Tuesday, June 19, 2012

දේව හෙලය

අනුරාධපුර යුගයට පෙර මේ හෙලදිව දීප හතරකට බෙදා උතුරු කුරු දීපය,ජන්බුද්වීපය,අපරගෝයානය හා පූර්ව විදේහය යන නම් වලින් මේ රටේ ජනයා සිවු හෙලය ලෙසින් භාවිතා කර ඇති අතර ජන්බුද්වීපයේ දබදිව වාසය කලේ දේව ගෝත්‍රික ජනතාවය. මොවුන් ආර්යයන් ලෙසින් ලෝකයා එවකට පිලිගෙන තිබිණි. බ්‍රාහ්මණ,ක්ෂත්‍රීය,ඛත්තිය(කැත්කුලය,වෛශය ලෙසද හදුන්වයි)හා ශුද්‍ර නමින් කුල හතරකට අයත් මිනිස්සු එදා දේව හෙලයේ වාසය කර ඇත. නමුත් යක්ශ හෙලයේ එවැනි කුල ගෝත්‍රවලට තදබල ලෙස බෙදීමක් තිබී නැත.
 

දේව හෙලයේ විශේෂ පරිපාලන ක්‍රමයක් හා අධ්‍යාපන ක්‍රමයක් තිබී ඇත.
දේව අධ්‍යාපනය හා එහි ස්බාවය ගැන විස්තර කිරීමට පෙර "දේව" යනු කුමක්දැයි හදුනාගෙන සිටිමු. දේව ලෙස හැදින්වූ කොටස් තුනක් අපිට හදුනාගත හැක.
(1)උප්පත්ති දේව
(2)සම්මත දේව
(3)විශුද්ධි දේව
උප්පත්ති දේව ලෙස හදුන්වන්නේ සදෙව් ලෝකවල ඕපපාතික උපත ලබන දේව කොටසයි.
සම්මත දේව යනු දේව ගෝත්‍රය ලෙස සම්ම්තයෙන් පිලිගත් "දේවයන් වහන්ස" වැනි සම්මත පදයෙන් මහජනයා හදුන්වන ලද රජදරුවන්ය. පසු කලෙක මොවුන්ට දේව මන්දිර ඉදිකර දේවත්වයෙන් සලකන ලදී. අදටත් එය එසේම පවතී.
විශුද්ධි දේව ලෙස හදුන්වන්නු ලැබුවේ ද්වේශයෙන් තොර රහතන් වහන්සේලාය.
මේ දේව කොටස් තුනම ගැන ත්‍රිපිටකයේ සදහන්ව ඇතත් නුතනයේ බොහෝ දෙනා මේ දේව කොටස් එකිනෙකට පටලවන් ඇති බව කිව යුතුය.
 

දේව අධ්‍යාපනය ඇතිවීමට හේතුව වූයේ හිරණ්‍ය කාශ්‍යප රජුව විශ්නුගේ නරසීංහ අවතාරය විසින් මරා දැමීමයි.හිරණ්‍ය කාශ්‍යප රජුගේ අවසානය කියැවෙන වෘතාන්තය දෙස බැලුවොත් එතැනදී නරසිංහ විසින් රජු මරා දැමීමට හේතුවක් විදියට රජුගේ නොඉවසීම හා ඒ අවස්ථාවේදී අවේග ශිලීව හැසීරීම හේතුවුණ බවක් පැහැදිලිවම පේනවා.ඒ නිසා හෙළ අසුර අධිරාජ්‍යහී ස්ථාවරත්වයට රජවරු පුහුණු කිරීමක් අවශ්‍ය වුණා. විවිධ සතුරු ආක්‍රමණ හා උපද්‍රව වලින් ගැලවීමටත් රටේ ප්‍රශ්න වලිදී ඉවසීමෙන් කටයුතු කිරීමට රජවරු පුහුණු කීරීම අවශ්‍ය වුණා.
මේ අවශ්‍යතාව ඉ‍ටු කිරීමට ඉදිරිපත් උනේ බෘගු මහා ඍෂිවරයායි.(මේ කාලයේ ලංකාව හා ඉන්දියාව රටවල් දෙකක් විදයට පැවතිලා නැහැ. ඒ වෙනුවට පොඩි පොඩි ප්‍රෙද්ශිය රාජ්‍යන් විදියට තමයි තිබිලා තියෙන්නෙ. නමුත් සංස්කෘතියෙන් ඒවා සියල්ල හෙළ අධිරාජ්‍ය විදයටයි තිබිලා තියෙන්නෙ.නමුත් රාවනා යුගය වන විට වෙන්වී පැවති බව කිව හැක. ) මේ සෘෂිවරයා ආරම්භකල මේ අධ්‍යාපනය ක්‍රමය නිසා නායකත්ව පුහුණුව් සමග උතුම් මිනිසෙක් නිමවුම ලෙස ලැබිනි. ඒ නිසා දේව අධ්‍යාපනය ලෙස හදුන්වලා තියෙනවා.දේව අධ්‍යාපන ක්‍රමයෙන් හෙළ අධිරාජයේ සිටි යක්, රකුස් හා නාග යන සෑම ජනකොඨඨාශයකම අයෙක්ටම දේවයෙක් වෙන්නට හැකි වුණ අතර මෙලෙස දේව අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව හෙළ සමාජයට තවත් ජන කොඨ්ඨාශයක් දේව නමින් එක් වුණ අතර දේව, නාග, රකුස් හා යක් යන ජනකොඨ්ඨාශ හතර නිසා හෙළ අධිරාජ්‍ය සිව් හෙළය යන නම අදටත් ශේෂව තියෙන අයුරු දැක ගන්න පුළුවන්. මේලෙස ජන කොඨ්ඨාශ හතරක් සිටියත් මුල් බිම හෙළ දිව නිසා හෙළයන් ලෙස හැදින් වුවා වගේම ජනකොඨාශ හතරේම පොදු නාමය අසුර වෙලා තියෙනවා.


මේ දේව අධ්‍යාපනය විවිධ විශයන්ගෙන් හා අධ්‍යාපන ක්‍රම කීපයකින් සමන්විත වෙලා තිබිලා තියෙනවා.
1. යෝග
2. මන්ත්‍ර
3. තන්ත්‍ර
4. වෙදකම
5. අහස් ශාස්ත්‍ර
6. අවි නිපයුම
7. යුධ හරඹ
8. ධාන්‍ය භාවනා
9. ශාන්ති කර්ම හා පුජා
10. දර්ශනය
11. මොහනය
මේ මුල් අධ්‍යාපන විශයන් වුවත් මීට කාලයකට පසු ගෞතම බුදුන්වහන්සේ පහල වන විටත් මේ විශයන් තිබූ බවට ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය සාක්සි දරනවා.එම සූත්‍ර දේශනාවේ ඇති එදා හෙලදිව තිබූ ඇදහීම්, ඇතුලු වෙනත් සංස්කෘතික අංග කීපයක් මෙසේ දැක්විය හැක.
සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.යාන(රථ) ගැන
 (අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.
හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්‍ර මුද්‍රා ආදී ලකුණුවලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මේ විද්‍යායි.විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍ර්‍යයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම යනුයි.
 බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම........


නැවත ගෞතම බුද්ධෝත්පත්තියට පෙර කාලයට ගියහොත් මෙම දේව අධ්‍යාපනය ලැබූ අය සාමාන්‍ය වැසියන් වුවද ඔවුන්ට ඉහලින් ගුරුවරු,මුණිවරු හා සෘෂිවරුන්ගෙන සමන්විත වෙලා තියෙනවා. ඔවුන් ආරණ්‍යවල හා හිමවත හෝ ඉන්දියාවේ හිමාලය ආශ්‍රයකරගෙන සාමාන්‍ය ජනයාගෙන් ඈත්ව ජීවත් වී තියෙනවා. දේව අධ්‍යාපනයේ ප්‍රධානියා සක්කර නැත්නම් සක්‍ර ලෙස හදුන්වලා තියෙනවා. මාගධී ත්‍රිපිටකේ අයුරින් බුදුන්වහන්සේ හමුවීමට ඇතැම් අවස්ථාවල පැමිනි සක්කස්ස දේවානමින්ද ලෙස හදුන්වා ඇත්තේ ඒ දේව අධ්‍යාපනයේ සක්කර පරපුරේ පුද්ගලයන්ය.තවද දේව අධ්‍යාපන ආරම්භ කරපු බෘගු මහා ඍෂිවරයා හැදින්වෙලා තියෙන්නෙ ශ්‍රකාචාරී ලෙසටයි.
ලේඛන කලාව මේ යුගයේ නොතිබුණ බැවින් ශිෂ්‍යන් ගුරුවරයා සමග වාසය කිරීමෙන් ශිල්ප ඉගෙන ගන්නා ලදී. ගුරුවරුන් යටතේ යම් කිසි සිසුන් පිරිසක් හිටිය අතර ඔවුන් ගුරුවරයාගේ අසපුවේ හෝ තපෝවනයේම සිටි අතර ඔවුන් නඩත්තු කලේ ආසන්නයේ පිහිටි ගම්මානයෙනි. මේ විදියට ශිෂ්‍ය පරම්පරා බිහිවිමෙන් දේව අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යන ලදි.ගුරුවරයාගේ ආශ්‍රෙයන් ඉවත් වු පසු තමන් එක තැන හිද නිශ්චල මනසින් යුක්තව ලෝකය අවබෝධ කරගත් අය ඍෂි වරුන් නැතහෝත් මුණි වරුන් බවටද අනෙකුත් දේවයන් පාලකයන් වු බවද සදහන්වේ.
දේව පාලනය රට පුරා මනාලෙස බෙදී ගිය පාලනයක් තිබී ඇත.

දේව පාලනයේ දක්නට හැකි දේවයන් කොඨ්ඨාශ පහකින් යුක්තය
1. ගපති - කුඩා කණ්ඩායමක නායකයා. ගමේ එක් කොඨ්ටාශයක නායකයා
2. ගාමණි- ග්‍රාමයේ නායකයා. ග්‍රාමයක් තුල ගපතියන් කීප දෙනෙක් සිටිය හැක
3. පරුමක- ප්‍රාදේශිය නායකයා. ග්‍රාමයන් කීහිපයක් එකතු වී සෑදේන ඒකකය
4. රජු - මෙය යුව රජු ලෙස දැක්විය හැක. රටේ විශාල ප්‍රෙද්ශයක නායකයා
5. මහ රජු - රටේ අග රජු. ඔහුද දේවයකු නිසා මහ රජු හමුවේ දේවයන් වහන්ස යනුවෙන් අමතන ලදි.

 පසු කලකදී එනම් ගෞතම බුදුන්වහන්සේ පහල වන කාලය වන විට දේව හෙලය ජනපද ලෙස කොටස් 16කට බෙදුනු බව පැහැදිලිය. පසුකාලක විජයගේ පැමිනීමත් සමග යක්ක හෙලය පිරිහී ගිය අතර පාලනය අනුරාදපුරය කේන්ද්‍රගතව පැවිත විවිධ හේතූන් මත රාජධානි තැනින් තැනට සංක්‍රමනය වී ඇතිබව සැවොම දන්නා කරුනකි.

ඉහත ක්‍රමය ශ්‍රි වික්‍රම රාජ සිංහගෙන් අවසන් වූ ලංකාවේ රාජවලිය දක්වාම රජු ඇමතිමට යොදා ගන්නා ලදි. මෙම හෙළ විදි විජයගේ සිට රාජ සිංහ රජු දක්වාම අනුගමනය වූ අතර ඒවා ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ දේවල් හෝ විජය ලංකාවට ගෙන ආ දේවල් නොවේ.
විජය ලංකාවට ඉන්දියානු ක්‍රමයේ මධ්‍ය ගත වැඩවසම් ක්‍රමයක් ගෙන ආවද පඩුවස්දෙව්ගෙන් පසු නැවත පණ්ඩුකාභය නැමති හෙළ රජු ලංකාවේ බලයට පැමිණීමෙන් පසු දේව පාලනය ක්‍රමය ලංකවේ ස්ථාපිත වු අතර විජයගෙන් පසු පියාගෙන් පුතාට රාජ්‍ය උරුම වන ක්‍රමයක් ලංකාවේ බිහි විය. (පණ්ඩු කාභය කුමරු දේව අධ්‍යාපනය ලැබුවෙක් බව තහවුරු කර ගත හැක. පණ්ඩුල නම් භ්‍රාමණයා නැතහොත් පණ්ඩුල දේව ආචාරී විසින් පණ්ඩුකාභය කුමරුට සියළු ශිල්ප ඉගැන්වූ බව කියන මහා වංශයට අනුව පණ්ඩුකාභය කුමරු අභය නැතහොත් බසවක්කුලම වැව තැනීම ආදියෙන් තව තවත් තහවුරු වන්නේ මහින්දාගමනයෙන් පසු ලංකාවේ සංස්කෘතික හා තාක්ෂණික දියුණුවක් ඇති වුණා නොව එය පෙර සිටම පැවත එන්නක් බවයි)
  
දේව පාලනය තුල රජවරු පුහුණු කිරීමක් කලද එමගින දේව පාලනයේදී පියාගෙන් පුතාට රජකම උරුමයක් ලෙස ලැබීම දක්වා නැත. දේව පාලනය තු දේව වංශයක් හදුනාගත හැක. මෙම වංශය රකුස්, නාග, යක් යන කුමන කොඨ්ඨාශයෙන් වුවත් දේව අධ්‍යාපනය සම්පුර්ණ කරන ලද්දන්ගෙන් සමන් විත වූ අතර සුදුස්සාට රජකම හිමි විය. පියාගෙන් පුතාට රාජ්‍ය ලැබීම සිදු වූයේ සුදුසුකම් තිබූ තැන පමණි. විජයගෙන් පසුව මෙම ක්‍රමය බිද වැටුණ අතර යසලාලක තිස්ස වැනි අනුවණ රජුන් දක්වා බිහි විම දක්වා බලපාන ලද්දේ විජයගේ ආක්‍රමණයයි.
මහාසම්මත රජුගෙන් පටන් ගත් පසු විවිධ වූ වෙනස් වීම් වලට ලක්වූ හෙලදිව ගෞතම බුද්ධෝත්පත්තිය වන විට එනම් සුද්ධෝදන රජු දක්වා රජවරු සත්ලක්‍ෂ සත්දහස් සත්සිය අනූවක්  පමන සිටි බව බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය සදහන් කරයි.ඒ අතර චක්‍රවර්තී රජවරුද සිටින බව අනිවාර්යෙන්ම කිව යුතුය.මහාසම්මත රජුගේ සිට පටන් ගන්නා රාජපරම්පරාව ඇතැම් යුගවලදී අධ්‍යාපනය.දඩුවම්, පරිපාලනය,තාක්ශනය වැනි අංශ ඉතා දියුනු තත්වවලද පැවතී ඇත. 

කෙසේ වෙතත් ගෞතම බුදුන්වහන්සේ පහල වන විට හෙලදිව ජනපද 16කට බෙදා තිබූ අතර යක්ක,නාග,ගන්ධබ්බ,කුම්භාන්ඩ පාලනය කල ප්‍රදේශ ආටානාටිය සූත්‍රයේ දැක්වෙන රජවරුන්(චත්තාරෝ මහා රාජා) හතර දෙනෙක් පාලනය කර ඇත. නමුත් කුමන අවාසනාවකටදෝ හෙලදිව සිටි රජවරුන්ද ඉන්දියාවට භාර දී ඇත.
කෙසේ වෙතත් ගෞතම බුදුන්වහන්සේ පහල වන විට හෙලදිව බ්‍රාහ්මනයන් ඇතුලු විවිධ වූ ආගමික නායකයන් තම තමන්ගේ ආගම් ව්‍යාප්ත කරගෙන සිට ඇත. එසේම කුල භේදයද තදින්ම පැවතී ඇත. බුදුන්වහන්සේගේ පහල වීමත් සමග සියලු මිත්‍යා දෘශ්ටික ආගම්,මතවාද,කුල භේද  යටපත් විය. නමුත් ඒවායේ අවශේෂ බුද්ධ පරිනිර්වානයෙන් පසුත්  ලක්දිව තිබූ බවට ඉතිහාසය සාක්සි දරයි.ඇතැම් මිත්‍යාදෘශ්ටික දේ නම්  තවමත් භාවිතා වන බව පැහැදිලිය.
 මේ ඉදිරිපත් කලේ ඉතාම සංශිපතයකි.
මූලාශ්‍ර-රාවනා ඉතිහාස ගවේශකයන්ගේ තොරතුරු,ජන්බුද්වීපය,ත්‍රිපිටකය හා වෙනත් ග්‍රන්ථ.

3 comments:

  1. "පියාගෙන් පුතාට රාජ්‍ය ලැබීම සිදු වූයේ සුදුසුකම් තිබූ තැන පමණි. විජයගෙන් පසුව මෙම ක්‍රමය බිද වැටුණ අතර යසලාලක තිස්ස වැනි අනුවණ රජුන් දක්වා බිහි විම දක්වා බලපාන ලද්දේ විජයගේ ආක්‍රමණයයි."

    …සහෝදරයාගෙන් සහෝදරයාට රාජ්‍යත්වය හිමිවී දෙවන වටයේදී වැඩිමහල් සොයුරාගේ පුතාට රජකම හිමිවීම්aද දැකගත හැකියි

    ReplyDelete
  2. "විශුද්ධි දේව ලෙස හදුන්වන්නු ලැබුවේ ද්වේශයෙන් තොර රහතන් වහන්සේලාය"

    …මේ ගණයට රහතන් වහන්සේලා පමණක් නොව ලොවුතුරා බුදුවරු සහ පසේ බුදුවරුත් අයත් වෙනවා

    ReplyDelete
  3. "රජු, මහ රජු"

    …මෙවැනි යෙදුම් භාවිතා වන්නට ඇත්තේ ගණ තන්ත්‍ර රාජ්‍යවල.

    …"සන්ති රාජා ගෘහේ ගෘහේ" [සැම නිවෙසකම රජෙක් සිටී]

    …ඒවායේ සිටි බොහෝ රජවරුන් අතරේ ප්‍රධානත්වය ගන්නා එසේත් නැතිනම් රජවරුන්ගේ එකමුතුවේ සභාපති ලෙස ක්‍රියාකරන තැනැත්තා මහ රජු ලෙස හඳුන්වා තිබෙනවා.

    ReplyDelete