Monday, January 30, 2012

බුදුන් වහන්සේ ලොව පහල උනේ ඇයි?

සාරාසංකෙය කල්ප ලක්ශයක් මුලුල්ලේ පාරමීදම් පුරා බුදු කෙනෙකු ලොව පහල වන්නේ සියලු සත්වයන්ට සසරින් එතරවීමට අවශ්ය මාර්ගය පෙන්වීමටය. එනම් ලෝකේ පවතින පරම සත්්‍ය ලෝකයාට කියාදීමටය. බුදුන්වහන්සේ ලොව පහලවන විට බොහෝ ආගම් තිබුනි. නමුත් බුදුන්වහන්සේ තවත් ආගමක් දේශනා නොකලේය. ඇයි බුදුන්වහන්සේ ආගමක් දේශනා නොකලේ, ආගමක් යනු ඇදහීමකි. නමුත් බුදුන්වහන්සේ දේශනා කලේ ඇදහීමක් කරන විදියක් නොව පුරුදු කල යුතු ප්‍රායෝගික වැඩපිලිවලකි. ඉතින් වර්තමානයේ මෙම උතුම් පනිවිඩය ආගමකට හිර කරලා. ඒ උතුම් සත්ය නොසොයා බොහෝ දෙනා ඇදහීම් පමනක් කරමින් සිටී. මෙතරම් උතුම් දේශනාවක් තිබියදී ඇදහීම පමනක් කරමින් සිටීම නිවැරදිද?? අද බොහෝදෙනා කරනුයේ සිංහල බෞද්ධ යන සීමාව දාගෙන බුදුන් වහන්සේ තම ජාතිය වෙනුවෙන් පමනක් සිටින බව සිතමින්, දහම පුරුදු කිරීම පසකලා පෙලපාලි යමින්,කන්ඩායම් නිර්මානය කර ගනිමින්,අන් ජාතීන්ට නිගාකරමින් හැසිරීමය. බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ සියලු ආගම් වලට, සියලු ජාතීන්ට මිසක් එක ජාතියකට හෝ එක ආගමකට නොවේ. එනිසයි උන්වහන්සේගේ දේශනාව මුලු ඉන්දියාවපුරා පමනක් නොව රට රට වලටද පැතිර ගියේ. නමුත් අද බුද්ධාගම සුරකිනවායි කියමින් බුදුන්වහන්සේ දේශනා කල දේට පිටින් ඇත්මුන් හැසිරෙයි. අනිත් ආගම් වලට අනිත් ජාතීන්වලට නිගාකරයි. එවිට සිදු වන්නේ කුමක්ද අනිත් අයට බුදුන්වහන්සේ හා දේශනාව පිලිබද පිලිකුලක් ,ද්වේශයක් ඇතිවීමයි. එවිට බුදුන්වහන්සේගේ පනිවිඩය ලෝකය පුරා ව්‍යාප්ත කරන්නේ කෙසේද?? බුද්ධාගම බේරාගන්නවායි කියමින් අනිත් ආගම්වලට නිගාකරමින්, බුදුන්වහන්සේ පිලිබදව අන්යන් තුල අප්‍රසාදය ඇති කිරීමට උත්සහ කරන පිරිස් බමුනන යැයි හැදිනුවහොත් ඔබද එයට එකගවනු ඇතැයි සිතමි........
අනික නම් සිංහල බෞද්ධයන්ට කිසිදා නිවන්දැකිය නොහැක. එය වන්නේ කෙසේද? නිවන යනු නිවීමයි. සියලු බැදීම වලින් නිදහස් වීමයි.කෙනෙකු සිංහල බෞද්ධ යන ප‍ටු සීමාවට සිරවී සිටියොත් ඔහුට සත්ය අවබෝධ නොවේ. මන්ද සත්ය ඇත්තේ සම්ප්‍රදායෙන් එලියේය. සම්ප්‍රදායක් යනු විටින් විට වෙනස්වන දෙයකි. සිංහල බෞද්ධ යනු එක්තරා ප‍ටු සීමාවකි. කෙනෙකුට නිවන්මග ගමන් කරයිනම් ඔහු සියලු සම්ප්‍රදායන්ගෙන් සියලු සීමාවන්ගෙන් නිදහස්විය යුතුය. මින් අදහස්වන්නේ සිංහල බෞද්ධයෙකු ලෙස ඉපදීම නිවනට භාදාවක් කියන එක නොව. තමා සිංහල බෞද්ධයෙක්ය,තමා මහජාතියය යන ප‍ටු සීමාව සිතේ දරාගෙන සිටින්නන්ට නිවනට පත්විය නොහැකි බවයි. නිවනට පත්වුවන් මෙම කිසිදු සීමාවකට හිර නොවෙයි. මේ උත්සහය කිසිදු ජාතියකට නින්දා කිරීම නොව බුද්ද දේශනාව අපවිත්‍ර කිරීමට සිංහල බෞද්ධ වේශයෙන් පැමිනෙන්නන්ට පහර ගැසීමය. මම කියන සීමාව තේරුන්නැත්නම් මට කරන්න දෙයක් නැත. එනිසයි බුදුන්වහන්සේ දේශනා කලේ ''ප්‍රඥාවන්තෝ අයං ධම්මෝ - නායං ධම්මෝ දුක්පඥඥස්ස''ලෙස.(මේ දහම ප්‍රඥාවන්තයන්ටයි. මෝඩයන්ට නෙමේ.)
බුදුන්වහන්සේ දේශනා කලේ දර්ශනයක්ද?? නැත දර්ශනයක් යනු තර්ක විතර්ක මත ගොඩනැගුනු මොලයට ගෝචර දෙයකි. දර්ශනයක් උවහොත් එය විවිධ වෙනස්වීම්වලට භාජනය වෙයි. නමුත් බුදුන්වහන්සේ දේශනාකලේ කිසිදාවෙනස් නොවන පරම සත්යකි.(අකාලිකෝ) එසේනම් බුදුන්වහන්සේ දේශනා කල මෙයට කුමක් කිව හැකිද?? සිරි සමන්ත්‍රභද්ද හිමියන් පවසන පරිදි සුදුසුම වචනය වන්නේ "බුද්ද ඉගැන්වීම" යන්නයි. මමත් එයට එකග වෙමි. මක් නිසාදයත් ඉගැන්වීමක් යනු මගපෙන්වීමකි. කොහෙට මග පෙන්වීමක්ද යත් නිවන සදහා වු මග පෙන්වීමකි.
බුද්ද ශ්‍රාවකයෝ ඉන්නේ බුද්දාගමේ විතරද?? නැත මාරගඵල ලාභීන් ඕනැම ආගමක ඕනැම ජාතියක සිටිය හැක. එනම් බුද්ධ ස්භාවය පිලිබදව තේරුම්ගත් තැනැත්තන්ය. ඔවුන් වචනයන් දැන නොසිටියාට සිතේ බුද්ද යන්න පිලිබද අවබෝදයක් තිබිය හැක. නමුත් පරිනිර්වාන සුත්‍රයේ ඇත්තේ පලවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රාවකයන් බිහිවන්නේ "මේ ශාසනයේ " පමනක් බවයි. එතනදී "මේ ශාසනය" යනු බුද්දාගම නොව සංඝයන්වහන්සේලගෙන් සැදුම්ලත් ශාසනයයි.
කෙනෙකුට ආගමක තිබීම නිවනට භාදාවක්ද?? ඔව් කෙනෙකු ආගමක් ලෙස යම් ඇදහීම සමුදායකට පුරුදු වීසිටින විට ඔහුගේ සිත එයට පුරුදු වී සිටී. එවිට අන් අයෙකු පවසන දෙයක් එක එල්ලේම පිලිගැනීමට මැලිවෙති(තමාට කියන්නේ සත්ය බව තේරුනත්). කිසිදු අන්තයකට නොගොස් විමසාබලා අවබෝදකර ගන්නට උත්සහ දරන්නන්ට මෙම දහම පහසුවෙන් අවබෝදවන්නේය. මන්ද ඔවුන්ට ඉවත්කරන්න යැයි කියා විශේශ ප‍ටු සීමා නොමැති නිසාය.
මෙම  කියන ප්‍රකාශ නිසා සාසනයේ පැවැත්මට බාධාවක් වන්නේද?? නැත එදා බුදුන්වහන්සේ වැඩසිටි කාලයේ දේශනාව ‍රැකුනේ ඇදහීම් කිරීමෙන් නොවේ. එය පුරුදු කිරීමෙනි. එසේ උනේ බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටිය නිසා යැයි කිව නොහැකිද?? බුදුන් වහන්සේ ජීවමානව සිටීමයනු ධර්මය ජීවමානව සිටියා කියන එකයි. එකල බුදුන්වහන්සේගේ පනිවිඩය සැම තැනම පාහේ පැතිරී තිබුනි. එසේනම් අද කල යුත්තේ කුමක්ද?? බුදුන්වහන්සේ නැවත ජීවමාන කිරීමයි. එනම් ධර්මය ජීවමාන කිරීමයි.
මේ ධර්මය ජීවමාන කරන්නේ කෙසේද?? පලමුව තමාගේ සිත හදාගෙන මෙම ගැබුරු දහම අවබෝද කරගත යුතුය. එමෙන්ම මෙම ධර්මය නොදන්න අයට නිවැරදි ධර්මය කියා දීම කල යුතුය.(තමා දන්නැත්නම් බොරු කියන්න යන්න එපා අකුසල් ‍රැස්වෙයි) විශේශම දෙයනම් අනිත් ආගම්වලට නින්දා නොකිරීමයි. ඔවුන්ට මෙම ධර්මය කියා දිය යුතුය. එසේ කල යුත්තේ බුද්දාගමට හරවා ගැනීමේ අදහසින් නොවේ. අනිත් ආගම්වල, ජාතීන්වල අය මේ දහම සොයා එන විට ඔවුන් අන්යාගමිකයන්ය, ඔවුන් මේවා දන්නැතිය කියා කිසිවිට කොන් නොකර ඔවුන්ගේ හදවතට මේ පනිවිඩය තේරේන ලෙස තේරුම් කල යුතුය.
මෙන්න ඒ පනිවිඩය කෙටියෙන්,
"සියලු පව් නොකිරීමත් කුසල් දහමේ යෙදීමත් සිත හදා ගැනීමත් සියලු බුදුවරුන්ගේ දේශනාවයි."
මෙය සැම දෙනාටම කියන්න. තේරුම්කර දෙන්න. අපි බුදුන්වහන්සේ ජීවමාන කරමු කිසිවෙකුට හානියක් නොවන ලෙස .ඔබ සැමට තෙරුවන් සරනයි.!!
(මෙහි බොහෝ අදහස් සංගායනා වැඩසටහනකදී සාකච්චා වු ඒවාය. ලින්ක් දැම්මට ඔබ නො අසන නිසා මෙසේ කරන ලදී.) ''ප්‍රඥාවන්තෝ අයං ධම්මෝ - නායං ධම්මෝ දුක්පඥඥස්ස''

3 comments: