෙනස්‌ කළ වළං කටු කැබැල්ලක්‌
සමග ඉතිහාසයට එක්‌වුණ

උපාධියක්‌ නැති පුරාවිද්‍යාඥයා

ලෝක සම්භාවනාවට පත් ආචාර්ය උපාධි තුනකට ශාස්‌ත්‍රීය දත්ත පෙළ ගැසුනේ ඔහු අතින්...
ඔහු එල්. වී. ඒ. ද මැල්


ගේ ගම අනුරාධපුරය. සාමාන්‍යපෙළ විභාගය කළේ 1969 දි. වැඩ හයක්‌ පාස්‌. බොහොම ආර්ථික කරදර තිබ්බා. දිගටම ඉගෙනගන්න බැරිව ගියා. මේ අතරෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එක්‌කෙනෙක්‌ කිවුවා මන්නාරම පුරාවිද්‍යා වැඩවලට දෙපාර්තමේන්තුවෙන් කට්‌ටිය හොයනවා කියලා. ඒ දවස්‌වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මන්නාරමේදී කරමින් උන්නෙ පුරාණ මාතොට කැණීම. මාතොට කියන්නෙ අපට තිබුණ පුරාණම හා දියුණුම වෙළද වරාය. මම 1971 ජූලි මාසෙ 26 වෙනිදා දෙපාර්තමේන්තුවට බැඳුනා මාතොටදි. එ අනියම් කම්කරුවෙක්‌ විදියට. එ කාලේ පුරාවිද්‍යා කොමසාරිස්‌ රාජාද සිල්වා මහත්තයා. කැණීම් භාරව හිටපු අධ්‍යක්‌ෂවරයා සරත් වත්තල මහත්තයා. මම මන්නාරමේ මාතොට කැණීමේ අවුරුදු පහක්‌ කම්කරුවෙක්‌ විදියට වැඩකරමින් හිටියා.

මීට දශක හතරකට විතර ඈත ඒ කාලෙදි පුරාවිද්‍යා කැණීම් කියලා විද්‍යාත්මක පදනමකින් කරපු පර්යේෂණ තිබුණෙත් නෑ. එ කාලෙ දියත් උනේ ප්‍රධාන වශයෙන් පුරාණ ගොඩනැගිලි බාරගෙන ඒවා සංරක්‌ෂණය කිරීමේ වැඩ පිළිවෙලක්‌. මම 1976 දී අනුරාධපුරයට මාරුවීමක්‌ අරගෙන ආවා. මගේ ජීවිතේ වැදගත්ම වෙනස්‌වීම කරන ආචාර්ය සිරාන් දැරණියගල මහත්තයා මට හම්බවෙන්නෙ මේ කාලෙන් පස්‌සෙ. ඒ අවුරුද්ද 1979. මේ වෙනකොට මට පුරාවිද්‍යා කැණීම් ගැන ලොකු ආසාවක්‌ ඇතිවෙලා තිබුණෙ. මේ කාලෙදි මම වව්නියාවෙ සමලංකුලම කියන තැන සරත් වත්තල මහත්තයගේ කැණීමක හිටියා. එතන කැණීම් බාරව උන්නු නිලධාරියා දවසක්‌ කිව්වා දැරණියගල කියලා මහත්තයෙක්‌ ඉන්නවා. මිනිහා අමුතු විදිහෙ දක්‌ෂයෙක්‌. එයා ලඟ කැණීම් පුරුදු වෙන්න යමු කියලා. මාත් කැමතිවෙලා ඒ මහත්තයා හොයාගෙන ගියා.

කැණීම් කරන්න මේස හැන්දක්‌

දැරණියගල මහත්තයා ලඟ මම ඉස්‌සරවෙලාම කැණීමට ගියේ කිතුල්ගල බෙලි ලෙණට. ඒ දවස අද වගේ මතකයි. මට කැණීම් කරන්න දුන්නෙ මේස හැන්දයි පොඩි පොයින්ට්‌ හැන්දයි පොල්කටු හැන්දකුයි. මාව කැරකිලා ගියා. මේවයින් කැණීම් කරන වග උපන්තේකට අහළ තිබුණෙ නෑ. වටපිට බලනකොට මේ දවල් පැට්‍රල් මැක්‌ස්‌ ලාම්පු තිස්‌පහක්‌ විතර පත්තු කරලා කැණීම් වල ඇතුළෙ. ඒ එළියෙන් කැණීම් වලේ බිත්ති අපූරුවට එළිය වෙලා තිබුණා. මේ වෙනකොට මං අවුරුදු දහයක්‌ම පුරාවිද්‍යා කැණීම් වලට සහභාගී වෙලා තිබුණනෙ. එත් මේ මොකක්‌ද මේ වෙන්නෙ. මම අන්දුන් කුන්දුන් වෙලා හිටියෙ. මම මට පුළුවන් හැටියට පොයින්ට්‌ හැන්දයි, මේස හැන්දයි, පොල්කටු හැන්දයි අරගෙන ටික ටික වැඩකරන්න පටන් ගත්තා.

මේ කටයුත්ත මහා භාරධූර එකක්‌ වග එදා මට තේරුණා. දවසකටම පස්‌ බාල්දියක්‌ අයින් කරන්න නෑ. හැම පුංචි සාධකයක්‌ ගැනම සැළකිලිමත්. ටයිප් රයිටරයක්‌ අරන් වල ලඟ තියාගෙන සියලුම දත්ත දැරණියගල මහත්තයා සටහන් කරගන්නවා. කැණීමේ හැම අවධියක්‌ම ප්‍රස්‌ථාර කොලයක අ`දිනවා. පුරාවිද්‍යා කැණීමක අද පවතින විද්‍යාත්මක පදනම හා න්‍යාය සහිත දැනුම මුලින්ම ලංකාවට අරන් ආවේ ආචාර්ය දැරණියගලයන් විසින්. මම එතුමා එක්‌ක මේ විදියට සම්බන්ධ උනේ එ ආකාරයෙන් ලංකාවෙ ඇරඹුන මුල්ම ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීමකට.

කැණීමකින් කෙරුනේ ඉතිහාසය යළිත් කියෑවීමක්‌. මේ ඉතිහාසය කියෑවුනේ කාලයක්‌ තිස්‌සෙ ක්‍රමානුකූලව තැන්පත් වුණ පස්‌ තට්‌ටු හා ඒ පස්‌තට්‌ටු ඇසුරෙහි සිද්ධවන සිද්ධි සියුම් විදියට අධ්‍යයනය කිරීමෙන්. පොළවෙ පස්‌තට්‌ටු තැන්පත් වීම් ස්‌වභාවික සිද්ධි විදිහටත් මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල විදියටත් සිද්ධ වෙනවා. ගල් ගුහාවල පස්‌තට්‌ටු තැන්පත් වන්නේ බොහෝවිට අතීත මිනිස්‌සුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක්‌ විදියටම තමයි. කැණීමකදි අපි කරන්නේ නිවැරදිවම මේ පස්‌ තට්‌ටු වෙන්කර ගන්න එක. මේ පස්‌තට්‌ටු වල අතීත මිනිස්‌සුන්ගෙ සංස්‌කෘතික ක්‍රියාකාරකම් වල අවශේෂ තියනවා. ඒ සාධක වලින් අපිට පුළුවන් කාල නිර්ණයක්‌ කරලා ඉතිහාස කතාවක්‌ කියන්න.

මේ විදියට පස්‌ තට්‌ටුවෙන් තට්‌ටුව වෙන් කරගන්නා විදිය එ වෙන් කරගැනීමෙන් වංශකථා වල නොදැක්‌වෙන ඉතිහාසයක්‌ සාධක ඇතිව ඔප්පු කරගන්නා හැටි දැරණියගල මහත්තයා අපිට පුහුණු කළා. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් තනතුරේ ඉන්න ආචාර්ය නිමල් පෙරේරා මහත්තයාව දැරණියගල මහත්තයා විසින් පුහුණු කළේ ගල් ආයුධ පිළිබඳවයි. මා සහ අපේ කැණීම් කණ්‌ඩායමකට කැණීමක්‌ හරහා මතුවෙන ඉතිහාසය පිළිබඳ අදහස මතු කරන පස්‌ තට්‌ටු අධ්‍යයනය පුහුණු කළා. මේ වැඩේදි ඕන නැති කට්‌ටිය හැලිලා ගියා. එත් මම වැඩේ අල්ලගත්තා.

එතැන් සිට ඉගෙනගනිමින්ම මම වැඩ කළා. දැරණියගල මහත්තයත් එක්‌ක ඔහුගේ සෑම ප්‍රාග් ඓතිහාසික කැණීමකටම සම්බන්ධ උනා. කුරුවිට බටදොඹලෙණ, කෑගල්ලේ අළු ළෙණ, පාහියන්ගල, රාවණාඇල්ල, ඇතුළු හැම ප්‍රාග් ඓතිහාසික ලෙණකම කැණීම් වලට මටත් සම්බන්ධ වෙන්න සිද්ධ උනා. මේ කැණීම් මාලාව යන අතරේ අපි ගියා මන්නාරමට. මේ අතරේ කළු ජූලිය අවා. එතකොට අපි මන්නාරමේ. අපි පුළුවන් බඩුත් අරගෙන ආපහු කොළඹ ආවා.

ඉතිහාසය වෙනස්‌ කළ කැණීම

1981 කළු ජූලිය එනකොට අපි හිටියෙ මන්නාරමේ මාතොට කැනීමක්‌ කරමින්. කලබල පටන් ගන්නකොට අපි අතට අහුවුන බඩුත් අරන් ආපහු ආවා. දැන් ආපහු මන්නාරමට යන්න ලැබෙන්නෙ නෑ. දැරණියගල මහත්තයා මට මෙහෙම යෝජනාවක්‌ කළා.

'මැල්, මම 1969 දී කරපු කැණීමක්‌ තියනවා ගෙඩිගෙයි කැණීම කියලා. අපි එ කැණීම ලොකු කරමු'

මටත් ඕන උනේ වැඩ කරන්න. ඒ කාලෙ වනවිට මම මේ ශාස්‌ත්‍රීය කටයුත්තේ වගකීම හරියටම අ`දුනගෙන තිබුණෙ. මම මේ වැඩේට එකතුවෙන්න කැමති උනේ උඩින්. දැරණියගල මහත්තයා 1984 දි ඒ කැණීම පටන් ගත්තා. කැණීමක මූලික අරමුණක්‌ තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ මහාවංශය කියන කතාවෙ ඇත්ත නැත්ත සාධනය කිරීම. කැණීමෙන් එන කාලනිර්ණයන් මහාවංශයත් එක්‌ක සසඳලා පුරාවිද්‍යාත්මක මතය ඉදිරිපත් කිරීම. මේක අපූරු දෙයක්‌. කැණීම දියත් උනේ අනුරාධපුර පුරාණ ඇතුළු නුවර සල්ගහ වත්ත කියන තැනදි. මේ කැණීම කිසිම වැරැද්දක්‌ ඇති නොවෙන විදියට ඉතාම විද්‍යානුකූලව සිදුකළා. පස්‌ ස්‌ථර බෙදලා එ එ පස්‌ ස්‌ථරවලින් හමුවන මානව සංස්‌කෘතික සාධක කාල නිර්ණය කළාම මහාවංශය කියන කතාව හරියටම ඔප්පු උනා.

මේක ගැන කියන්න පුළුවන් වටිනාම කතාවක්‌ තියනවා. මේ කැණීමේදි ඉතා වටිනා දෙයක්‌ ලැබුණා. ඒ උත්තර උද්දීප්ත කාලවර්ණ වළංකටු කැබැල්ලක්‌. මේ මැටි බ`දුන් ඉන්දියාවෙ හමුවන්නෙ ක්‍රිස්‌තු පූර්ව හය වෙනි සියවසේදි. උත්තර උද්දීප්ත කාලවර්ණ මැටි බ`දුන් කියන්නෙ බුදුන් වහන්සේ ජීවමානව ඉන්නවිට සංඝයා වහන්සේ පාවිච්චි කළ පාත්‍ර. අපි කැණීම කළේ මහාවංශයත් එක්‌ක අපේ මතය ඉදිරිපත් කරන්නනෙ.

මේ වළංකටු කැබැල්ල හමුඋනේ මට. මං එය අතට ගත්තම දැරණියගල මහත්තයා කිව්වා මේක උත්තර උද්දීප්ත කාලවර්ණ මැටි බ`දුන් කෑල්ලක්‌. ඉන්දියාවෙ පුරාවිද්‍යා කොමසාරිස්‌ එනවා ලංකාවට. මං මේක පෙන්නනකම් කාටවත් හෙළි කරන්න එපා කියලා. එ කාලෙ ඉන්දියාවෙ පුරාවිද්‍යා කොමසාරිස්‌ එම් කේ තාපර් මහත්තයා. එයා ඇවිත් ගෙඩිගෙයි කැණීම බලලා මේ මැටි බ`දුන් කෑල්ල හ`දුනගත්තා. වළං කට්‌ට කාල නිර්ණය කළා. හරියටම ක්‍රිස්‌තු පූර්ව තුන්වෙනි සියවසට ඒ කාලය වැටුණා. එ කියන්නෙ මහා වංශය අනුව හරියටම බුද්ධාගම ලංකාවට ආපු වකවානුව. මහින්දාගමනය කියන ඓතිහාසික සිද්ධිය පුරාවිද්‍යා සාධක වලින් හරියටම ඔප්පු උනා ගෙඩිගේ කැණීමේදි.

ආන්දෝලනාත්මක වළංකටුව හමුවූ හැටි

දැරණියගල මහත්තයා ඊට පස්‌සෙ මට කතා කළා.

'මැල්, මේක මෙතනින් නවත්තන්න හොඳ නෑ. අපි දිගටම කරන්න ඕන. වාසස්‌ථාන පස්‌ තට්‌ටු අලුත් වෙමින් තියෙන්නෙ. ඇතුළුපුරේ කැණීම් කළොත් අපිට මීට වඩා වෙනස්‌ අලුත් ඩේට්‌ ගන්න පුලුවන්'.

මම ඒ අනුව දැරණියගල මහත්තයගෙ උපදෙස්‌ පිට ඔහුගේ අධීක්‌ෂණය යටතේ පුරාණ ඇතුල් පුරේ පරීක්‌ෂණ කැණීම් වළවල් 15 දැම්මා. අනුරාධපුරේ ඇතුළුපුරේ මතුපිට ඉඳලා අඩි තිස්‌ දෙකක්‌ ගැඹුරට ගියාම තමයි පිහිටි ගල හමුවන්නෙ. එ පිහිටිගල උඩින් හමුවෙනවා බොරළු පස්‌ තට්‌ටුව. බොරළු පස්‌තට්‌ටුව තමයි ප්‍රාග් ඓතිහාසික යුගයෙ මිනිස්‌සු ජීවත් උන පස්‌ තට්‌ටුව. ඒ කාලෙ ඔවුන් භාවිත කළ ගල් ආයුද මේ කොටසින් ලැබෙනවා. තුන්වන අවධිය තමයි අපි ක්‍රිස්‌තුපූර්ව නවයට කාල නිර්ණය වෙන යුගය. ඊට පස්‌සෙ ලේඛණය ආරම්භ වූ ඓතිහාසික යුගයට ආසන්නම කාලය වන මූල ඓතිහාසික අවධිය. මේ තුන්වන අවධියේ සිට මානව සංස්‌කෘතික හැඩගැස්‌ම හ`දුනා ගන්නෙ යුගයෙන් යුගයට වෙනස්‌ වන වළං කටු වලින්. පස්‌ තට්‌ටු එකිනෙක කවලම් වෙලා වළංකටු වර්ග වෙනස්‌ වෙලා තිබුණොත් ටක්‌ ගාලා දන්න කෙනෙකුට ඒක කියන්න පුළුවන්.

මේ හින්දම අපි ඉතාම පරිස්‌සමෙන් මේ කැණීම කළා.

වැදගත්ම සිද්ධිය උනේ ඊට පස්‌සෙ. මහාපාලි දානශාලව ල`ග කැණපු එක වලකින් ලැබුණා බ්‍රාහ්මීය අක්‌ෂරයෙන් අනුරද කියන නම කොටපු වළංකටුවක්‌. එ වළංකටුව ලැබුනෙ මට. වළංකටුව තිබුණෙ මූල ඓතිහාසික යුගයේ පස්‌තට්‌ටුවක. ඒ කියන්නේ ක්‍රිස්‌තු පූර්ව හයවෙනි සියවසට කාල නිර්ණය වෙන පස්‌ තට්‌ටුවක. එ පස්‌ තට්‌ටුවෙ තනිකරම තිබුණෙ මූල ඓතිහාසික යුගයට අයත් වළංකටු. අනුරද කියන අකුරු කොටලා තිබුණ වළංකට්‌ටෙ තිබුණෙත් එ මූල ඓතිහාසික යුගයේ වළංකටු වල හැඩයම තමයි. එහි වළංගැට්‌ටත් තිබුණා. මුලු තට්‌ටුවෙම තියන වළංගැටියි මේ වළංගැටියි අතර වෙනසක්‌ නෑ. මේ වළං කටුව ක්‍රිස්‌තු පූර්ව පන්සිය පනහට කාල නිර්ණය කළා.

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒ අනුව විජය කුමාරය ලංකාවට ආපු ක්‍රිස්‌තු පුර්ව පස්‌වන සියවස වෙනකොට මේ රටේ හිටපු මිනිස්‌සු අක්‌ෂර භාවිත කරලා තිබුණා. අපි ඉතිහාසය අනුව හිතාගෙන හිටියෙ ක්‍රිස්‌තු පූර්ව තුන් වන සියවසේ මිහි`දු හාමුදුරුවො ලංකාවට එනකම් අපි අක්‌ෂර භාවිත කළේ නෑ කියලා.

ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ප්‍රංශ විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය කැතරින්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා. එදා පටන්ගත්ත ඒ ප්‍රශ්න කිරීම තවමත් නැවතිලා නෑ. ගිය සතියෙත් පේරාදෙණිය සරසවියෙන් දෙන්නෙක්‌ ඇවිත් මේ වළංකට්‌ට ඇත්තක්‌ද ඇහුවා. ඒත් මේ ප්‍රශ්නය දැන් නිරාකරණය වෙලා ඉවරයි.

ලෝකය මේ ගැන ප්‍රශ්න කරද්දි දැරණියගල මහත්තයා එංගලන්තෙ ඔක්‌ස්‌ද්‍යර්ඩ් විශ්ව විද්‍යාලයට කතාකළා . ගෙන්නෙව්වා මහාචාර්ය රොබින් කොලින්ග්‍රැහැම් හා මහාචාර්ය කොල්චින්. එ අය අඩි 10 යි 10 වලක්‌ බැස්‌සා. ඔවුන් කැණීම කළේ අපේ වලේ කැණිම් මුහුණතත් එක්‌කමයි. අපේ කාල නිර්ණයන් හරියටම ආවා. ඊට පස්‌සේ ජාත්‍යන්තර වශයෙන් දැරණියගල මහත්තයා ඉදිරිපත් කළ මතය පිළිගත්තා. රොබින් කොලින්ග්‍රැහැම් ගේ ආචාර්ය උපාධියත් එක. එත් අපේ මිනිස්‌සු තවමත් මේ සොයාගැනීම සැක කරනවා.

මේ වෙනකොට දැරණියගල මහත්තයා එයාගෙ ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ලංකාවෙ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන හාවඩ් විශ්ව විද්‍යාලයට කළ පර්යේෂණ නිබන්ධනයට ආචාර්ය උපාධිය හම්බඋනා. ආචාර්ය උපාධිය අරගෙන ඉස්‌සරවෙලාම පොත් දෙකක්‌ අරන් අපේ ගෙදර ඇවිත් මට එ පොත් දෙක දුන්නා. දැරණියගල මහත්තයත් එක්‌ක ලංකාවෙ තියන හැම ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීමක්‌ම කළේ මම. එයාගෙ ආචාර්ය උපාධි පොතේ මං වෙනුවෙන් වෙනම තීරුවක්‌ වෙන් කරලා තියනවා. විවිධ රටවල මහාචාර්යවරු මගේ සේවය අගය කළා.

මං කැනීම් නිලධාරී විදියට විශ්‍රාම යනකොට ආචාර්ය දැරණියගල, ආචාර්ය ඩබ්ලියු. විෙ-පාල හා ආචාර්ය නිමල් පෙරේරා මහත්වරුන්ට ආචාර්ය උපාධි ලබා ගන්න මගේ දැනුම දුන්නා. අනියම් කම්කරුවෙක්‌ විදියට රස්‌සාව පටන්ගත්තු මා කැණීම් නිලධාරියෙක්‌ විදියට විශ්‍රාම ගියා. ඒත් තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංකීර්ණ කැනීම් කරන්න මාව සම්බන්ධ කරගන්නවා. මම අවුරුදු තිස්‌ හතරක්‌ ජීවත් උනේ පුරාවිද්‍යා කැණීම් එක්‌ක. ඒත් අපි ලබාගත්ත අත්දැකීම් හා ප්‍රායෝගිකව ලබපු දැනුම නිහතමානීව අරගන්න තරම් බරක්‌ තියන පරම්පරාවක්‌ දැන් මේ ක්‌ෂේත්‍රයේ නැහැ.

ඒත් මා තවම පුරාවිද්‍යාවත් එක්‌ක ජීවත් වෙනවා.

ජානක ලියනආරච්චි - රංග විදානෙ

 (උපුටා ගැනීම දිවයින පුවත් පතෙනි)

2 comments:

  1. ape rate minissu asokata yatath wela inna hari kamathyi. wahal unmade

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම ඉන්දියාවට කඩේ යන්නත් දක්ශයි.

      Delete