Tuesday, June 19, 2012

පුද්ගලයන් හදුනා ගැනීම

අද බොහෝ දෙනෙකු කෙනෙකු දු‍ටු පමනින් ඔහු ගැන විවිධ නිගමනවලට එලබෙයි. නමුත් බුදුන්වහන්සේ ඒ පිලිබදව කොසොල් රජතුමාට පැහැදිලි කරන අයුරු සංයුත්ත නිකායේ ජටිල සූත්‍රයේ පෙන්වා දී ඇත.එහිදී බුදුන්වහන්සේ  සිල්වතුන්, ශුද්ධවන්තයන්, ශක්තිවන්තයන්, ප්‍රඥාවන්තයන් හදුනාගන්නා ආකාරය ගැන කොසොල් රජතුමාට පැහැදිලි කරයි.
 

බුදුන්වහන්සේ මිගාරමාතු පාසාදයේ වැඩ සිටින විට කොසොල් රජතුමා බුදුන්වහන්සේ හමුවීමට පැමිනියේය. එවෙලෙහි අන්‍ය තීර්තකයන් කීපදෙනක් එතනින් ගමන් කලේය.
"එවේලෙහි ඉතා දික්ව වැඩුනු කිසිලි ලොම් නිය ඇති ජටිලයෝ සත්දෙනෙක්ද, නිඝණ්ඨයෝ සත්දෙනෙක්ද, දිගම්බරයෝ ( නිර්වස්ත්‍ර තාපසයෝ ) සත්දෙනෙක්ද, ඒක සාටකයෝ ( එක සළුවක් පමණක් ඇති තාපසයෝ )සත්දෙනෙක්ද, පරිව්‍රාජකයෝ සත්දෙනෙක්ද, නොයෙක් ආකාර තවුස් පිරිකර රැගෙණ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් එපෙදෙස පසුකර යති."
 

ඔවුන් දු‍ටු කොසොල් රජතුමා දනගසා ඔවුන්ට තමන් කොසොල් රජතුමා බව පවසා වැද ගෞරව දැක්වීය. ඉන්පසු කොසොල් රජතුමා බුදුන්වහන්සේ අමතා ´´ ස්වාමීනි, ලෝකයෙහි රහත් වූ හෝ රහතු මගට පිළිපන්නා වූ හෝ යමෙක් වෙත් නම් මොව්හුද ඔවුන් අතරම වූ සමහරු වෙති ´´ යි කීය.
 

එවිට බුදුන්වහන්සේ ´´ මහරජ, පස්කම් සැප අනුභව කරණ, දූ දරුවන්ගෙන් පීඩ්ත, සයනයක හොවින, කසී සඳුන් ගල්වන, මල් ගඳ විලවුන් දරණ, රන්රිදී ඉවසන ගිහියෙක් වූ ඔබ විසින් මොවිහු රහත්හුයයි කියා හෝ මොවිහු රහත්මගට පිළිපන්නාහුයයි කියා හෝ දැනගැන්ම දුෂ්කරය ( අපහසුය.) වදාලහ.
 

එතනදී බුදුන්වහන්සේ කොසොල් රජතුමාට සිල්වතුන් ශුද්ධවන්තයන්,ප්‍රඥාවන්තයන් හදුනා ගන්නා ආකරය දේශනා කලේය.
 

"මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ."
 

"මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ."
 

"මහරජ, විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ."
 

"මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ."

ඇතැම් පුද්ගලයන් දු‍ටු සැනින් මොහු සිල්වතෙකි, මොහු නුවනැත්තෙකි, මොහු දුස්සීලයකි,මොහු මෝඩයකි ලෙස නිගමන වලට එලබෙන්නන්ට මේ සූත්‍ර දේශනාව අගනා උපදේශයකි. කෙනෙකුගේ සීලයක් හෝ නුවනක්,පාරිශුද්ධියක්,ශක්තියක් ඔහු දු‍ටු සැනින් ඔබ නිගමනය කරන්නේ නම් එය දුර්වලතාවයකි.
 

ඒ අන්‍ය තීර්තකයන් ලෙස වෙස් ගෙන ආවේ තමන්ගේ රාජපුරුශයන් බව කොසොල් රජතුමා බුදුන්වහන්සේට පැවසීය. 
ස්වාමීනි මොව්හු මාගේ චෞරයෝය. චරපුරුෂයෝය. ඒ ඒ ජනපදවල කරුණු විමසා ඇවිද එන්නාහුය. ඔවුන් විසින් පළමුකොට සෝදිසි කළ තැනට මම පසුව යන්නෙමි. ස්වාමීනි, දැන් ඔව්හු ඒ දැලිකුණු සෝදා හැර හොඳින් නා, විලවුන් ගල්වා, කෙස් රැවුල් කපා හැර, සුදු පිළි හැඳ, පස්කම් ගුණයෙන් යුක්තව පස්ඉඳුරන් පිනවන්නාහුය.
අවසානයේ බුදුන්වහන්සේ වටිනා කරුනක් දේශනා කලේය.
 පාටින් හා සටහනින් මිනිසා දතහැකි නොවේ. 


"දැකීම් පමණින් මිනිසකු විශ්වාස නොකරන්නේය"

"හොඳට සංවර වූවන්ගේ විලාසයෙන් හික්මීම නැත්තෝ මෙලොව හැසිරෙති. රනින් කරණ ලද්දකට සමාන වූ මැටියෙන් කළ කුණ්ඩලයක් මෙන්ද, පිටත රන් ගෑමෙන් රනින් වැසුනු ලෝහ අඩමස්සක් මෙන්ද, සමහරු පිටත්තර පරිෂ්කාරයෙන් වැසුනෝව ඇතුළත අපරිශුඬයෝව පිටතින් පමණක් ශෝභමානව හැසිරෙති"

ඕනම කෙනෙකුට තමන් සංවර බව අන් අයට මවා පා පෙන්විය හැකිය. එහෙත් ඔවුන්ට සැබෑ සංවරකමක් නැත. මද කිපුනු ඇතෙකු දම්වැල් වලින් බැද තැබූ විට ඌට අත පා සෙලවිය නොහැකි ලෙස සිටින විට ඇතැම් මිනිස්සු මේ ඇතා බොහෝම සංවර ඇතෙක් කියා නිගමනවලට එලබෙයි. නමුත් ඇත්ත ස්බාවය එය නොවෙයි. මේ සූත්‍ර දේශනාවේ සදහන් පරිදි ඇතුලත අපිරිසිදු තැනැත්තන් තමන් පිරිසිදු බව පෙන්වීමට උත්සහ දක්වයි. එයටහොදම නිදසුන බුදුන්වහන්සේ ජටිල සූත්‍රයේදී පෙන්වා දී ඇත.

යම් කෙනෙකු හෙමින් ගිය පමනින්,කනට නො ඇසෙන්න කථා කල පමනින්,බිම බලාගෙන ගිය පමනින්,අත පය නොසෙල්වූ පමනින් ඔහු සිල්වතෙකු ලෙස නිගමනවලට එලබූමට කලබල නොවන්න.
එසේම කෙනෙකු ශබ්ධනගා කථා කල පමනින්,අතපය සෙලවූ පමනින් ඔහු දුසිල්වතෙකු ලෙස නිගමනවලට එලබෙන්න.

කෙනෙකුගේ භාහිරය කෙටිකලකදී බලා ඔහු සිල්වතෙක්ද, පාරිශුද්දයෙක්ද, ශක්තිවන්තයෙක්ද,ප්‍රඥාවන්තයෙක් දැයි කීමට නුපුලුවන්ය.මෙතෙක් කල් එසේ කිරීමට ඔබ පෙලබුනිනම් ජටිල සූත්‍රය ඇසුරුන් නිවැරදි අවබෝධය ලබන්න.

No comments:

Post a Comment